ඔබේ වයසේ 25ක් උනත් පෙනුම 40 පැන්න කෙනෙකුගේ වගේ වෙන්න හේතු 7 ක්

health tips

ඔබේ මුහුණේ සුන්දරත්වය ආරක්ෂා වීමට අභ්‍යන්තර පෝෂණය ලබාගැනීම සහ බාහිර රූපලාවන්‍ය සත්කාර පමණක් ලබාදීම ප්‍රමාණවත් යැයි ඔබ සිතනවාද? ඔබේ ලස්සන වැඩිදියුණු වීමට හෝ පරිහාණියට ලක්වීමට බලපාන තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි එදිනෙදා ජීවිතයේ ඔබ අනුගමනය කරන ඇතැම් පුරුදු.ඔබ අනුගමනය කරන ඇතැම් පුරුදු නිසා ඔබේ ස්වභාවික සුන්දරත්වය හානියට පත්වීමට ඉඩකඩ තිබෙනවා.

 ඔබේ සමට අහිතකර ලෙස බලපෑම් ඇති කරමින් සම වියපත් විමට බලපෑ හැකි අහිතකර පුරුදු 10 ක් ගැනයි මේ. ඔබේ ලස්සන ‍රැකගන්න නම් මෙවැනි වැරදි පුරුදු වලින් හැකිතාක් ඈත්වීමට උත්සහ කරන්න.

හොඳ නින්දක් නොලැබීම වයසට යාම වළක්වන්න බැරි වුණත් අකලට වයස්ගත පෙනුමක් ඇතිවීම වළක්වාගන්න හැකියි. සිරුරේ නිරෝගිබවට නිතිපතා සුවදායි නින්දක් ලැබීම ඉතා වැදගත්.සිරුරේ ගෙවී ගිය ශක්තිය නැවත වර්ධනය වීම,හානි වූ පටක අලුත්වැඩියාවීම ඇතුළු ශරීරයට හොඳ විරාමයක් ලැබෙන්නේ නින්දට ගිය විටයි.නින්ද අඩුමක නිසා දහවල් කාලයේ දූෂිත පරිසරයට, හිරු එළියට නිරාවරණය වීමෙන් හානිවන ඔබේ සිරුරේ සෛල වලට පූර්ණ ලෙස ප්‍රකෘතිමත් වීමට කාලයක් නොලැබී යයි.එය හිතකර දෙයක් නොවෙයි.මේ නිසා ඔබේ සමේ සෛල වලට හානි වී ඔබේ සුන්දර පෙනුම දිනෙන් දින වියපත් ස්වභාවයකට හැරිය හැකියි. හොඳ නින්දක් නොලැබීම සෛල වියපත්වීමේ වේගය වැඩිකරවන බව අධ්‍යයන මඟින් සොයාගෙන තිබෙනවා.දිනකට පැය 7-8ක හොඳ නින්දක් ලබාගැනීම වැදගත් වන්නේ ඒ නිසයි. නින්දට පෙර හොඳ මොයිෂ්චරයිසර් වර්ගයක් සමේ ආලේප කිරීමෙන් සම වියළී යාම වළක්වාගත හැකියි.

දිනකට හොඳින් වතුර පානය නොකිරීම දිනකදී ඔබ පානය කරන වතුර ප්‍රමාණය ඔබේ  සිරුරේ තරුණ පෙනුම කෙරෙහි සෘජුවම බලපායි.හොඳින් වතුර පානය නොකිරීමෙන් සිරුරේ විජලනය හෙවත් අධික වියළි බව ඇතිවෙයි. පේශී පෙරළීම්, හිසරදය, ඉසකරකැවිල්ල් වගේම සම වියළී යාමෙන් සම ‍රැළි වැටී වියපත් වීමට පටන්ගත හැකියි.පානය කරන වතුර ප්‍රමාණය අඩුවන විට සිරුර එහි පටක වල ඇති වතුර අන්තර්ගතය ඉවතට ගැනීමට පටන්ගනියි. මින් සිරුරේ ක්‍රියාවලීන්ට බාධා ඇතිවෙයි.  ප්‍රමාණවත් පරිදි දිනකට හොඳින් වතුර පානය කිරීම මඟින් රුධිර සංසරණය වැඩිදියුණු වෙයි.සිරුරේ රුධිර සංසරණය ඉහළ යාම සමේ නීරෝගිබවට හිතකර තත්වයකි. දිනකට වතුර ලීටර් 1.5-2ක් පමණ පානය කිරීමට උත්සහ කරන්න.

