මතක ශක්තිය වැඩි කරන ලුණුවිල තේ පානය සතු ගුණ 27 ක්

health tips

මේ මිහිතලයේ සෑම ශාකයක්ම වටිනා ඖෂධීය ගුණයෙන් යුක්තයි. නමුත් අවාසනාවට බොහෝදෙනෙක් එවැනි වටිනා පැලෑටි වල් පැලෑටි ලෙස සිතා විනාශ කර දමනවා. එහෙම ඇත්නම් ඒවායින් නිසිලෙස  ප්‍රයෝජන ගන්නේ නැහැ. ඉතින් බොහෝඅයට අමතකවෙලා යන තවත් එවැනිම වටිනා ගුණයන් සතු ඔසු පැලෑටියක් තමයි ලුණුවිල කියන්නේ. ආයුර්වේදයේ සඳහන් වෙන විදියට බුද්ධිය වර්ධනය සඳහා පවතින ඉතාම ප්‍රබල ඖෂධය වෙන්නෙත් ලුණුවිල. මේ වටිනා ඔසුව ආයුර්වේදයේ වගේම දේශීය වෛද්‍ය ක්‍රමය තුළත් භාවිතයට ගනු ලබනවා.

ලුණුවිල ජලය සහිත ඕනෑම ප්‍රදේශයක ඉතාම පහසුවෙන්.වැවෙන වටිනා ඔසුවක්. මේ කුඩා පැලෑටියේ දම්පැහැ කුඩා මලක් දකින්නට පුළුවන්. ලුණුවිලවල ඇති තිත්ත රසය නිසාම බොහෝදෙනෙක් එය ආහාරයට ගන්නට  එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් මේවායේ ගුණ කොතරම්ද කියලා දැන සිටි අපේ ගැමි ජනතාව නම් එදා කුඩා දරුවෙකුගේ රන් කිරි කට ගෑමකදී පවා ලුණුවිල යුෂ බින්දුවක් එකතු කරන්නට අමතක කළේ නැහැ. ඒ  හැරුණාම ලුණුවිල තම්බා පානය කිරීම තේ මෙන් සකසා පානය කිරීම වගේම කොළ කැඳ ලෙස සකස් කර ආහාරයට ගැනීමටත් කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි ලුණුවිල සම්බෝල ලෙස ආහාරයට ගැනීමත් ඉතාම ගුණදායකයි. බාල මහලු කා හටත් එක සේ ගුණදෙන ලුණුවිල  ලෙඩරෝග විශාල ප්‍රමාණයකට දිව්‍ය  ඖෂධයක් බව අවිවාදයෙන්ම පිළි ගන්නට සිදු වෙනවා.

ලුණුවිල ආහාරයට ගැනීමෙන් සිරුරට ලැබෙන ප්‍රතිලාභ 

  • මතක ශක්තිය වර්ධනය කරනවා.අධ්‍යාපනය ලබන දරුවන්ට මතක ශක්තිය වඩවා ගන්නට මේ ලුණුවිල ඉතාම වැදගත්. ලුණුවිල සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති අධ්‍යයනවලට අනුව මෙහි අන්තර්ගත bacoside  නම් ක්‍රියාකාරී රසායනික සංඝටක හානියට පත් නියුරෝන අලුත්වැඩියා  කරනවා. ඒ වගේම ස්නායු ආවේග සම්ප්‍රේෂණය වැඩි දියුණු කිරීමෙහිලා වගේම මනෝභාවය නියාමනය කරන සෙරටොනින් ඇසිටයිල්කොලීන් ආදී ස්නායු සම්ප්‍රේෂකවල යහපත් ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමේ සුවිශේෂී හැකියාවෙන් ද සමන්විත වෙනවා.
  • ස්නායු  රෝග සුවපත් කරනවා.
  • උන්මාද රෝගය සුව කරනවා.
  • ආහාර රුචිය වර්ධනය කරනවා.
  • රුධිරය පිරිසිදු කරනවා.
  • සම පැහැපත් කරනවා.
  • සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්ස ආදී රෝගයන් සමනයට උපකාරී වෙනවා.
  • සමේ රෝග සුව කරනවා.
  • අපස්මාර රෝගයට ඔසුවක්. 
  • ආයුෂ වර්ධනය කරනවා.
  • මුත්‍රා  පිරිසිදු කරනවා.
  • අක්මාව ආශ්‍රිතව ඇතිවන රෝග වළක්වනවා.
  • අක්මාවේ විෂ නසනවා.
  • මානසික ආතතිය දුරු කරනවා.
  • කටහඩ මිහිරි කරනවා.
  • ලිංගික ශක්තිය වර්ධනය කරනවා.
  • ශරීරයේ ඇතිවන ඉදිමුම් සහ වේදනාවන් දුරු කරනවා.
  • කිරිදෙන මව්වරුන්ට ගුණදායක ආහාරයක් .
  • පුද්ගලයාගේ වියපත් පෙනුම නැතිකර තරුණ පෙනුමක් ලබා දෙනවා.
  • කථා කිරීම පමාවෙන දරුවන්ට කථා කිරීම පහසු කරවනවා.
  • ප්‍රතිශක්තිය වර්ධනය කරනවා.
  • හදවතේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරනවා.
  • පාකින්සන් රෝගය සුව කරනවා.
  • පාණ්ඩු රෝගය සුව කරනවා.
  • ආහාර ජීර්ණය පහසු කරනවා.
  • පෙනහළු රෝග සමනය කරනවා.
  • වාත රෝග සුවපත් කරනවා.

