ලොකු කුඩා හැමෝම බරපතළ රෝගවලට ගොදුරු කරගන්නා අපි හැමෝටම තියෙන කරදරයක් තමයි මදුරු කරදරය.ප්‍රමාණයෙන් පුංචි සතෙක් වුණත් ඔවුන් සිදු කරන හානිය සුළු පටු නැහැ. මොකද ඩෙංගු, බරවා, මැලේරියා ආදී බරපතල රෝග තත්ත්වයන් මදුරුවන්ගෙන් බෝ වෙනවා. මේ නිසා ජීවිතය පවා අහිමි කරන්නට තරම් හැකියාවක් මේ පුංචි සත්ත්වයාට තියෙන නිසා වැඩිහිටියන් විදිහට අපි ආරක්ෂා වීම වගේම අපේ දරුවන් මදුරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහාත් අපිට විවිධ ක්‍රම උත්සාහ කරලා බලන්නට සිද්ධ වෙනවා. මේ කරුණු කාරණා ඔබට බොහෝ සෙයින් මදුරු කරදරයෙන් බේරෙන්නට උදව් වේවි.

මදුරුතලා ශාකය නිවසේ වගා කරන්න.
මදුරුතලා කියන්නේ මදුරු විකර්ශක ගුණ සහිත සුවිශේෂී ශාකයක්. මේ ශාකයෙන් නිකුත් වන ගන්ධයට මදුරුවන් කැමති නැහැ. ඒ නිසා මේ මදුරුතලා කොළ පොඩි කිරීමෙන් අවට සිටින මදුරුවන් ඉවත් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ මදුරුතලා කොළ වේලලා ඒවායෙන් දුම් ගැසීම සිදු කරන්නටත් පුළුවන්.

සැර සුවඳ විලවුන් භාවිතය
ඇතැම් වෙලාවට අපි භාවිතා කරන ඇතැම් සුවඳ විලවුන් වර්ගවලට මදුරුවන් කැමැත්තක් දක්වන්නේ නැහැ. විශේෂයෙන්ම පලතුරු සහ මල් සුවඳ තදින් දැනෙන සුවඳ විලවුන් මදුරුවන් ප්‍රිය කරන්නේ නැහැ. ඒ නිසා මදුරුවන්ගෙන් ආරක්ෂා වෙලා ඉන්න මේ ක්‍රමයත් අපට අත්හදා බලන්නට පුළුවන්. නමුත් මේ ක්‍රමය දරුවන්ට භාවිතා කරන්නට නුසුදුසු බව මතකයේ තියාගන්න.
ශරීරය හොඳින් ආවරණය වන ලෙස ඇඳුම් අඳින්න.
ශරීරය හොඳින් ආවරණය වන ලෙස ඇදුම් ඇදීමෙන් මදුරු දෂ්ටනයන්වලින් බේරෙන්න පුලුවන්. විශේෂයෙන්ම ලා වර්ණ සහිත සහිත ඇඳුම්වලට මදුරුවන්ගේ ආකර්ෂණය ඉතා අඩුයි. ඒ නිසා ඔබ මදුරුවන් ගැවසෙන වටපිටාවක ඉන්නවා නම් එවැනි ඇඳුමක් ඇඳීමට කටයුතු කරන්න.
මදුරුවන් ගැවසෙන වේලාවන් මඟ හරින්න.
සාමාන්‍යයෙන් මදුරුවන් වැඩි වශයෙන් ගැවසෙන්නේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී. මේ කාලයන්වලදී එළිමහනේ රැඳී සිටීම අවම කිරීමෙන් මදුරු දෂ්ටනයන්වලින් වැළකෙන්නට පුළුවන්.
විවිධ තෙල් වර්ග භාවිතය
පැගිරි තෙල්, ලැවෙන්ඩර් තෙල්, කුරුදු තෙල්, කොහොඹ තෙල්, tea tree oil ආදිය අපිට ඉතා පහසුවෙන් වෙළඳසැල්වලින් මිලට ගන්නට පුළුවන්. මෙවැනි තෙල් වර්ග ශරීරයේ ගැල්වීමෙන් හෝ සුවඳ ආඝ්‍රාණය වන සේ තැබීමෙන් මදුරුවන්ගේ දෂ්ඨ කිරීම්වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම මේ තෙල් වර්ගවලට වතුර එකතු කර ස්ප්‍රේ කිරීම මගින් ද මදුරුවන් පලවා හරින්නට පුළුවන්.

