ඔබේ රුධිරයේ වැඩි වුන සීනි පැය 24ක් යන්න කලින් අඩුකරන උදෑසන පුරුදු 5 ක්

health tips

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දියවැඩියාව කියන්නේ වර්තමානයේ ලෝකයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමට හේතු වී ඇති නිදන්ගත රෝගී තත්වයන්ගෙන් එකක්.සිරුරේ රුධිර සීනි මට්ටම් පිළිබඳව වැඩි වශයෙන් සැලකිලිමත් විය යුතු බව අප හැමෝම හොඳින් දන්නා කාරණයකි. විශේෂයෙන්ම දියවැඩියාව රෝග හා සම්බන්ධ පවුල් ඉතිහාසයක් ඇති පුද්ගලයින් මේ ගැන හොඳ අවදියකින් සිටීම වැදගත්. රුධිරයේ සීනි ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩිවීම දියවැඩියාව නම් වේ. 

දියවැඩියාවේ ප්‍රභේද 2 කි:එනම් පළමු වර්ගය (Type I) හා දෙවන වර්ගය (Type II). මේ අවස්ථා 2 දීම හඳුනාගත හැකි ලක්ෂණය වන්නේ සිරුරේ ඉන්සියුලින් නිෂ්පාදනය සිදුනොවීම සහා ක්‍රමවත්ව භාවිතා නොවීමයි. ඉන්සියුලින් හෝර්මෝන ප්‍රතිකාර මඟින් රුධිරයේ ඇති ග්ලූකෝස් සිරුරේ සෛල තුලට අවශෝෂණය කිරීමට උපකාරී වේ. එමඟින් රුධිරයේ ඇති සීනි මට්ටම පාලනය කෙරේ. දියවැඩියා රෝගය කල්තියා හඳුනාගැනීමෙන් ඉන් මතුවිය හැකි සංකූලතා ‍රැසක් අවම කරගත හැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි.

ඔබේ රුධිර සීනි මට්ටම් අඩු මට්ටමින් නිසි ලෙස පවත්වාගැනීමට උපකාරී වන උදෑසන පුරුදු කිහිපයක් ගැනයි අද අප ඔබට කියන්නේ.

වතුර වීදුරුවක් පානය කරමින් දවස පටන්ගන්න-උදෑසන අවදි වූ පසු හිස්බඩ වතුර වීදුරුවක් පානය කිරීමට පුරුදුවන්න. මෙය ඔබේ ජීර්ණ පද්ධතියට ද ඉතා හිතකරයි.ඔබ පුරුදු වී සිටින්නේ උදෑසනම කිරි තේ එකක් පානය කරන්න නම් මේ පුරුද්ද තරමක් වෙනස්කරගන්න උත්සහ කරන්න.ඊට හේතුව හිස්බඩ වතුර වීදුරුවක් පානය කිරීම ඔබේ සිරුරට බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර දීමයි.මින් ඔබේ රුධිරයේ සීනි මට්ටම් නියාමනය වීම හා ග්ලයිසමික් පරාමිතින් නිවැරදි කිරීමකට ලක්කෙරෙයි.සාන්ද්‍ර ග්ලූකෝස් මට්ටම් අඩුකරයි. සීනි ආහාර පාන වලට ඇති ගිජු බව අඩුකරවයි.

මේ පුරුද්ද හෘද සෞඛ්‍යයට, ආතතිය අඩුකරගැනීමට, අධි බර හා ස්ථූලතාව, ජීර්ණ මාරග්යේ ගැටලු, බඩවැල් ආශ්‍රිත ගැටලු ඇති අයට ද ඉතා හිතකරයි.කැලරි හා සීනි රහිත පානයක් නිසා අනවශ්‍ය ලෙස සිරුරේ සීනි මට්ටම් ඉහළ යාම වළකියි. උණුසුම් වතුර වීදුරුවකට ලෙමන් හෝ දෙහි යුෂ බිංදු කිහිපයක් මුසු කර පානය කිරීමෙන් ගුණය වැඩිකරගත හැකියි. උළුහාල් දියවැඩියාව පාලනයට ඉතා ගුණ ඔසුවක් බව ආයුර්වේදයේ දැක්වෙයි. උළුහාල් අහුරක් වතුර වීදුරුවකට දමා ‍රැයක් පුරා පෙ‍ඟෙන්නට හැර පසුදා එම වතුර පානය කරන්න.උළුහාල් ඇට ද ආහාරයට ගැනීමට හැකිනම් වඩාත් සුදුසු බව අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.