ලුණුවිල ශාකයේ ඖෂධීය භාවිතය 

  • රුධිරය පිරිසිදු කිරීම සඳහා ලුණුවිල කුඩු තේ හැන්දක් එළකිරි සමඟ මිශ්‍රකර දිනපතා උදෑසන පානය කිරීම සුදුසුයි.
  • නින්ද නොයාම සඳහා ලුණුවිල මඳක් වියළා කුඩුකර චූර්ණයක් ලෙස ඇල්දිය වීදුරුවකට දමා රාත්‍රියට පානය කිරීමෙන් මේ ගැටළුව සමනය කර ගන්නට පුළුවන්.
  • මතක ශක්තිය වර්ධනය සඳහා ලුණුවිල යුෂ බිංදු  කිහිපයක් පානය කිරීම මගින් මතකය වර්ධනය වෙනවා.
  • කටහඩ මිහිරි කර ගැනීම සඳහා ලුණුවිල, වදකහ , අරළු, වනපැල මුලේ පොතු, තිප්පිලි ආදිය මී පැණි කලං එක හමාරක් සමඟ උදේ සවස දින 7 ක් පානය කිරීම සුදුසුයි.
  • දරුවන්ගේ රත රෝග සහ තුවාලවලට එරබදු කොළ, සියඹලා කොළ සහ ලුණුවිල යුෂ ගෙන එයට රත් කිහිරිය කුඩු සහ කහ කුඩු දමා කකාරා ආලේප කරන්න.
  • දද කුෂ්ට ආදී චර්ම රෝග සඳහා ලුණුවිල තැම්බූ ජලයෙන් ස්නානය කිරීම සුදුසුයි.
  • මළබද්ධය සඳහා ලුණුවිල අරළු සමඟ තම්බා පානය කිරීම සුදුසුයි.

ඒ හැරුණාම දිනපතාම උදෑසන මේ ලුණුවිල කොළ කිහිපයක් හපා ජලය වීදුරුවක් පානය කරන්නට හැකිනම් ඔබට එයින් ලැබෙන ප්‍රතිලාභයන් අතිමහත්.ඒ නිසාමයි මේ ශාකය බ්‍රාහ්මණයා විසින් ලබාදීපු ශාකයක් ලෙසට සලකන්නේ. ඉතින් ඉහත සඳහන් කරපු ආකාරයට වගේම සලාදවලට කලවම් කොළ මැල්ලුමටත් ලුණුවිල භාවිතා  පුළුවන්.

ඉතින් නීරෝගීව ජීවත් වෙන්නට අපි භාවිතා කළ යුතුම වටිනා ඔසුවක් තමයි මේ ලුණුවිල. ඔබේ ගෙවත්තෙත් ජලය රැඳී තියෙන ස්ථානයක මේ පැලෑටිය වවා ගන්නට පුළුවන්. එයින් ඔබටත් ඔබේ දරුවන්ටත් සුවපත් ජීවිතයක් ගත   කරන්නට හැකියාව ලැබෙනවා නියතයි.