මධ්‍යම ප්‍රමාණයට වැඩෙන දේශීය ශාක විශේෂයක් ලෙස එළ මිදෙල්ල ශාකය පෙන්වා දිය හැකිය. මෙම ශාකය මීටර් විස්සක් පමණ උසට වැඩෙන අතර දිය මිදෙල්ල ලෙස ද ව්‍යවහාර වේ. මෙම ශාකයට දිය මිදෙල්ල යන නම ව්‍යවහාර වන්නේ ඇල දොල ගංගා ඉවුරු අසබඩ මෙම ශාකය බහුලව දැකගත හැකි වීම නිසාවෙනි. මෙම ශාකයේ පත්‍ර සෙන්ටි මීටර් පහළොවක් පමණ දිගින් යුක්ත වන අතර ඒවා සරල පත්‍ර වේ. තවද මෙහි ශාක කද ගත් විට එහි පොත්ත දැඩි ඝනකම් සහිත ය. එළ මිදෙල්ල ශාකයේ පුෂ්ප මංජරියක් ආකාරයට දැක ගත හැකි අතර ඒවා ගොනු වශයෙන් පහළට එල්ලා වැටී තිබේ. එසේ පවතින මල් දීප්තිමත් රතු පැහැයෙන් යුක්ත වන අතර ඉතා අලංකාර වේ. එමෙන්ම චතුරස්‍රාකාර හැඩයෙන් යුතු පලයක් තුළ එක් බීජයක් පමණක් පිහිටා තිබේ. මෙම එළ මිදෙල්ල ශාක ප්‍රභේදයට අයත් තවත් ශාක දෙවර්ගයක් පවතී.
- ගොඩ මිදෙල්ල
- සහ මුදිල්ල ආදී වශයෙනි.

ඖෂධීය ගුණයෙන් අනූන ශාකයක් ලෙසද මෙම එළ මිදෙල්ල ශාකය හඳුනාගත හැකි අතර ඖෂධ සකස් කිරීමේ දී එළ මිදෙල්ල ශාකයේ කොළ, දළු, මුල්, පොතු, මල්, ඵල හා බීජ යනාදී සෑම කොටසක්ම පාහේ යොදාගනී. එසේ භාවිතා කරන එල මිදෙල්ල ශාකය ඖෂධීය ගුණ කර්ම අතින් ඉතා පොහොසත් වේ. එහි පහත අකාරයේ ඖෂධීය ගුණ පවතී.
- ගර්භාෂය සංකෝචනය කරන ගුණය.
- රුධිරය පිරිසිදු කිරීමේ ගුණය.
- උණ රෝග නැසීමේ ගුණය.
- සෙම් නැසීමේ ගුණය. යනාදී ගුණ පවතී.
එළ මිදෙල්ල ශාකයේ ඖෂධීය භාවිතයන් රැසක් පවතින අතර ඒවායින් කිහිපයක් පහත පරිදි පෙන්වා දිය හැකිය.
එළ මිදෙල්ල ශාක පත්‍ර මැල්ලුම. එළ මිදෙල්ල ශාකයේ පත්‍ර මැල්ලුමක් ආකාරයට සකසා ආහාරයට එක්කර ගැනීම ශරීරයේ ඇතිවන ලෙඩ රෝග රැසකට ප්‍රත්‍යක්ෂ ඔසුවක් වේ. විශේෂයෙන් ආහාර අරුචිය, ප්‍රමේහ රෝග, ලේ, පිත්, සෙම් කෝප වීමෙන් ඇතිවන කුෂ්ඨ තත්ත්වයන් යනාදී රෝග වලට මෙම මැල්ලුම ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ.
