බුද්ධදාස රජු පවා සුව නොවන රෝග සුව කරපු මී ශාකයේ ඔසු ගුණ 16 ක්

health tips

ස්වර්ග ශාකය ලෙස හඳුන්වනු ලබන මී ශාකය මිනිසාට පල ප්‍රයෝජන රැසක් අත්පත් කර දෙන ශාක විශේෂයකි. වර්තමානයේ දී මී ශාකයට වාණිජමය වටිනාකමක් ද පවතී. එයට හේතුව වන්නේ රාත්‍රී කාලයේදී මී ශාකයෙන් ඔක්සිජන් වායුව වාතයට මුදා හරින බව පිළිබඳව පවතින මතිමතාන්තරයි. එබැවින් මී ශාකයෙ කුඩා පැලෑටි වලට වෙළෙඳපොළ තුළ පවතින්නේ ඉතා ඉහළ ඉල්ලුමකි.මී ශාකය ප්‍රයෝජන රැසක් ලබා දෙන ශාකයකි. එනම් 

  • මී තෙල් වලින් පහන් දල්වා ආලෝකය ලබා ගැනීම. 
  • ආහාර සකසා ගැනීම. 
  • මීයන් වැනි සතුන් නිවසට පැමිණීම වලකාලීම. 
  • බෙහෙත් ඖෂධයක් ලෙස භාවිතා කිරීම. 
  • සත්ව ආහාර නිෂ්පාදනය කිරීම. 
  • පොහොර ලෙස භාවිත කිරීම. 
  • සත්ව තුවාල සඳහා යෝග්‍ය ඖෂධයකි. යනාදී වශයෙන් ප්‍රයෝජන රැසක් මී ශාකයෙන් ලබාගත හැකිය.

එනම් මී ශාකය බොහෝ රෝග සුව කර ගැනීමට ඖෂධයක් ලෙස අතීතයේ සිටම යොදා ගනී. එනම් මී ශාකයේ ශරීරයට හිතකර බොහෝ මේද අම්ල  අන්තර්ගතවේ. ඒ අනුව ඔලෙයික් අම්ලය, ලිනෝලෙයික් අම්ලය, සිට්‍ර්යන් අම්ලය වැනි අම්ල කොටස් මී ශාකයේ පවතී.

මී ශාකයේ ඖෂධීය ගුණ

මී ශාකයේ පොතු ශරීරයේ ඇතිවන රෝගාබාධ කීපයකටම මී ශාකයේ පොතු භාවිත කරනු ලබයි. විශේෂයෙන් කැඩුම් බිඳුම් අවස්ථාවලදී මෙන්ම සන්ධි වේදනාවන් ඇති වූ අවස්ථාවලදී මී ශාකයේ පොතු භාවිතා කරමින් ඖෂධ සකස් කරනු ලබයි. 

තවද මී ශාකයේ පොතු හොඳින් වියලා කුඩු කර තේ කෝපි මෙන් සකසා පානය කිරීමෙන් සෙම් රෝග ඇතිවීම වළක්වා ගත හැකිය. එසේත් නොමැති නම් මෙම කුඩු කිරි සමඟ මිශ්‍ර කර පානය කිරීම ද සෙම් රෝග සඳහා ගුණදායක වේ. මී ශාකයේ පොතු පිලිස්සීමෙන් ලබා ගන්නා අලු භාවිත කිරීමෙන් කැස්ස ඇතුළු උගුරේ ආසාදන ද සුවපත් කරගත හැකි ය. 

එසේම දියවැඩියාව පාලනයට යෝග්‍ය ඖෂධයක් ලෙස මී පොතු යොදාගනී. 

එමෙන්ම  මී ශාකයේ පොතු කසායක් ආකාරයට සකසා පානය කිරීමෙන් දත් මුල් දියවී යාම ඇතුළු මුඛ රෝගවලට සහනයක් සලසා ගත හැකි ය. 

සමේ රෝග ඇති වූ අවස්ථාවලදී මී ශාකයේ පොතු හොඳින් අඹරා එම ස්ථානවල ආලේප කිරීම ඉක්මන් සුවයට හේතු වේ. 

තවද පාචනය වැනි රෝගී තත්ත්වයන් වලදී මී ශාකයේ පොතු තම්බා පානය කිරීමෙන් එම රෝගී තත්ත්වය වළකා ගත හැකිය.