උදෑසන ආහාර වේල මගහරින්න එපා! සීනි වැඩිවෙන නිසා ඇතැම් රෝගීන් ආහාර වේල් මගහැරීම සිදුකරනවා. එහෙත්, මෙය ඉතා වැරදි පුරුද්දක්.රුධිර සීනි මට්ටම් නීරෝගීව තබාගැනීමට නම් උදෑසන ආහාර වේලට සමබල පෝෂණයක් සහිත ආහාර පාන ලබාගන්න.ශරීරයේ නිසි ක්‍රියාකාරීත්වයට ශක්තිය අවශ්‍යයයි. සිරුරට ශක්තිය ලැබෙන්නේ අප ලබාගන්නා ආහාර පාන වලින් ලැබෙන ග්ලූකෝස් වලිනි.රුධිර ප්‍රවාහයේ ඇති ග්ලූකෝස් සෛල වෙත උරාගැනීම සඳහා සිරුරේ (අග්න්‍යාශය තුළ) ඉන්සියුලින් නිපදවෙයි.ඉන්සියුලින් වෙත සිරුරේ සෛල දක්වන සංවේදීතාව හෙවත් ප්‍රතිචාරය වැඩිවන තරමට නීරෝගී රුධිර සීනි මට්ටම් නියාමනයක් සිදුවෙයි.එහෙත් දියවැඩියාවේදී ඇතිවන්නේ මීට හාත්පසින් වෙනස් තත්වයකි.

රුධිර සීනි මට්ටම් කෙරෙහි ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය ඉතා අඩුවීම හෝ සිරුර කිසිසේත්ම ඉන්සියුලින් වලට ප්‍රතිචාර නොදැක්වීම හෝ ඉන්සියුලින් ප්‍රතිරෝධී ස්වභාවයක් පෙන්නුම් කරයි.උදෑසන ආහාර වේල මගනොහැර ලබාගන්නන් තුළ ඉන්සියුලින් සංවේදීතාව හෙවත් නීරෝගී ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය නිසි ලෙස ආහාර වේල් ලබානොගන්නා පුද්ගලයින්ට සාපේක්ෂව වඩාත් හොඳ මට්ටමක පවතින බව අධ්‍යයන හරහා සොයාගෙන තිබෙයි.

උදෑසන ආහාර වේල මගනොහැරීමට මතක තබාගත යුතු තවත් හේතුවක් තිබෙයි. එනම් ආහාර නොගෙන සිටින කාලය දිගු වන තරමට රුධිර සීනි මට්ටම් ඉහළ යාම දිගින් දිගටම සිදුවීමයි.මීට හේතුව ග්ලූකෝනියෝජෙනෙසිස් නම් ක්‍රියාවලියයි.එනම් සිරුරට ආහාර නොලැබෙන විට සිරුර මඟින් අක්මාවෙන් හා වකුගඩු වලින් අතිරික්තව රුධිර සීනි නිපදවීමට පටන්ගැනීමයි. ආහාර නොමැතිව දිගු කාලයක් ගත කිරීමෙන් සිරුරේ ආතතිය ද ඉහළ යයි. එය හිතකර නැත.විටමින්, ඛනිජ ලවණ බහුල නැවුම් එළවළු ,පලතුරු,ධාන්‍ය වැනි දෑ ආහාරයට එක්කරගන්න. සීනි බහුල ආහාර වලින් වළකින්න.