ඩිජිටල් තිර ඉදිරියේ අධික කාල වේලාවක් ගත කිරීම පරිගණකය,ටැබ්ලට් හෝ දුරකථනය භාවිත කරන කාලය screen time එක ලෙස හඳුන්වන්න පුළුවන්. පුද්ගලයෙකු එවැනි ඩිජිටල් තිරයකට කොපමණක කාලයක් නිරාවරණය වී සිටිනවා ද යන්න එහි සරල අදහසයි.‍රැකියාවේදී වගේම නිවසේදීත් ගොඩක් වෙලාවට අප මේවා භාවිත කරනවා.එකදිගට මෙවැනි තිර දෙස බලාසිටීම කිසිසේත්ම ඔබේ සෞඛ්‍යයට හිතකර නැහැ. මෙම ඩිජිටල් තිර මඟින් නිකුත්වන නිල් ආලෝක ධාරා (blue lights) මිනිස් සිරුරේ වියපත්වීමේ වේගය වැඩිකරවන බව පර්යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා.නිල් ආලෝක ධාරා මොළය සහ ඇස් වලට හානි ඇතිකළ හැකි බව ද එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.anti-blue light glasses වැනි ආරක්ෂිත උපැස් යුගලක් පැලඳීම වඩාත් සුදුසුයි.එවගේම හැකිතාක් මෙවැනි උපාංග භාවිත කරන කාලය සීමා කරන්න.

සිගරට්, ගංජා  පානය සිගරට් පානය කිරීම පෙනහළු සෞඛ්‍යයට දැඩි ලෙස හානිකරයි. එපමණක් නොවෙයි ඉන් ඔබේ සමට ද බොහෝ හානි සිදුවෙයි.දුම්පානය නිසා සම වියපත්වීම වඩාත් වේගවත් වීමට පටන්ගන්නා බව සොයාගෙන තිබෙනවා.මේවායේ අඩංගු හානිකර ද්‍රව්‍ය සම ‍රැළිවැටීම,ඇස් යට ඉදිමීම සහ හණු අවට සම එල්ලා වැටීමට හේතුසාධක වේ.රුධිරයේ හානිකර ද්‍රව්‍ය බහුල වීමෙන් සමට අත්‍යවශ්‍ය පෝෂක සහ ඔක්සිජන් සැපයුමට බාධා එල්ලවෙයි.විශේෂයෙන්ම රුධිර නාළ සිහින් වීම සහ රුධිර සංසරණය අඩුවීමේ බලපෑම් සමට එල්ලවෙයි. දුම්කොළ,නිකටින් වැනි ද්‍රව්‍ය සමේ කොලැජන් නිෂ්පාදනයට හානිකරයි. ගංජා ඉරීම සිගරට් වලට විකල්පයක් නොවෙයි.මෙම පුරුද්ද ද සිරුර හා සමේ තරුණබව ඉක්මනින් වියැකීයාමට හේතුවෙයි

