වෙරිකෝස් (නහර ගැටගැසීම) සිදුවන්නේ ශිරා අභ්‍යන්තරයේ පිහිටා ඇති කුඩා කපාට (valves) වල ක්‍රියාකාරීබව නැවතිමෙන් ශිරා අකර්මන්‍ය වී යාම නිසයි. නීරෝගි ශිරා තුල කුඩා කපාට දාමයක් ලෙස පිහිටා තිබෙයි . ඒවා එක් දිශාවක් ඔස්සේ ඉතා මෘදු ක්‍රියාකාරීත්වයකින් යුතුව හෘදය වෙතට රුධිරය ගෙනයාම සඳහා විවෘත වෙමින් සහ වැසෙමින් පවතියි. එසේ රුධිරය ගමන් කරමින් තිබියදි එහි ඇති කපාට වලට හානි සිදුවීමෙන් හෝ දුර්වල වී යාමෙන් රුධිරය ආපස්සට ගමන් කිරීමට පටන්ගෙන රුධිරය අධිබාරයක් ඇති වි ශිරාවන් ඉදිමීම සහා විශාලනය වීම සිදුවේ.එම නහර දම් හෝ තද නිල්පැහැයකට හැරී, සමට යටින් අවලස්සනව ඉලිප්පී පෙනෙයි.
වෙරිකෝස් නහර මතුවී පෙනීම හා වේදනාව ඇතිවීම අවම කරගැනීම සඳහා ඵලදායි වන උපදෙස් කිහිපයක් ගැනයි අද අප ඔබට තොරතුරු ගෙන එන්නේ.
- කකුල් දෙක මැද්දෙන් කොට්ටයක් තබාගෙන නිදාගන්න

ඔබ පුරුදුවී සිටින්නේ පැත්තකට හැරී නිදාගැනීමට නම් දණහිස් දෙක අතරමැද ලොකු කොට්ටයක් තබාගෙන නින්දට යාමෙන් කකුල් වල දැනෙන පීඩාකාරී බවට යම් සහනයක් ලබාගත හැකිවෙයි.මෙය ඔබේ සිරුරේ ඉරියව්ව වැඩිදියුණු වීමට වගේම කොන්දේ වේදනාවට යම් සහනයක් සලසයි.කකුල් වල රුධිර ගමනාගමනය වැඩිකරවයි.ඉන් පීඩාකාරී ඉදිමුම් සහ පුපුරුගසන ගතිය මතුවීම බොහෝදුරට අඩුවෙයි.හදවත මට්ටමට වඩා ඉහළින් කකුල් දෙක තබාගැනීමෙන් රුධිර ගමනාගමනය වඩාත් පහසු විය හැකි අතර ඉන් වෙරිකෝස් නහර තවත් නරක අතට හැරීම වළක්වාගැනීමට හොඳ සහයක් ලැබෙයි.
- කකුල් තද නොවන ලිහිල් ඇඳුම් අඳින්න

ඉණ,කකුල් සහ ශ්‍රෝණි ප්‍රදේශය තද වන ආකාරයේ හිර ඇඳුම් ඇඳීමෙන් වළකින්න.ලිහිල් සැහැල්ලු ඇඳුම් ඇඳීමෙන් සිරුරේ රුධිර සංසරණ ක්‍රියාවලියට බාධා ඇති නොවෙයි.එමෙන්ම පහළ ශරීර අවයව වෙත රුධිරය ප්‍රවාහය වීම අඩාල නොකරයි.
- කකුල් උස්ව තබාගන්න