මී තෙල් හා මී මුරු මී තෙල් සිඳීමෙන් පසු  ඉතිරිවන කොටස් මී මුරු ලෙස හඳුන්වන අතර ඒවා වණ්ඩුවේ තම්බා සන්ධි ඉදිමුම් පවතින ස්ථානවල තලපයක් ආකාරයට ආලේප කර වෙලා තැබීමෙන් සන්ධි වේදනාවන් සඳහා ඉක්මන් සුවයක් ලබා ගත හැකිය. 

තවද මී තෙල් භාවිතා කිරීමෙන් පිස ගන්නා ආහාර අර්ශස් රෝගීන්ගේ රෝග සුවයට වඩාත් යෝග්‍ය වේ. 

එමෙන්ම කැඩුම් බිඳුම් සන්ධි වේදනා ආදියට මී තෙල් ආලේප කිරීම සුදුසු වේ. ස්නායු ආබාධ සුවපත් කර ගැනීමටද මී තෙල් භාවිතා කළ හැකි අතර චර්ම රෝග සඳහා ද මී තෙල් වඩාත් ගුණදායක වේ.

මී ඇට මී ශාකයෙන් ලබා ගන්නා ඇට ද ඉතා වටිනා ඖෂධයකි. විශේෂයෙන් පුරුෂයන්ගේ ශුක්‍ර දෝෂ හා කාන්තා ප්‍රදර රෝග සඳහා මී ඇට තම්බා පානය කිරීම වඩාත් සුදුසු වේ. 

ශරීරයේ විවිධ ස්ථානවල ඇතිවන වේදනා කැක්කුම් සඳහා නිර්දේශ කරන තැවිලි හා පත්තු සඳහා මී ඇට භාවිතා කරයි. 

එසේම හිසේ කැක්කුම සුවයට , සර්ප විෂ නැසීමට, හෘද රෝග පාලනයට මෙන්ම පිළිකා සෛල අඩපණ කිරීම සඳහා මී ගෙඩි තම්බා පානය කිරීම යෝග්‍යවේ. 

තවද කිරි දෙන මව්වරුන්ගේ කිරි එරීමට සහ  පුරුෂයන්ගේ වාජීකරණ හැකියාව වර්ධනය සදහා මී ගෙඩි වල මද වලින් සකස් කරන ව්‍යංජනය සුදුසු වේ.

මී මල් මී ශාකයේ හට ගන්නා මල්  රෝග සඳහා කදිම ඔසුවකි. අක්මා රෝග, ග්‍රහණි රෝග, ආමාශගත රෝග, අර්ශස්, ශරීර ශක්තිය වර්ධනයට, ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග හා නාසයෙන් ලේ ගැලීම ඇතුළු රෝග රැසක් සදහා මී මල් හා මි මල් වල යුෂ භාවිත කරයි. 

මේ ආකාරයට විමසා බැලීමේදී පැහැදිලි වන්නේ මී ශාකයේ සෑම කොටසක් ම පාහේ ඖෂධීය ගුණයෙන් ඉතා අගනා බවයි.

ඖෂධ වශයෙන් පමණක් නොව  රසවත් ආහාර පාන සකස් කර ගැනීමට ද මී ශාකයේ කොටස් භාවිත කළ හැකි ය. 

විශේෂයෙන් මී මල් බහුලව පිපෙනා කාලයට එම මල් හා පැණි එකතු කිරීමෙන් රසවත් අතුරුපස සකසා ගත හැකි ය. මී මල් තම්බා මිරිකා සකසා ගන්නා පැණි මගින් මී මල් හැලප හා මී මල් රොටී සකස් කර ගනී. 

තව ද මී ඇට තම්බා සකස් කර ගන්නා ව්‍යංජනය ද ඉතා රසවත් වේ. 

මී තෙල් සිදීමෙන් ප්‍රයෝජන රැසක් ලබා ගත හැකිය. ඒවා ආහාර පිසීමටත්, ආලෝකය ලබා ගැනීමට පහන් දැල්වීමටත්, ඖෂධයක් ලෙසත් ප්‍රධාන වශයෙන් යොදා ගෙන තිබේ.

මේ ආකාරයට ගත් කළ මිනිසාට අතීතයේ පටන්ම අදටත් මතු අනාගතයටත් ප්‍රයෝජන රැසක් උදා කර දෙන ශාකයක් ලෙස මී ශාකය හදුනාගත හැකිය. එය සුරක්ෂිත කිරීම මෙන්ම නැවත නැවත වගා කිරීමට යොමු වීමද අතිශයින් ම වැදගත් වේ.