සන්ක්‍රීම් භාවිත නොකිරීම දවසේ වැඩි වෙලාවක් එලිමහනේ වැඩකරන කෙනෙක් නම් හොඳ සන්ක්‍රීම් වර්ගයක් භාවිත කිරීම ඉතා වැදගත්.අහිතකර පාර ජම්බුම කිරණට නිරාවරණය වීමෙන් සමේ කොලැජන් සහ ඉලාස්ටින් නිෂ්පාදනයට හානි ඇතිවෙයි.සමේ සෛල ද විනාශ වී යයි.මෙසේ වීමෙන් සම ‍රැළි වැටීම සහ අඳුරු ලප කැලැල් (dark spots) මතුවීම,සමේ ඒකාකාරී පැහැයක් නොමැතිකම වැනි ගැටලු ඇතිවෙයි.ඇතැම් විට චර්ම පිළිකා පවා වර්ධනය විය හැකියි.හිරු එළියට සම නිරාවරණය වීම හැකිතාක් වළක්වාගැනීම වඩාත් සුදුසුයි.SPF අගය 30 හෝ ඊට වැඩි සන්ක්‍රීම් එකක් භාවිත කරන්න.\

අධික සීනි පරිභෝජනය පැණි රසට ඔබ කොතරම් ප්‍රියකරත් අධික ලෙස සීනි ආහාරයට ගැනීම ඔබේ සිරුරට අහිතකරයි.බර වැඩිවීමට වගේම සමේ ගැටලු ඇතිවීමට ද මෙය හේතුවෙයි.සීනි බහුල ආහාර ගැනිමේදී රුධිර සීනි මට්ටම් ඉහළ යයි. මේ හේතුවෙන් සමේ ප්‍රදාහය සහ කුරුලෑ බිබිලි මතුවීමට පටන්ගත හැකියි.මේ හේතුවෙන් සමේ කැලැල් ඇතිවීමේ අවදානම ද වැඩිවෙයි.

ග්ලයිකේෂන් තත්වය හෙවත් ආහාර වල සීනි අණු සමේ කොලැජන් වලට බද්ධ වීම නිසා සමට නොයෙකුත් ගැටලු මතුවෙයි. සම දැඩි වී නම්‍යශිලි බව අඩුවීමෙන් සම පහසුවෙන් ‍රැළි වැටෙයි.සීනි බහුල ආහාර පාන නිසා දන්ත ගැටලු ඇතිවිය හැකියි. දත් දිරායාම, ඇතැම් විට පණුවන් කෑම නිසා ගැලවීමට සිදුවීමෙන් සැබෑ වයසට වඩා වියපත් පෙනුමක් එක්වෙයි.

එළවළු සහ පලතුරු ආහාරයට නොගැනීම සිරුරට අවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ ඇතුළු පෝෂණය ලබාදෙන ගුණදායි ආහාර ලෙස එළවළු සහ පලතුරු හඳුන්වයි.දිනපතා ආහාර වේලට නැවුම් එළවළු සහ පලතුරු වර්ග එක්කරගන්න උත්සහ කරන්න.මේවායේ අඩංගු සෞඛ්‍යයට හිතකර පෝෂක සංඝටක සහ ගුණාංග සමට බොහෝ  ප්‍රතිලාභ ලබාදෙයි.සමට අත්‍යවශ්‍ය ප්‍රතිඔක්සිකාරක වර්ග ද මේවායේ බහුලයි.විටමින් C ප්‍රතිඔක්සිකාරක සිරුරේ ප්‍රතිශක්තිය වඩවයි. විටමින් E මඟින් සමේ කැලැල් ඇතිවීම් ගැටලු අවම කරයි. හිරු කිරණින් සම ආරක්ෂා කරයි. සමේ ප්‍රදාහය අඩුකරයි.විටමින් A සහ B විටමින් වර්ග සමේ කොලැජන් නිෂ්පාදනය ඉහළ දමයි. නිවිති,බතල,දොඩම්,අලිගැට පේර,ස්ට්‍රෝබෙරි, පැණි කොමඩු,බිම්මල් වගේ ආහාර ඉතා ගුණදායකයි.