ඔබේ කකුල් හදවත මට්ටමට වඩා උස්ව තබාගෙන විවේකයෙන් සිටින්න. කකුල් ඔසවාගෙන සිටීමෙන් ශිරා වල පීඩනය අඩුවෙයි.ඊට හේතුව වන්නේ ඔබේ කකුල් වලින් නැවත හෘදය වෙත රුධිරය ප්‍රවාහය වීම ගුරුත්ව බලය මඟින් වඩාත් පහසු කරවීම නිසයි. එමෙන්ම රුධිර කැටිති හටගැනීම වළක්වයි. එක දිගට වාඩි වී සිටීමෙන් කකුල් වල ඇතිවන ඉදිමුම් අපහසුතාව සමනය කරගැනීමට මිනිත්තු කිහිපයක් කකුල් දෙක පුටුවක් උඩ තබාගෙන ඉන්න.
- අඩි උස පාවහන් පලඳින්න එපා

අඩි උස සපත්තු පැලඳීම මඟින් ඔබේ ස්වභාවික ගමන් විලාසය පවා වෙනස් වීමට ලක්විය හැකියි (පාදයේ ඉදිරි කොටසට හා ඇඟිලි වලට බර යොමු වීමෙන් කෙණ්ඩ සංකෝචනය විම නිසා). එහි ප්‍රතිඵලයක් ලෙස පාදයේ පිහිටි ශිරා තුල රුධිරය එක් රැස් වීම සිදුවේ. පොලොවෙන් පාදය එසවෙන විට ශිරා තුල රුධිරය පිරී යයි. නැවත, සෙරෙප්පුවේ අඩිය සහා කකුලේ කවාකාර නැම්ම පොලොව මත පතිත වන විට රුධිරය කෙණ්ඩ ආශ්‍රිත ශිරා තුලට නිදහස් වීම සිදුවේ.එහිදී,කෙණ්ඩ ආශ්‍රිත මස්පිඬු (calf muscles) සංකෝචනය වීමට පටන්ගැනීමෙන් ගැඹුරු ශිරා තුලට රුධිරය ගමන් කිරීම සිදුවී වෙරිකෝස් නහර මතුවීමට පටන්ගනියි.
- විදුලි සෝපානය වෙනුවට තරප්පු පෙළ භාවිත කරන්න

මහන්සි නිසා, ඇතැම් විට කම්මැලිකම නිසා විදුලි සෝපානය භාවිත කරනවා ඇති.නමුත් ඉන් ඔබේ සිරුරට කිසිඳු ව්‍යායාමයක් ලැබෙන්නේ නැහැ. පඩිපෙළ නැගීම කියන්නේ ඔබේ සිරුරේ කැලරි වැඩි ප්‍රමාණයක් දහනය කරගැනීමට උපකාරී වන සරල අපූරු ව්‍යායාමයක්.පඩියක් නගින විට ඔබේ කකුලේ කෙණ්ඩා පේශීය ඉස්සෙයි. මෙහිදී කකුලේ මාංශ පේශී හොඳින් සංකෝචනය වී රුධිරය ගමනාගමනයට හොඳ සහයක් ලැබෙයි.
- එප්සම් ලුණු වතුරේ බැස සිටින්න.

විඩාබර දවස අවසානයේ වෙහෙසට පත් මාංශ පේශී සමනය කරගැනීමට එප්සම් ලුණු (සවිඳ ලුණු) සත්කාරය ඉතා ප්‍රයෝජනවත්.එප්සම් ලුණු එක්කළ උණුසුම් ජලයේ කකුල් දෙක ඔබාගෙන ඉන්න. නැත්නම් නාන තටාකයකට උණුසුම් ජලය පුරවා, එප්සම් ලුණු ද එක්කර යම් වෙලාවක් එහි බැසසිටින්න.මෙය වෙරිකෝස් නහර නිසා ඇතිවන දැවිල්ල සහිත ඉදිමුම (ප්‍රදාහය) සමනය කරයි.කකුල් වල රුධිර ගමනාගමනය වැඩිදියුණු කරයි.නහර ඉලිප්පුණු ස්වභාවය අඩුකරයි.
*මෙම පිළියම් උත්සහ කිරීමට පෙර පළමුව, ඔබේ වෛද්‍යවරයා හමුවි නිසි උපදෙස් ලබා දැනුවත්වන්න.