හැදිලා තියෙන අළුහම් නිට්ට්වට්ම සුව කරන ස්වභාවික පිළියම් 9 ක්

health tips

හිතන තරම් දරුණු නැතත් අපේ රුව අවලස්සන කරන නොයෙකුත් ලෙඩ රෝග අපේ මනසට හරිම පීඩාවක් . අළුහම් කියන්නෙත් ඒ වගේම සම ආශ්‍රිතව  ඇතිවන එක්තරා සමේ රෝගයක්. මේ අළුහම් රෝගය පුද්ගලයාගේ චර්යාත්මක කරුණු කාරණා නිසා ඇතිවීමේ ඉඩකඩ වැඩියි. යම් රෝගයක් ආසාදනයක් ඇති වෙන්නට පෙර එය ඇතිවෙන්නට නොදී ආරක්ෂා වීම තමයි හොඳම දේ. ඒත් අවාසනාවට ලෙඩක් හැදුනම තමයි අපි පරෙස්සම් වෙන්න පටන් ගන්නේ. කොහොමවුණත් ඉතින් අළුහම් නිසා ගොඩක් අය පීඩා විදින නිසා අපි බලමු මෙයින් මිදෙන්නෙ කොහොමද කියලා.  

ලප කැලැල් නැති නීරෝගිමත් සමකට අපි හැමෝම කැමතියි නේ. ඒත්  අළුහම් කියන දිලීර ආසාදනය  නිසා සුදු හෝ කළු පැහැ ලප ඇතිවීම මානසිකව පීඩා ගෙන දෙන තත්ත්වයක්. මේ අළුහම් ඇති කරන්නේ Malassazia මැලසේසියා කියන දිලීර පවුලට අයත් දිලීරයක් මගින්. 

තරුණ මහලු පිරිස් හැරුණාම මේ තත්ත්වය දරුවන් තුළත් ඇතිවෙන්නට පුළුවන්. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ මුහුණේ ඇති තෙල් ග්‍රන්ථි විශාල නිසා වගේම මවගේ හෝර්මෝන දරුවා තුළ එතෙක් පවතින නිසාත් ඒවායේ ක්‍රියාකාරිත්වය අධිකවීමෙන් දරුවන්ගේ මුහුණේ අළුහම් තත්ත්වය ඇතිවෙන්නට පුළුවන්. මේ අළුහම් බෝ වෙන්නත් හැකියාව තියෙන රෝගයක්. ඒ නිසා තමන්ගේ අයහපත් සෞඛ්‍ය පුරුදු යහපත්ව තියාගෙන මුල්කාලීනව ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙය සුවකර ගන්න පුළුවන්. නමුත් ගණන් නොගෙන සිටියොත් නම් මුළු ශරීරයේම පැතිරෙන්නට හැකි  චර්ම රෝගයක් බවත් මතකයේ තබා ගන්න.

අළුහම් ඇතිවීමට බලපාන හේතු 

  • අළුහම් ඇති පුද්ගලයෙකුගේ සබන් හෝ ඇදුම් භාවිතා කිරීම 
  • නිදන කාමර, ඇද ඇතිරිලි අපිරිසිදුව පැවතීම 
  • කෘතීම සබන් හා ආලේපන වර්ග භාවිතය 
  • අපිරිසිදු ජලයෙන් ස්නානය කිරීම 
  • අධික තෙල් සහිත සමක් පැවතීම 
  • පරිසරයේ ආර්ද්‍රතාවය හෙවත් තෙතමනය වැඩිවීම
  • පරිසරයේ උණුසුම වැඩිවීම  
  • ප්‍රතිශක්තිය දුර්වල වීම 
  • අධිකව දහදිය දැමීම 
  • ස්නානයෙන් පසුව හෝ ශරීරය සේදීමෙන් පසුව සම හොඳින්ම  පිසදා නොගැනීම 
  • පරම්පරාව තුළ අළුහම් රෝගීන් සිටීම 
  • ඌණ පෝෂනය 
  • හිස්සොරි තිබීම 
  • ලේ අපිරිසිදු බව 
  • ගර්භණීභාවය 
  • ආහාර මගින් ඇතිවන අසාත්මිකතා 
  • තෙත ඇදුම් ඇදීම 
  • වැරදි ස්ක්‍රබ් ක්‍රම නිසා සහ සමේ අසමතුලිත බව නිසා  සම වියළීම
  • ගල් වැනි රළු දේවලින් සම ඇතිල්ලීම නිසා  සමේ ස්වාභාවික තෙල් ගතිය නැතිව යාම 

අළුහම් හඳුනා ගත හැකි ලක්ෂණ 

  • මුහුණ, ගෙල, පපුව, පිට හා බාහුවල සුදු පැහැ  කුඩා ලප ඇතිවී මුළු සිරුරේම වර්ධනය වීම. මේ ලප සමේ පැහැයට වඩා අඩු පැහැයක් ගැනීම.
  • සාමාන්‍ය සම හා අළුහම් වෙන් වෙන් වශයෙන් පැහැදිලිව දැකගත හැකිවීම 
  • දහදිය දමන විට සම කැසීම  

