අවසන් හුස්ම රැකගන්නට මරණීය වේදනාව අත්විඳපු කෙනෙක් ජීවිතයේ අගය කොතරම්ද කියලා හොඳින් දන්නවා. ඉතින් අපේ හුස්ම රැකගන්නට බොහෝ කල් නිරෝගීව ජීවත් වෙන්නට අපේ ජීවන රටාව අනිවාර්යෙන්ම බලපානවා. ඉතින් අපේ යම් යම් අහිතකර පුරුදු ආදිය නිසා ඇතිවන විවිධ මාරාන්තික ලෙඩ රෝගවලින් ගැලවෙන්නට හැකි අවස්ථා නැතුවාම නොවෙයි.
පිළිකා කියලා කියන්නේ ඇසූ විගසම මරණය සිහිගන්වන මුළු ලෝකයක්ම වෙලාගත් ඉතාම මාරාන්තික රෝගයක්. කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා සියලු දෙනාටම ජීවිත අහිමි කරන බරපතල මාරාන්තික රෝගයක්. නමුත් මේ රෝගය ගැන අපි තුළ හොඳ අවබෝධයක් තිබුණොත් එය අපේ ජීවිතය රැක ගන්නට පිහිටක් වෙනවා නිසැකයෙන්ම. මොකද පිළිකාව කියලා කියන්නේ පමා නොවී හඳුනාගෙන ප්‍රතිකාර ලබාගෙන සුවකර කරගන්නට හැකි රෝගයක්. ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේ පිරිමි පාර්ශවයට බහුලවම වැලදෙන එක්තරා පිළිකා විශේෂයක් පිළිබඳව. ඒ තමයි පෙනහළු පිළිකා.
පිරිමින්ට වැළඳෙන පිළිකා වර්ග අතරින් දෙවන ස්ථානය හිමි කර ගන්නා කාන්තාවන්ට වැළඳෙන ප්‍රධාන පිළිකා වර්ග 10 අතරට එකතු වන පෙනහලු පිලිකා වැඩි වශයෙන් වාර්තා වෙන්නේ වයස අවුරුදු 45 ඉක්ම වූ අය අතරින්. විශේෂයෙන්ම වයස අවුරුදු 65- 69 ත් සහ 70- 79 යන වයස් කාණ්ඩ අතරින්. ඒ වගේම වඩාත් කණගාටුදායක කාරණය තමයි ලංකාවේ පිළිකා නිසා සිදුවන මරණවලින් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ මේ පෙනහළු පිළිකා රෝගීන් අතරින් වීම. ඒ අනුව වසරකට පිරිමි පුද්ගලයන් 900 ක් පමණ සහ කාන්තා මරණ 360 ක් පමණ මේ පෙනහළු පිළිකා නිසා වාර්තා වෙනවා.
නමුත් මේ පෙනහළු පිළිකා වළක්වා ගත හැකි පිළිකා කාණ්ඩයට අයත් වන නිසා මේ පිළිකාවලින් ආරක්ෂා වීම පුද්ගලයා සතුව වගකීමක්. අපි යහපත් ජීවන රටාවක් පවත්වාගෙන යනවා නම් අපිට මේ වගේ පිළිකා රෝගවලින් ආරක්ෂා වෙන්නට හැකියාව තියෙනවා.
පෙනහළු පිළිකා අතරින් බහුලව දකින්නට ලැබෙන පෙනහලු පිළිකා විශේෂය වන්නේ කුඩා සෛල පෙනහළු පිළිකා (SCLC) සහ කුඩා සෛල නොවන පිළිකා සෛල (NSCLC) .අද බහුලවම ඇත්තේ මේ අතරින් NSCLC වර්ගයේ පිළිකාවයි.
අපි බලමු පෙනහළු පිළිකා ඇති වෙන්නට බලපාන හේතු කාරණා මොනවද කියලා.

