කැස්ස, පීනස, සොටු දියර ගැලීම, හිසරදය කියන රෝග තත්ත්වයන් අපි හැමෝටම නිතරම ඇතිවන රෝග. සෙම මූලික කරගෙන ඇතිවන මේ තත්ත්වයන් ඉතාම පීඩාකාරී වෙනවා. ඇතැම්විට සෙම් රෝග පිළිබඳව එතරම් සැලකිල්ලක් නොදැක්වීම නිසා වෙනත් රෝග ඇතිවීමේ හැකියාවත් පවතිනවා. ඒ නිසා සෙම කියන්නේ කුඩා දරුවාගේ පටන් වැඩිහිටි උදවියට දක්වාම නිතරම පීඩාවට පත් කරන්නට සමත් වෙන තත්ත්වයක්. ඒ නිසාවෙන් සෙම් රෝග සුළුවට ගන්නා බොහෝදෙනා දැනගත යුතුම සෙම නිසා ඇතිවන වෙනත් රෝග පිළිබඳව අපි අද කතා කරමු.
සෙම් පදාර්ථ ජීර්ණ පද්ධතියෙන් නිපදවනු ලබනවා. බොහෝවිට නළල, මුහුණ සහ පපුව ආශ්‍රිතව මේ කරදරකාරී තත්ත්වය දැක ගන්නට පුළුවන්. සෙම් රෝග ඇතිවීමේදී මූලින්ම කිවිසුමක්, හිසේ බර ගතියක්, ඇස් කැසීමේ තත්ත්වයක් ආදී වශයෙන් සුළු ලක්ෂණ පෙන්නුම් කරමින් මතුවෙනවා. බොහෝදෙනා ඒ තත්ත්වය එතරම් සැලකිල්ලකට ගන්නේ නැහැ. තාවකාලික සුවයක් බලාපොරොත්තුවෙන් ඖෂධ ලබා ගැනීමක් හෝ අත් බෙහෙතක් සිදු කරනවා පමණයි. ඒ වගේම තවත් අය සම්පූර්ණයෙන්ම මේ සෙම ශරීරයෙන් ඉවත් කරන්නට අවශ්‍ය බව කියනවා. නමුත් ඊට පෙර සෙම ඇතිවීම සඳහා බලපාන මූලික හේතු හඳුනා ගැනීම කළ යුතු වෙනවා.

උෂ්ණාධික ශරීරය සහ සෙම් රෝග ශරීරය බොහෝසෙයින් උෂ්ණාධික වීම සාමාන්‍ය දේහ සෛලවලට දරා ගැනීමට හැකියාව ලැබුණත් මොළය ආශ්‍රිත සියුම් ස්නායු සෛලවලට දරා ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා ශරීරය විසින් එයට උපක්‍රමයක් අනුගමනය කරනු ලබනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මොළය මගින් නිකුත් කරන සංඥාවලට අනුව ආහාර ජීර්ණ පද්ධතිය සෙම නිෂ්පාදනය කර මොළය දෙසට ගමන් කරවනු ලබනවා.එසේ පැමිණෙන සෙම් පදාර්ථ නළල ආශ්‍රිත ප්‍රදේශයේ (හිස් කබල, නාසය ඇස් කුහර ) ආදී කෝටක තුළ එක්රැස් වෙනවා.පසුව ඒ සෙම් කොටස් නාසය හරහා බාහිර පරිසරයට නිරාවරණයවීම හේතුවෙන් ක්ෂුද්‍ර ජීවීන්ගේ ආක්‍රමණයට ලක්වී සෙම පැසවීමෙන් සෙම්ප්‍රතිෂ්‍යාව ඇති කරනවා.ඒ නිසාවෙන් සෙම්ප්‍රතිෂ්‍යාවට අදාල නාසයෙන් සොටු දියර ගැලීම, හිසරදය ආදී සෙම්ප්‍රතිෂ්‍යා රෝග ලක්ෂණ ඇති කරනු ලබනවා. එමගින් ශරීරයේ අධික උෂ්ණ බව වළකා ස්නායු සෛල වියළීම වළක්වනු ලබනවා.
ඇතැම් අයගේ ශරීරය උපතින්ම උෂ්ණ ස්වභාවයක් ගනු ලබනවා. තවත් අයට ගනු ලබන ඉස්සෝ. දැල්ලෝ, කකුලුවෝ, බල මාලු, අන්නාසි, තක්කාලි ආදී උෂ්ණ ආහාර හේතුවෙන් ශරීරයේ උෂ්ණාධික බවක් ඇති වෙනවා.
වෛරස් ආසාදන හා සෙම් රෝග සෙම්ප්‍රතිෂ්‍යාව ඉන්ෆුවන්සා වෛරසය මගින් ස්වසන පද්ධතිය ආසාදනය වීමෙන් හට ගන්නා තත්ත්වයක්. නිව්මෝනියාව, හෝර්මෝපිලස් ඉන්ෆ්ලුවෙන්සා ආදී බැක්ටීරියා මගින් ඇති කරන අතර පීනස ස්වසන පද්ධතියේ යට කොටසේ ස්වසන නාලිකා ආසාදනයෙන් හට ගන්නවා. මුහුණේ කුහර තුළ සෙම සිරවීම හෙවත් සයිනසයිටීස් තත්ත්වය ඇති වෙන්නේ මුහුණ ආශ්‍රිතව ඇති අස්ථි කුහරවල විෂබීජ රැඳී තිබීමෙන්. ඒ අනුව සෙම් රෝග විවිධ හේතූන් නිසාවෙන් අපිට ඇති වන්නට පුළුවන්.