දුම් ගැසීම
මදුරු කොයිල් ආදී මදුරු විකර්ශක දේවල් කොතරම් තිබුණත් ඒවා භාවිතා කිරීම ඒවා විෂ සහිත වෙන්නේ මදුරුවන්ට පමණක් නෙවෙයි. දරුවන්ටත් වැඩිහිටි හැමෝටමත් ස්වසන ආබාධ ඇතුළු විවිධ රෝග ඇති කරන්නට ඒවා හේතු වෙනවා.
ඉතින් ඒ නිසා අපිට පුළුවන් ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කරලා කරලා මදුරුවන් පලවා හරින්නට දුම් ගැසීම සිදු කරන්න. මේ සඳහා දෙහි කොළ,මදුරුතලා කොළ, කොහොඹ කොළ ආදිය පිලිස්සීමෙන් නැගෙන දුම් භාවිතයට ගන්නට පුළුවන්.
ජලයේ බැස සිටින්න.
ඔබ එළිමහනේ වැඩි කාලයක් ගැවසෙනවා නම් මදුරු දෂ්ඨනවලින් ආරක්ෂා වෙන්නට ජලයේ බැස සිටීම වැදගත්. ඒ සඳහා විශේෂයෙන්ම දරුවන් පිහිනුම් තටාකයකට බැස්සවීම, දරුවන්ගේ සෙල්ලම් තටාකයකට වතුර පුරවා එහි තැබීම ආදියෙන් මදුරු කරදරයෙන් ආරක්ෂා වෙන්නට පුළුවන්.
රාත්‍රී නින්දට පෙර ස්නානය කරන්න .
අපි දහවල් කාලයේදි ස්නානය කළත් රාත්‍රී නින්දට පෙර ස්නානය කිරීමෙන් මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්නට විශේෂ වාසියක් ලැබෙන බව පර්යේෂණවලින් සොයාගෙන තියෙනවා. මිනිස්සුන්ගේ ශරීරයේ දහඩියත් එක්ක ඇති ලැක්ටික් අම්ලයට මදුරුවන් ආකර්ෂණය වෙන නිසා රාත්‍රී ස්නානය සමඟ මේ කරදරයෙන් බොහෝ දුරට මිදෙන්න පුළුවන්. එවිට මදුරුවන්ට අපි සොයා ගැනීම තරමක් අපහසු වෙනවා.
නිවස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගන්න.
මදුරුවන් බෝවෙන ස්ථාන ඉවත් කිරීම මදුරු කරදරය නැති කරගන්නට අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු දෙයක්. ගෙවත්තේ ජලය රැඳී ඇති ස්ථාන මදුරුවන් බෝවීම වැඩි කරන්නට හොඳ පරිසරයක් නිර්මාණය කරනවා. ඒ නිසා කොතරම් කාර්යබහුල වුණත් ඔබේ ගෙවත්ත පිරිසිදු කර ගැනීමට සතියකට වතාවක්වත් වෙලාවක් වෙන්කර ගන්න. ඒ වගේම වතුර රැඳී තියෙන ස්ථානවලට ලුණු හෝ කොණ්ඩිස් ස්වල්පයක් එකතු කරන්න. ඒ වගේම මල් බඳුන් ආදියත් නිතරම පරික්ෂා කර බලන්න.
නිවැසියන් මේ සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කළොත් මදුරුවන් බෝවීම වළක්වා ගෙන මදුරු කරදරයෙන් මිදෙන්නට හැකියාව ලැබෙනවා.