අළුහම් ඇතිවීම වළක්වා ගන්නට කළ හැකි දේ 

  • සම නිතර පිරිසිදුව තබා ගැනීම 
  • භාවිතා කරන රෙදි පිළි නිතර විෂබීජ නාශක යොදා සෝදා තද අව්වේ හොඳින් වේලා ගැනීම 
  • තමාගේ ඇදුම් පැළදුම්, තුවා, සබන් ආදිය තනි භාවිතයේ තබා ගැනීම 
  • කොළ පැහැ එළවලු වැඩිපුර ආහාරයට ගැනීම
  • හිරු එළියට නිරාවර්ණය වෙන්නට පෙර සන් ක්‍රීම් ආලේපය  
  • මේකප් වර්ග සහ ක්‍රීම් වර්ග තෝරා ගැනීමේදී සැලකිලිමත්වීම
  • විටමින් D  ලබා ගැනීම
  • රුධිරය පිරිසිදු කර ගැනීමට කෂාය වර්ග ලබා ගැනීම 
  • උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැළකීම  (දෙහි යුෂ, එලකිරි, මුං ඇට තැම්බූ වතුර  සහ කැඳ වර්ග දිනපතා පානය කිරීම )

අළුහම්  සඳහා  ආයුර්වේද ප්‍රතිකාර 

1.පේර කොළ කොටා මිරිකා ගත් යුෂ ස්නානය කිරීමට පැයකට පෙර ආලේප කර සෝදා හරින්න. මෙය දින කිහිපයක් එකදිගට සිදු කිරීමෙන් සුවය ලබා ගන්න පුළුවන්.

2.දෙහි ගැට , කළුවා අල එකට කොටා මිරිකා ගත් යුෂ අළුහම් ඇති ස්ථානවල පමනක් ආලේප කර පැයකින් පමණ ස්නානය කරන්න.

3.පෙරුම්කායම් ඇල් ජලයෙන් අඹරා අළුහම් ඇති ස්ථානවල පමනක් ආලේප කර පැය දෙකකට පමණ පසුව ස්නානය කරන්න. මෙය දින කිහිපයක් සිදු කරන්න.

4.පේර දළු ,අමු කහ, ගෙන එළගි තෙලින් හොඳින්  අඹරා අළුහම් ඇති ස්ථානවල ආලේප කර පැයකින් පසු සෝදා හරින්න.

5.කරිවිල කොළ ටිකක් හොඳින්  අඹරා අළුහම් ඇති ස්ථානවල ආලේප කර සෝදා හරින්න පැයකින් දෙකකින් පමණ .

6.හෙන්දිරික්කා කොළ ටිකක් පොල්තෙල්වලින් අඹරා අළුහම්වල ගල්වා පැයකින් පසුව ස්නානය කරන්න.

7. කොහොඹ කොළ, නිදිකුම්බා කොළ , ඇත්තෝර කොළ, ගංසූරිය කොළ, ලුණුවිල ,වෙනිවැල් ගැට සහ අමු කහ  ආදිය එකට දමා හොඳින් තම්බා ඒ ජලයෙන් ඇඟ සෝදන්න.

8. පේර කොළ, සැවැන්දරා කුඩු තේ හැන්දක්, කොහොඹ කොළ ස්වල්පයක් සහ අමු කහ ස්වල්පයක් ගෙන  හොඳින් සියල්ල අඹරා අලුහම්වල  ආලේප කර පැයකින් පමන සෝදා හරින්න. 

(මේ අත් බෙහෙත් දිනපතා කිරීම සුදුසු නොවන අතර සතියකට 2-3 වතාවක් කිරීම ප්‍රමාණවත්.)

සැලකිලිමත් වෙන්න.

අළුහම් ඇතැම් විට වෙනත් රෝගයක රෝග ලක්ෂණ විදියට ඇති වෙන්නට පුළුවන්. එවැනි රෝග විදියට , 

  • දද
  • සුදු කබර
  • චර්ම පිළිකා
  • ලාදුරු  

පෙන්වා දෙන්න පුළුවන්.

ඒ නිසා සමේ ඇතිවන ලප අළුහම් යැයි තමා විසින් නිගමනය කර ෆාමසිවලින් විවිධ ක්‍රීම් වර්ග හෝ ඖෂධ මිලට ගෙන භාවිතා නොකර මුලින්ම වෛද්‍යවරයෙක් හමුවී නිශ්චිත වශයෙන් අලුහම් රෝගය ද යන්න පරීක්ෂා කරවා ගන්න මතක තියා ගන්න.  

ඒ වගේම අත් බෙහෙත් භාවිතයේදී වැරදි ක්‍රමත් ඇතැම් අය අනුගමනය කරනවා. එයින් සම පිළිස්සෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම  ඇත්තෝර සමේ විශබීජ නැති කරන අළුහම්වලට ඉතා ගුණදායක ඖෂධයක් වුණත් දෙහි ඇඹුලෙන් අඹරා ආලේප කිරීමෙන් සම පිළිස්සීමට ඉඩකඩ තියෙනවා . ඒ ගැන සැලකිලිමත් වෙන්න.