- අක්‍රීය දුම් පානය, සක්‍රීය දුම් පානය සහ තෙවන පාර්ශවීය දුම්පානය
සක්‍රීය දුම්පානය වගේම දුම් පානය කරන පුද්ගලයන් සමීපයෙහි ගැවසීම වගේම තෙවන පාර්ශවීය දුම්පානය තත්ත්වයත් පෙනහළු පිළිකා ඇති කරන්නට මූලික වෙනවා. දුම්පානය නොකරන අයෙක් වුණත් දුම්පානය කරන පිරිසක් අතර වැඩි කාලයක් සිට නිවසට පැමිණීමේ දී ඔහුගේ හෝ ඇයගේ ඇඳුම් කෙස් ආදියේ තැවරී ඇති අංශු නිවසේ සාමාජිකයන්ගෙන් ස්වසන මාර්ගයට ඇතුළු වීමෙන් පවා මේ තත්ත්වයන් ඇති වෙනවා .
- ඩීසල් දුමට නිරාවරණය වීම
- ප්ලාස්ටික් සහ පොලිතීන් පිලිස්සීම නිසා ඇතිවන දුම ආඝ්‍රාණය
- රබර්, බුශ් ආදී ගෘහාශ්‍රිතව පවත්වාගෙන යන කුඩා කර්මාන්තවලදී නිසි පරිදි මුව වැසුම් භාවිතා නොකිරීම
- දර ලිපෙන් නගින දුමට දීර්ඝ කාලයක් නිරාවරණය වීම
- ආසනික්, ක්‍රෝමියම්, බෙරොලියම්,නිකල් ආදී ලෝහවලට නිරාවරණය වීම
- විකිරණවලට නිරාවරණය වීම
- වායු දූෂණය අධික පරිසරයක ජීවත්වීම
- ජානමය හේතු
පිළිකාවක් හඳුනාගත හැකි ලක්ෂණ
- කල් පවතින කැස්ස
මෙය සති ගණනාවක් පවතින වියළි කැස්සක්. ස්වසන පද්ධතිය ආශ්‍රිතව සාමාන්‍යයෙන් ඇතිවන කැස්ස සතියක් හෝ දෙකක් කාලය තුළ සුව වුණත් මේ කැස්ස දිගුකාලයක් පවතිනවා. එවැනි අවස්ථාවක වෛද්‍යවරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීමෙන් පෙනහළු පිළිකා තත්ත්වයක් ද නැද්ද යන්න නිශ්චිතව හඳුනා ගන්නට හැකියි.
- කැස්ස සමග රුධිරය පිටවීම
සාමාන්‍යයෙන් කැස්ස ඇතිවන වාර ගණනට වඩා වැඩි වාර ගණනක් නොනවත්වා ඇතිවන කැස්ස සහ ඒ කැස්ස සමඟ රුධිරය පිටවීම ඇතැම්විට පෙනහළු පිළිකාවකින් ඔබ පෙළෙන බව හඟවන ලක්ෂණයක් විය හැකියි.
- හුස්ම ගැනීමේ අපහසුතාවය
සාමාන්‍යයෙන් පඩිපෙළක් නැගීමේදී හා බැසීමේදී හෝ එකදිගට ඇවිද යාමේදී හෝ යම් යම් සුළු ක්‍රියාකාරකම්වල නිරතවීමේදී මෙවැනි හුස්ම ගැනීමේ අපහසුතා දැනේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. විශේෂයෙන්ම මෙසේ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වන්නේ යම්විටෙක පෙනහළු ආශ්‍රිතව පිළිකාවක් ඇතිවිටකදී.එහිදී පිළිකා සෛල මගින් ස්වසන මාර්ගය අවහිර කරවන අතර පිළිකාව නිසා ඇතිවන ඇතැම් දියරමය ද්‍රව්‍ය පෙනහළු තුළ පිරීම නිසා මේ ලක්ෂණය ඇති වෙන්නට පුළුවන්.