ප්‍රෝටීන් බහුල ආහාර පාන පරිභෝජනයට ගන්න ප්‍රෝටීන් බහුල ආහාර පාන පුද්ගලයාගේ සිරුරේ රුධිර ග්ලූකෝස් මට්ටම් වල නීරෝගී බව හා ප්‍රතිචාර දැක්වීම් වැඩිදියුණු වීමට හේතුවන බව අධ්‍යයන මඟින් සොයාගෙන තිබෙයි.ප්‍රෝටීන් ජීර්ණය වීමට තරමක දිගු කාලයක් ගත වෙයි.එම නිසා රුධිර සීනි මට්ටම් වළ හදිසි හා එක්වරම ඉහළ යාම් ඇතිවන්නේ නැහැ.එම ආහාර මඟින් වඩාත් ස්ථායි ලෙස ශක්තිය සිරුරට මුදාහරියි.එම නිසා දවස පුරාවට අවශ්‍ය ශක්තිය හා ප්‍රබෝධය සිරුරට හොඳින් ලැබෙයි.ප්‍රෝටීන් ආහාර ආහාර වලට ඇති ගිජුබව පාලනය කරමින් පරිවෘත්තිය වඩවයි.බර අඩුකරගැනීමට හා මාංශ පේශි ශක්තිය වර්ධනය කරගැනීමට සහය වේ.බිත්තර යනු ප්‍රෝටීන් බහුල ආහාරයකි.සැමන්, යෝගට්,මාලු,කිරි, කිරි මිශ්‍ර ස්මූති පාන,මේද අඩු ප්‍රෝටීන් බහුල මස් වර්ග ,ධාන්‍ය වර්ග වඩාත් හිතකරයි.

සිරුරට දහඩිය වැටීමට සලස්වන්න  උදෑසන කාලයේ ව්‍යායාම වල යෙදීම සිරුරේ නීරෝගී බව වඩවන හොඳ සෞඛ්‍ය පුරුද්දකි.මෙය සිරුරේ රුධිර සීනි මට්ටම් නියාමනයට ද ඉතා වැදගත් ය.සිරුරේ ක්‍රියාශීලී බව සඳහා ශක්තිය ලෙස වැයවන්නේ ශරීරයේ ගබඩා වී ඇති ග්ලූකෝස් වන ‘ග්ලයිකෝජන්’ ය.සිරුරේ ඇති එම ග්ලයිකෝජන් අඩු වී ගිය විට සංසරණය වෙමින් ඇති රුධිර සීනි වලින් ඒවා සපුරාගැනීමට මාංශ පේශී ක්‍රියාකරයි.ව්‍යායාම වලින් පසු රුධිර සීනි මට්ටම් අඩුවීමක් සිදුවන්නේ මේ හරහායි.මධ්‍යස්ථ පරාසයේ (තීව්‍රතාවේ) ඒරෝබික් ව්‍යායාම වල යෙදීම වඩාත් සුදුසුයි. ඇවිදීම, දිවීම, පැනීම, ස්ට්‍රෙචිං අභ්‍යාස හා යෝගා වැනි ක්‍රම ද සුදුසුයි. නිතිපතා ක්‍රියාශීලීව දවස ගත කරන්න. අලසව එක තැනකට වී දවස ගත කිරීම ඔබේ සිරුර ලෙඩකරවයි

මනස සැහැල්ලු කරගන්න ආතතිය ඔබේ දියවැඩියා තත්වය තවත් නරක අතට හැරීමට බලපාන බරපතල සාධකයකි.එදිනෙදා ජීවිතය කාර්යබහුල හා ආතතියෙන් පිරුණු එකක් බව සැබෑ වුණත් ඔබේ ශරීරය ආතතියෙන් වෙලාගැනීමට ඉඩ නොතැබිය යුතුයි.ඔබ තුළ ඇති පීඩනය හා ආතතිය දුරුකරගැනීමට භාවනා, ශ්වසන ව්‍යායාම, ස්ට්‍රෙචිං අභ්‍යාස, මියුරු සංගීතය, ඔබේ සිතට නැගෙන අදහස් හා සිතිවිලි දින පොතක ලියාතැබීම ,විනෝදාංශයක යෙදීම,යහළු මිත්‍රාදීන් හා පවුලේ අය සමඟ සතු‍ටු සාමිචියේ යෙදෙමින් කාලය ගත කිරීම වැනි ක්‍රම වඩාත් ඵලදායීය.ආතතිය වැඩිවීමෙන් සිරුරේ හෝර්මෝන අසමතුලිතතා පවා ඇතිවිය හැකියි.ආතතිය ඔබේ මනස මෙන්ම කය ද ලෙඩකරවන අවදානම් සාධයකි.