නමුත් දීර්ඝකාලීනව මේ සෙම් රෝග සඳහා නිසි ප්‍රතිකර්මයක් සිදු නොකළ විට එය ක්‍රමයෙන් අපේ ශරීරයේ පද්ධති කෙරෙහි විවිධාකාරයේ බලපෑම් ඇති කරනු ලබනවා. විශේෂයෙන්ම පෙනහළුවල, නළල මුදුනේ ඇති සියුම් ස්නායුවල සෙම රැඳීම නිසා ඉතා තරමක් බරපතල තත්ත්වයන් පවා ඇති වන්නට හැකියාව තියෙනවා.
සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්ස, පීනස හැරුණාම සෙම නිසාවෙන් ඉතා බරපතල රෝග තත්ත්වයන් පවා ඇතිවෙනවා.
- සියුම් ස්නායුවල සෙම බැඳීම හේතුවෙන් හිසේ සමතුලිතතාවයට බාධා ඇතිවීම
- අත් පා හිරිවැටීම
- මතක ශක්තිය දුර්වල වීම
- කනේ සමතුලිත බව නැතිව යාම
- පෙනහළුවල සෙම බැඳී ඇදුම රෝගය ඇතිවීම
- දීර්ඝකාලීනව පෙනහළුවල සෙම පැවතීමෙන් පිළිකා ඇතිවීම
සෙම් රෝගවලින් ආරක්ෂා වීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග

- සෙමට අහිතකර ආහාරවලින් වැළකීම බොහෝදෙනෙක් සෙම් රෝගවලදී නොගත යුතු අහිතකර ආහාර පිළිබඳව එතරම් නොසැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් සෙම අධිකව පවතින අයෙක් අනිවාරයෙන්ම සෙම වඩවන ආහාරවලින් වැළකී සිටිය යුතුමයි.
- බණ්ඩක්කා ,කැකිරි, පිපිඤ්ඤා,වැටකොළු
- වට්ටක්කා සහ ගස්ලබු (ඇදුම රෝගයට අහිතකර නිසා එමගින් හුස්ම ගැනීමේ පහසුතා ඇති කරනවා .)
- සීත කළ බීම, අයිස් ක්‍රීම්. ඇඹුල් කෙසෙල්, ඇම්බුන් , ආනාමලු ,(කෝලිකුට්ටු හා සීනි කෙසෙල් පමණයි සෙමට හිතකර කෙසෙල් වර්ග වෙන්නේ.)
- සෙම අඩු කර ගැනීම සඳහා කොත්තමල්ලි සහ වියළි ඉඟුරු බැද කුඩු වශයෙන් සකසා ගෙන පානය කිරීම.
- සෙම ඇති අයෙක් උණු ජලය පානය කිරීමත් ඇල් ජලය ස්නානය කිරීමයි සුදුසු වෙන්නේ.
- නික කොළ, පාවට්ටා කොළ,බෙලි කොළ, දෙහි කොළ, මදුරුතලා කොළ එකක් හෝ කිහිපයක් තම්බා දුම් ඇල්ලීම.
- උණුසුම් ආහාර ගැනීම
- පීනස, ඇදුම, ආදී සෙම් රෝග ආසාත්මිකතා හේතුවෙන් වැළදෙන නිසා ජීවත් වන පරිසරය තුළ දුහුවිල්ල ආදිය පාලනය කිරීම.
- පැණි රස අධිකව ගැනීමෙන් වැළකීම
- ආයුර්වේදයට අනුව පැණි රස හෙවත් මධුර රස ආහාර සෙම වැඩි කරනු ලබනවා.
- ඇදුම් පැළදුම් ඇද ඇතිරිලි ආදිය සෝදා පිරිසිදුව තබා ගැනීම, විවිධ සතුන්ගේ ලොම්, ඇතැම් ශාකවල පරාග ආදී සාධක ඉතා පහසුවෙන් සියුම් කොටස්වලට ආසාත්මික ප්‍රතික්‍රියා දක්වන නිසා සෙම් රෝග ඇති කරන්නට හේතු වෙන එවැනි තත්ත්වයන් පාලනය කිරීම.
බරපතල තත්ත්වයන් ඇති කළහැකි මේ සෙම් රෝග සඳහා නිසි ප්‍රතිකාර ගැනීමෙන් ඉතා සාර්ථකව සුව ගැනීමේ හැකියාව පවතින නිසා එය සුළුවට නොගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඒ වගේම සුදුසු පරිදි ඇවතුම් පැවතුම් රටාව පවත්වා ගැනීමත් ඒ තත්ත්වය සුවකර ගැනීමේදී බෙහෙවින් වැදගත් බව මතකයේ තබා ගන්න.