පෙනහැල්ලේ පිළිකාවක් හටගෙන ඇති බව පෙනුම් කරන ලක්ෂණ 10 ක්

health tips

වර්තමාන සමාජය තුළ දක්නට ලැබෙන ඉතා සුලභ රෝගී තත්වයක් ලෙස පිළිකා හැඳින්විය හැකි ය. බොහෝ දෙනෙකුට මෙම පිළිකා රෝගය ඇති වීමට මෙන් ම එයින් මිය යාමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ රෝගය පිළිබඳව දැනුවත් බව අවම වීමයි. පිළිකා වර්ග ගණනාවක් හඳුනා ගත හැකිය. ඒ අතරින් එක් පිළිකා වර්ගයක් ලෙස පෙනහළු ආශ්‍රිතව ඇති වන පෙනහළු පිළිකාව හඳුනාගත හැකි ය. 

පෙනහළු පිළිකා තත්ත්ව පිළිබඳව සොයා බලන විට ලෝකයේ දෙවනුව බහුලව ම පවතින පිළිකා රෝගී තත්ත්වය වන්නේ පෙනහළු පිළිකා ය. මෙම රෝගය බහුලව වැළඳෙන්නේ වයස අවුරුදු 70න් ඉහළ හෝ ඒ ආශ්‍රිත පුද්ගලයින්ටයි. මෙමගින් මිය යන රෝගීන් සංඛ්‍යාව අනෙක් පිළිකා රෝගී තත්ත්වයන්ට වඩා සෑම විට ම ඉහළ අගයක පවතියි. 

දැනට පවතින දත්තවලට අනුව කාන්තාවන්ට සාපෙක්ෂව පුරුෂයන්ට මෙම රෝගී තත්වය වැළදීමේ වැඩි ඉඩකඩක් පවතින බව සොයාගෙන ඇත. පෙනහළු පිළිකා තත්ත්ව කල් තියා හඳුනාගතහොත් එය පහසුවෙන් පාලනය කර ගැනීමට ප්‍රතිකාර ලබා ගත හැකි ය. මේ නිසා එහි පූර්ව රෝග ලක්ෂණ මොනවාදැයි දැන සිටීම අත්‍යවශ්‍යය කරුණක් වේ. 

පෙනහළු පිළිකා රෝග ලක්ෂණ 

01.සුව නොවන කැස්ස පෙනහළු පිළිකාවක ලක්ෂණ පෙන්වන බව සැක කෙරෙන ප්‍රධානම රෝග ලක්ෂණය වන්නේ සුව නොවන කැස්සයි. සාමාන්‍යයෙන් කැස්ස ඇති වූ විට එය සති දෙකකින් පමණ සුව වීම සාමාන්‍යයෙන් සිදු වේ. සති දෙකකට වඩා වැඩි කාලයක් වියළි කැස්ස රෝගී තත්වයක් ඇත්නම් එය පෙනහළු පිළිකාවක් ඇති වීමේ මූලික මට්ටම විය හැකි ය. එබැවින්ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ක්‍රියා කිරීම නුවණට හුරු වේ. 

02.ශ්වසන විෂමතා හා අපහසුතා කිසියම් පුද්ගලයෙකුට හුස්ම ගැනීමේ දී නිතර නිතර යම්කිසි අපහසුතාවයක් ඇති වන අවස්ථා පවතියි නම් එය පෙනහළු පිළිකාවක් ඇති වන බව පෙනවන්නකි. පඩිපෙලක් නැඟීම , කුඩා කන්දක් නැගීම , ක්‍රීඩා කිරීම වැනි සුළු ක්‍රියාවල දී මෙම තත්ත්ව ඇති විය හැකි ය. 

පිළිකාවක් ඇති වූ විට එම පිළිකා සෛල මඟින් ශ්වසන මාර්ගය අවහිර කරයි. එලෙස සිදු වීමෙන් හුස්ම ගැනීමේ අපහසුත ඇති වේ. එමෙන්ම පිළිකාව නිසා ඇතැම් දියරමය ද්‍රව්‍ය පෙනහළු තුළ පිරී පැවතීම ද මේ තත්ත්වයට හේතු වන්නකි. 

03. කතා කරන විට සුළු වෙව්ලීමක් ඇති වීම. පෙනහළු පිළිකා ප්‍රධාන වශයෙන් ස්නායු පද්ධතියට ඍජුවම බලපෑම් ඇති කරන්නකි. එම නිසා කතා කරන විට සුළු වෙව්ලීමේ තත්ත්වයන් දක්නට ලැබේ. මෙම වෙව්ලීමේ තත්ත්වය ප්‍රතිකාර ගන්නා සමයේ මෙන් ම පිළිකාව හට ගෙන වසර ගනණක් ඉක්මගිය පසුව වුව ද ඇති විය හැකි තත්වයකි. 