- පපු ප්‍රදේශය ආශ්‍රිත වේදනාව
පපු ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවන මේ වේදනාව උරහිස් හා පිට ආශ්‍රිත වේදනාවන් සමඟ ඇති වෙන්නට පුළුවන්. තදින් හුස්ම ගන්නා විට, කහින විට හෝ සිනහ වන විට මේ පපුවේ වේදනාව ඇති වෙන්නට පුළුවන්.මේ වේදනාව නිරන්තරයෙන් ඇතිවන කැස්ස නිසා යැයි සිතා නොසලකා හැරිය යුතු නැහැ.
- හේතුවක් නොමැතිව උණ ඇතිවීම
- කල්ගත වෙත්ම ශරීරයේ බර අඩුවීම
ආහාර පාලනය කිරීමක් හෝ බර අඩුකර ගැනීම සඳහා කරන ව්‍යායාම්වල නිරත නොවන අයෙක්ගේ බර හදිසියේ අඩු වන්නේ නම් එය ඇතැම්විට පෙනහළු පිළිකාවක් වෙන්නට පුළුවන්. ශරීරයේ පිළිකා සෛල වර්ධනය වෙමින් යද්දි ඒ පිළිකා සෛල විසින් ශරීරයේ පෝෂණය සහ ශක්තිය ශීඝ්‍රයෙන් උරා ගැනීම එයට හේතුවයි.
- කටහඩ වෙනස් වීම (ගොරෝසු වීම)
සෙම්ප්‍රතිශ්‍යාව ආදිය නිසා වෙනස් වන කටහඩ සතියකින් පමණ යථා තත්ත්වයට පත්වුණත් පෙනහළු පිළිකාවක් වර්ධනය වෙමින් පවතින විටකදී කටහඩ නැවත යථා තත්ත්වයට පත් නොවී දීර්ඝ කාලයක් පැවතිය හැකියි
- අස්ථිවල වේදනාව

මේ ලක්ෂණය බොහෝ විට පෙනහළු පිළිකාවේ අවදානම් අවස්ථාවේ සිටින විට පෙන්නුම් කරනු ලබන ලක්ෂණයක් වන අතර මේ වේදනාවන් රාත්‍රී කාලයේදී අධික ලෙස ඇතිවෙනවා. ඇතැම්විට මේ පෙනහළුවල ඇතිවන පිළිකාවට මූලිකව ප්‍රතිකාර නොකිරීමෙන් යම් විටෙක සුෂුම්නාව හා දෑත් දෙපාවලට පවා පැතිරි යන්නට ඉඩ ඇති බැවින් මෙවැනි වේදනාවන් ඇතිවූ විට ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.
- ඉකිලිවල බෙල්ල ආදී ප්‍රදේශ වල වසා ගැටිති ඉදිමීම
- නිතර ආසාදනයන්ට ගොදුරු වීම
- හිසේ කැක්කුම
- කෑම අරුචිය
- ගිලීමේ අපහසුතා
මෙහිදී ආහාර වගේම ජලය පානය කිරීමේදීත් අපහසුතා ගෙන දෙන අතර ඒ නිසාම රෝගීයා මන්දපෝෂණයට වගේම විජලනයට බදුන් වීමේ ඉහළ අවදානමක් නිර්මාණය වෙනවා.
- කතා කරන විට වෙව්ලන ස්වභාවය
- මලකඩ පැහැයෙන් කෙල හෝ සෙම පිටවීම
- ශරීරය දුර්වල වීම හා මහන්සිය දැනීම
මෙවැනි ලක්ෂණවලින් ඔබත් පිසා විදිනවා නම් එය පමා නොවී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු තත්ත්වයක් වෙනවා. ඔබ වෛද්‍යවරයා හමුවට යාම පමා නොකරන තරමට ඔබේ ජීවිතය ආරක්ෂා වීමට ඇති ඉඩකඩ ඉහළ බව අමතක කරන්නට එපා.