වර්තමානයේ තරුණ මහළු බොහෝ දෙනා තුනටිය වේදනාවෙන් පීඩා විඳිනවා. මේ තත්වය ඇතිවන්නේ ඇයි? අද අපි කතා කරන්නේ මේ ගැනයි.
තුනටිය වේදනාව සමඟ කොඳු ඇට පෙළේ හා ඒ ආශ්‍රිත මාංශ පේශී වේදනාව ද මතුවේ. වයසට යන විට කොන්දේ හා තුනටිය වේදනාව සැළකිය යුතු ලෙස වැඩි විය හැකියි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 40-50 ඉක්මවීමත් සමඟ බොහෝ පුද්ගලයින් මේ තත්වය අත්දකින බව වෛද්‍ය අධ්‍යයන මඟින් පෙන්වාදෙනවා. තරුණ අවදියේදි කොඳු ඇට පෙළේ නම්‍යශීලි බව වැඩියි. අධික පීඩනයකින් මිස තැටි වලට හානිවීම අවමයි. නමුත් වයස්ගත වීමේදි කශේරුකා තැටි වල සවිමත් නම්‍යශීලි බව දුර්වල වී ගොස් ඒවා දරදඬු වෙයි.එම නිසා කොඳු ප්‍රදේශයට පහසුවෙන්ම යම් යම් බලපෑම් හා හානි ඇතිවිය හැකියි. හානි වූ ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රදාහය ඇතිවීමෙන් ඒ අවට රතුවීම,රත්වීම,වේදනාව කැක්කුම් වැනි අපහසුතා මතුකරයි.
ඇතැම් පුද්ගලයින් තුළ මේ තත්වය නිදන්ගත වීමෙන් එදිනෙදා වැඩකටයුතු වල නිරතවීම පවා බාධා ඇතිවිය හැකියි.වැරදි ශරීර ඉරියව් අනුගමනය කිරීම නිසා ද මෙවැනි පීඩාකාරී ගැටලු සිරුරේ මතුවේ.උදාහරණයක් ලෙස වැරදි ඉරියව් වලින් අධි බරැති යමක් ඉහළට එසවීම, දවසේ වැඩි වෙලාවක් වාඩි වී සිටීම හෝ සිටගෙන සිටීම,කුදු වී ඇවිදීම ආදි ඉරියව් දෝෂ නිසා තුනටියේ අපහසුතා වර්ධනය වීමට වැඩි ඉඩකඩක් පවතියි. කොන්දට අනතුරු තුවාල ඇතිවීම නිසා ද කොන්දේ වේදනා කැක්කුම් හටගනියි.
තුනටිය වේදනාව ප්‍රභේද තුනකි.

- තීව්‍ර/උග්‍ර තුනටිය වේදනාව (acute lower back pain)- සති 6කට වඩා කල් නොපවතින තුනටිය වේදනාවයි. උග්‍ර ප්‍රදාහය (acute inflammation) කොඳු ප්‍රදේශය ප්‍රකෘතිමත් වීමට සහය දෙයි. සාමාන්‍යයෙන් ඒ සඳහා සති 6ක් පමණ කාලයක් ගත විය හැකියි. ගැටලුව උත්සන්න වන්නේ එම තත්වය සති 6කට වඩා අධික කාලයක් පැවතීමත් සමඟයි.
- මන්ද තීව්‍ර තුනටිය වේදනාව (subacute lower back pain) – සති 6-12ක් පමණ කාලයක් පවතින තුනටිය වේදනා තත්වය
- නිදන්ගත තුනටිය වේදනාව (chronic lower back pain) – සති 12කට වඩා අධික කාලයක් තිස්සේ සුව නොවි පවතින තුනටිය වේදනා තත්වයයි
තුනටිය වේදනාවේ ලක්ෂණ මොනවාද?
ස්නායු ආශ්‍රිත ගැටලු මතුවේ.බොහෝ විට හිරිවැටීම,අප්‍රාණිකබව,අනින සුලු වේදනාව වැනි ලක්ෂණ ඇතිවේ.
කොන්දට අනතුරු ඇතිවීම වළක්වාගන්නේ කොහොමද?