04. නිරතුරුව වෙනස් වන කැස්ස. පෙනහළු පිළිකා රෝග ලක්ෂණවල ප්‍රධාන ලක්ෂණයක් ලෙස මෙය දැක්විය හැකි ය. මෙහිදී සාමාන්‍යයෙන් කැස්ස ඇති වන වාර ගණනට වඩා වැඩි වාර ගණනක් කැස්ස ඇති වේ. එය නොනවත්වා ඇති වේ. බොහෝ විට දුම් පානය කරන පුද්ගලයන්ට මෙම ලක්ෂණය ඇති වේ. ඒ සමඟ ම රුධිරය පිට විය හැකි ය. එවැනි තත්ත්ව ඇති වුවහොත් හැකි සැනින් වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. 

05.හිසරදය හිසරදය නිතර ඇති වන තත්වයකි. එය පිළිකා ලක්ෂණයක් නොවුනත් සුවපත් නොවන හිසරදයක් ඇත් නම් එය දරුණු පෙනහළු පිළිකාවක පෙර නිමිති කියන ප්‍රධාන රෝග ලක්ෂණයකි. පිළිකාව නිසා මොළයට සපයන රුධිර නාල අවහිර වීම මෙයට හේතුවයි. නිරන්තරයෙන් ඇති වන හිසරදය පිළිකාවක් මොළය දක්වා ගමන් කර ඇති බව හඟවන රෝග ලක්ෂණයක් ලෙස ද සැලකෙයි. 

06.ශරීරයේ බර අඩු වීම. පුද්ගලයෙකුට පෙනහළු පිළිකාවක් පමණක් නොව වෙනත් පිළිකාවක් වුව ද වැළදී ඇතැයි සිතිය හැකි ප්‍රධාන ලක්ෂණයක් ලෙස ශරීරයේ බර අඩු වීම දැක්විය හැකි ය. පිළිකා සෛල මඟින් ශරීරයේ ශක්තිය උරා ගැනීම නිසා මෙලෙස ශරීරයේ බර අඩු වීම සිදු වේ. 

07.අස්ථිවල වේදනාව ඇති වීම. පෙනහළු පිළිකාවේ අවදානම් තත්ත්වයක සිටින රෝගීන් තුළ දැකිය හැකි රෝග ලක්ෂණයක් ලෙස මෙය දැක්විය හැකි ය. විශේෂයෙන් ම රාත්‍රි කාලයේදී අස්ථිවල වේදනාව වැඩි වීම , කුඩා හෝ සිරුර වෙහෙසෙන ක්‍රියාවක යෙදීමේ දී ශරීරයේ අභ්‍යන්තරයේ වේදනාව හට ගැනීම මෙම ලක්ෂණයේ මුල් ම ආකාරයයි. මේ සඳහා මුල් අවස්ථාවේ ම ප්‍රතිකාර නොගතහොත් පිළිකාව සුෂුම්නාව හා දෑත් දෙපා ආදියට පවා පැතිර යන බැවින් මේ ආකාරයේ ශරීර වේදනා අවධානයෙන් සිටීම ඉතා වැදගත් වේ. 

08. නිතර නිතර ආසාදන තත්වයන් ඇති වීම. බ්‍රොන්කයිටීස් ,නිව්මෝනියාව වැනි තත්වයන් දරුණු පෙනහළු පිළිකාවක මූලික ලක්ෂණ ලෙස දැක්විය හැකිය. එනම් මේ සඳහාප්‍රධාන වශයෙන් හේතූ වන්නේ පිළිකා සෛල මඟින් ශ්වසන නාල අවහිර කිරීමයි. මීට අමතරව වෙනත් ආකාරයෙන් විවිධ ආසාදන තත්ත්ව ඇති වීමේ ඉඩකඩ පවතියි. 

09.හතිය. හතිය තත්ත්වය නිතර බොහෝ දෙනෙකු තුළ දක්නට ලැබේ. හතිය ඇති වන්නේ ශ්වසන මාර්ගය අවහිර වීම හේතුවෙනි. හතිය ලක්ෂණ පෙනහළු පිළිකාවක මූලික අවධියේ දී පෙන්වන රෝග ලක්ෂණයක් බැවින් මුල් අවධියේ ම වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දු විය යුතු ය. 

10.ආහාර , ජලය ගිලීමේ අපහසුතා ඇති වීම. පෙනහළු පිළිකා රෝගීන්ට ආහාර ගැනීම ඉතා අසීරු කාර්යයකි. මෙම තත්වය මත රෝගියාට විජලනය ,මන්දපෝෂණය වැනි තත්වයන් මෙන් ම අක්මාවේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති වේ. ඒනිසා පිළිකාවට අමතරව තවත් රෝග ඇතී වීමේ අවදානමක් පවතියි. 

මේ ආකාරයෙන් පෙනහළු පිළිකාවක මූලික ලක්ෂණ පිළිබඳව දැක්විය හැකි ය. මෙම රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඔබ තුළ දක්නට ලැබේ නම් වහාම වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත් වේ.