වයසට යාම ස්වාභාවික දෙයක් වුණත් අපි හැමෝම තරුණ පෙනුමට ඉන්නට බොහොම කැමතියි. වයස අවුරුදු 25 පසු කළාම බොහෝදෙනා තමන්ගේ රූපය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් තවත් අය අධික මිලෙන් යුක්ත විවිධ ආලේපන වර්ග තමන්ගේ තරුණ පෙනුම රැක ගන්නට භාවිතා කරනවා. ඒ කොහොමවුණත් බොහෝ දෙනෙකුගේ ආකර්ශණය ලබා ගන්නට වගේම අනෙක් අයට ප්‍රියමනාප ලෙස ජීවත් වෙන්නට පිළිවෙල පිරිසිදු බව වගේම අපේ තරුණ පෙනුමත් බෙහෙවින් ඉවහල් වෙනවා. ඉතින් අපේ ශරීරයේ තියෙන විශාලම ඉන්ද්‍රිය වන සම තරුණ බව වගේම වියපත් බවත් පෙන්නුම් කරන ප්‍රධානම අංගයක්.
දුම්, දූවිලි, හිරු එළිය ආදී සාධක නිසා නිරන්තරයෙන් බලපෑමට ලක් වෙන්නෙත් සම. ඒ නිසා සම ගැන අපි අනෙක් අවයවලට වගේම වැඩි අවධානයක් ලබාදිය යුතුයි. සමේ තරුණ බව පවත්වාගෙන යන්නට පටන් ගන්න ඕනෙ තරුණ වයසේදී. සම් වයසට යන්නට පටන් ගත්තට පස්සේ තරුණ පෙනුම රැක ගන්නට කොතරම් උත්සාහ කළත් ඵලක් නැහැ. ඒ වගේම ඔබේ අවධානය මුහුණට පමණක් සීමාවීමත් සුදුසු දෙයක් නම් නොවෙයි.ඉතින් අද අපි කතා කරන්නේ තරුණ පෙනුමක් ලබා ගන්නට අපි වෙනස් කරගත යුතු පුරුදු මොනවාද කියන කාරණාව පිළිබඳවයි.
සෑම දිනකම රාත්‍රියේදී කළ යුතු සත්කාර

දහවල් කාලයේදී අව්ව, සීතල, දුම්, දූවිලි ආදී විවිධ පාරිසරික තත්ත්වයන් හමුවේ සම, හිසකෙස් ආදිය විවිධ විපර්යාසයන්ට ලක් වෙනවා. දුර්වර්ණ වෙනවා. එය නැවත යථා තත්ත්වයට පත් කරගන්නට වගේම සම ආරක්ෂා කරගන්නටත් රාත්‍රියේදී සත්කාර කළ යුතුමයි. ඒ සඳහා අනුගමනය කළ යුතු රූපලාවන්‍ය පුරුදු පිළිබඳව ඔබ දැනුවත්ව සිටිය යුතුයි.
- මේකප් හොඳින් ඉවත් කරන්න රාත්‍රියේ දී නින්දට යාමට පෙර මුහුණට ගල්වා ඇති මේකප් සියල්ලම හොඳින් ඉවත් කිරීම අතිශයින්ම වැදගත්. රාත්‍රි නින්දේදී සමේ සිදුරු විවර වෙනවා.යම්විටෙක ඔබ රාත්‍රියේදී මේකප් හොඳින් ඉවත් කර නොමැති නම් ඒ සිදුරු අවහිර වී එය කුරුළෑ වගේම බ්ලැක් හෙඩ්ස් ඇති වෙන්නටත් හේතුවක් වෙනවා.
- ටෝනර් භාවිතා කිරීම දිනපතා රාත්‍රි නින්දට යාමට පෙර මුහුණ හොඳින් ටෝනර් කළ යුතුයි. එය සමේ ස්වාභාවික PH අගය නැවත ඇති කරන්නට උපකාරී වෙනවා. ඒ වගේම බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජීවින්ට ඔරොත්තු දෙන පරිදි සම සකස් කරනවා. සම පිරිසිදු කරන්නටත් බෙහෙවින් උපකාරී වෙන අතර තෙල් සහිත හා කුරුළෑ සහිත සමට විශේෂයෙන්ම වැදගත් වෙනවා.