- වයසට යාමේදි මේ පිළිබඳව විශේෂයෙන්ම සැළකිළිමත් විය යුතුයි. දුම්බීම,අධි බර පුද්ගලයින්,විශාදයෙන් පෙළීම කොන්දේ වේදනා තත්වයන් උත්සන්න වීමට බලපෑ හැකි අවදානම් සාධක ලෙස හඳුන්වයි.
- නිතිපතා ව්‍යායාම වල යෙදෙන්නන් තුළ කොන්දේ අපහසුතා වර්ධනය වීමේ අවදානම ඉතා අවම බව වෛද්‍යවරුන් පෙන්වාදෙනවා. ස්ට්‍රෙචිං ව්‍යායාම, කාඩියෝ ව්‍යායාම ,ඇවිදීම,මද වේගයෙන් දිවීම, පිහිනීම ඇතුළු ක්‍රියාකාරකම් වල යෙදීමෙන් කොන්දට හොඳ අභ්‍යාස ලැබෙයි.එක දිගට එකම ඉරියව්වකින් එක තැනකට වී නොසිට ක්‍රියාශීලිව දවස ගත කරන්න.
- සිටගන්නා විට, ඇවිදින විට, වාඩිවන විට හා නිදන විට නිවැරදි ශරීර ඉරියව් අනුගමනය කරන්න. එකම ඉරියව්වෙන් අධික වෙලාවක් සිටීමෙන් වළකින්න. වාඩිවන විට කොන්දට වඩාත් පහසුවක් ඇතිවන ආකාරයෙන් කුඩා කොට්ටයක් තුනටිය පිටුපසින් තබාගන්න.
- බර ඉසිලිමේ ක්‍රීඩා වල නිරතවන පුද්ගලයින් තමන්ගේ කොඳු ප්‍රදේශයේ නීරෝගිබව ගැන වඩාත් සැළකිලිමත් විය යුතුයි. එවැනි ක්‍රිඩා වල නිරත වන විට නිසි ඉරියව් අනුගමනය කිරීමට අමතක නොකරන්න. නිතරම ක්‍රීඩා උපදේශකයින්ගේ නිසි උපදෙස් අනුව කටයුතු කරන්න.ප්‍රවේසම් නොවීම කශේරුකා තැටි ආශ්‍රිත ගැටලු හා රෝග (disc diseases) වර්ධනය වීමට හේතුවිය හැකියි.
- බර දේවල් ඔසවන විට ඉදිරියට හෝ පිටුපසට සිරුර බර කිරීමෙන් තුනටිය ආශ්‍රිත මාංශ පේශී ඇඹරී යා හැකියි. මින් ඔබට අධික වේදනාවක් ඇතිවිය හැකියි.ප්‍රවේසමින් එම ක්‍රියාකාරකම් වල යෙදෙන්න.නිතරම කොඳු ප්‍රදේශයේ මාංශ පේශී දායක කරගනිමින් කඳ සෘජුව තබාගන්න.
- අධික වෙලාවක් නිදාගැනීමෙන් වළකින්න
- ඕනෑවට වඩා සිරුර වෙහෙසවීමෙන් පීඩනයට ලක්කිරීමෙන් වළකින්න.
- වයසේ ස්වභාවය තේරුම් ගනිමින් ඒ අනුව කටයුතු කරන්න. තරුණ කාලයේදී සිදුකළ ජවසම්පන්න,ක්‍රියාශීලි දේවල් වයසට යන විට ඒ ආකාරයෙන්ම කිරීම අපහසුයි. ඊට හේතුව ශරීරයේ දුර්වලකමයි. එදිනෙදා වැඩකටයුතු ප්‍රවේසමින් සිදුකිරීම ඉතා වැදගත්.
වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතු අවස්ථා

- කොන්දේ හා තුනටිය වේදනාව සමඟ බර අඩුවීයාම,නිතර අසනීප ගතියක් දැනීම (උණ,වෙව්ළීම),බඩේ අපහසුතා වැනි තත්වයන් අත්දකින්නේ නම්
- සිරුර සෙලවීමට හෝ ඇවිදීමට නොහැකියි නම්
- සන්ධි හා බන්ධන ආශ්‍රිත ගැටලු අත්දකියි නම්
- දිගු කාලයක් තිස්සේ කොන්දේ වේදනාව සුව නොවී යලි යලි මතුවේ නම්
වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැළකිලිමත් විය යුතුයි.