- දෑත්වලට ක්‍රීම් එකක් භාවිතා කරන්න දෑත් සුමුදුව සහ සුමට ලෙස තබා ගන්නට දෑත් කෙරෙහි වැඩි සැලකිල්ලක් ලබාගත යුතු වෙනවා. මේ සඳහා මෘදු සබන් වර්ගයක් භාවිතා කර සෝදාගෙන තුවායකින් පිසදමා සමට සුදුසු ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. එමගින් ඔබේ දෑත්වල පෙනුම වගේම සුමුදු බවත් රැක ගන්නට හැකියාව ලැබෙනවා.
- ඇස් වටා ආලේප කිරීමට ක්‍රීම් වර්ගයක් භාවිතා කරන්න.වයස්ගතවීමේ සලකුණු මුලින් පෙන්නුම් කරන්නේ ඇස් වටා ප්‍රදේශයෙන් බව බොහොදෙනා දන්නවා. ඒ නිසා ඔබේ ඇස්වලට නිසිලෙස සත්කාර කිරීම අවශ්‍යයි. මුලින්ම ඇස් වටා ගල්වා ඇති මේකප් හොඳින් ඉවත් කර නින්දට යාමට පෙර ඇස් වටා ආලේප කිරීමට සුදුසු ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. එමගින් ඇස්වටා ප්‍රදේශයේ තෙතමනය ආරක්ෂා කරන අතර ඇස් වටා අඳුරු පැහැ වීම් සහ රැලි වැටීම් අවම කරනු ලබනවා.
- දෙපාවලට ක්‍රීම් එකක් භාවිතා කරන්න. රාත්‍රී නින්දට යාමට පෙර දෙපා හොඳින් සෝදා පිරිසිදු කරගෙන දෙපාවලට සුදුසු ක්‍රීම් වර්ගයක් ආලේප කර මේස්වලින් පාද ආවරණය කරගෙන නින්දට යන්න. මෙයින් දෙපාවල වියළි බව දුරුකර තෙතමනය ලබාදෙනවා.
තරුණ බව රැක ගන්නට පිළිපැදිය යුතු වෙනත් කරුණු

- අත්‍යවශ්‍යම නිෂ්පාදනයන් හැර වෙනත් කෘතීම නිෂ්පාදනයන් භාවිතා කිරීමෙන් වළකින්න.
- රූපලාවන්‍ය නිෂ්පාදනයන් තෝරා ගැනීමේදී ඉතා හොඳ තත්ත්වයේ පවතින නිෂ්පාදනයන් තෝරා ගැනීමට උත්සුක වන්න.
- ශරීරයට ප්‍රමාණවත් වන පරිදි වැඩිපුර ජලය පානය කරන්න.
- අනවශ්‍ය ලෙස නිතර නිතර මුහුණ ඇල්ලීමෙන් වළකින්න.
- නිදා ගැනීමේදී සිල්ක් කොට්ට උර භාවිතා කරන්න.එයින් මුහුණේ සමට වන හානිය අඩු කරනවා.
- දුරකථනය මුහුණට සමීපව තබා ගැනීමෙන් වළකින්න.
- හිරු එළියට නිරාවරණය වීම අවම කරන්න. යම්විටෙක හිරු එළියට නිරාවරණය වන්නේ නම් හිරු ආවරණ ආලේපනයක් ගල්වන්න.
- මුහුණ සේදීමෙන් පසුව මෘදුව වියළා ගන්න.
- දිනපතා එකම වේලාවට නින්දට යන්න. සුවදායි නින්දක් ලබා ගන්න.
- රාත්‍රියට දුරකථන භාවිතය අවම කරන්න.
- ශරීරික ව්‍යායාම්වල නිරත වන්න.
- මානසික සැහැල්ලුව ඇතිකර ගන්න.
- දිනපතා පිරිසිදුව සිටින්න.
- මධ්‍යසාර අඩංගු නිෂ්පාදන තෝරා ගැනීමෙන් වළකින්න.
- පෝෂ්‍යදායි ආහාරවේලක් ලබා ගන්න.
අපි එදිනෙදා ජීවිතයේදී සිදු කරන සෑම ක්‍රියාවක්ම වගේම අපි ශරීරයේ පැවැත්ම වෙනුවෙන් ලබා ගන්න. සෑම ආහාරයක්ම අපේ රූපය සහ තරුණ පෙනුම කෙරෙහි බලපානු ලබනවා. ඒ නිසා අපේ තරුණ බව රැක ගන්නට සමේ ආරක්ෂාව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තරුණ වයසේදීම අවධානය යොමු කිරීම වැදගත් බව සිතට ගන්න.