එළ මිදෙල්ල පත්‍ර ස්වරසය ආම අතීසාර රෝගයෙන් පෙළෙන විට එළ මිදෙල්ල පත්‍ර ස්වරසයට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර අනුභව කිරීම යෝග්‍ය වේ. එමෙන්ම ඇදුම රෝගය සුවකර ගැනීම සඳහා ද එළ මිදෙල්ල පත්‍ර ස්වරසය ගම්මිරිස් ඇට විස්සක චූර්ණය සමඟ හෝ එළ මිදෙල්ල ඇට චූර්ණය සමඟ භාවිත කිරීම යෝග්‍ය වේ.
එල මිදෙල්ල ඇට චූර්ණය. හිසරදය ඇති වූ විට එළ මිදෙල්ල ඇට චූර්ණ ග්‍රෑම් 5ක් පමණ ප්‍රමාණයක් ඉඟුරු ඉස්ම සමග මිශ්‍රකර නස්‍ය කිරීමෙන් ඉක්මන් සුවයක් ලබා ගත හැකිය.
එමෙන්ම නිතර නිතර ඇස්වලින් කඳුළු ගලන විට එළ මිදෙල්ල ඇට චූර්ණය ඇල් දියෙන් අනා ඇසේ බාහිරින් ආලේප කිරීම මගින් සුවයක් ලබාගත හැකිය.
තවද කුඩා දරුවන්ගේ බඩ ශරීර ප්‍රමාණයට වඩා ඉදිරියට නෙරා ඒම පාලනය කර ගැනීම සඳහා එල මිදෙල්ල ඇට චූර්ණය ග්‍රෑම් පහක් දහයක් අතර ප්‍රමාණයක් කිරි සමග මිශ්‍ර කර ලබා දීම යෝග්‍ය වේ.
එල මිදෙල්ල ශාකයේ ගෙඩි, පොතු හා කොළ වල යුෂ. එළ මිදෙල්ල ශාකයේ ඇතැම් කොටස් වලින් වෙන්කර ගන්නා යුෂ ඇතැම් ලෙඩරෝග වලට වඩාත් සුදුසු වේ. සෙම්ප්‍රතික්ෂාව, කැස්ස, ඇදුම වැනි රෝගී තත්ත්වයන් වලදී එළ මිදෙල්ල ශාකයේ ගෙඩි වලින් වෙන්කර ගන්නා යුෂ ලබා දීම වඩාත් යෝග්‍ය වේ.
අතීසාරය රෝගය සුවකර ගැනීම සඳහා එළ මිදෙල්ල ශාකයේ පත්‍ර වලින් වෙන්කර ගන්නා යුෂ ලබාදීම වඩාත් සුදුසු වේ.

ලය විරේක වීම සඳහා ලබා දෙන ඖෂධ කිහිපයක එකතුවක් ලෙස ද එළ මිදෙල්ල ශාකය යොදා ගන්නා අතර ශාක පොතු වලින් වෙන් කරගන්නා යුෂ ඒ සඳහා භාවිතා කරයි.
එමෙන්ම කැපුම් තුවාලයක් සිදු වූ අවස්ථාවකදී එළ මිදෙල්ල ශාක කදෙන් වෙන්කරගන්නා පට්ට වැනි පොතු කැබැල්ලක් එම කැපුම් ස්ථානයට තබා බැඳීමෙන් ඉක්මන් සුවයක් ලබා ගත හැකිය.
එළ මිදෙල්ල තැම්බූ වතුර. විශේෂයෙන් මේ සඳහා එළ මිදෙල්ල ශාකයේ කොල, පොතු හා මුල් භාවිතා කරන අතර ඒවා තම්බා ගත් ජලය මුඛ සේදුම් කාරකයක් ලෙස භාවිතා කිරීමෙන් මුඛ රෝග සියල්ලක්ම පාහේ සුවකර ගැනීමට හැකියාව ලැබේ. ඉහත දක්වා ඇති රෝගාබාධ වලට අමතරව පහත රෝග තත්වයන් වලට ද දිය මිදෙල්ල ශාකය වඩාත් යෝග්‍ය වේ.
- රක්ත අතිසාරය සුව කරයි.
- ප්‍රමේහ රෝග වලට යෝග්‍ය වේ.
- කුෂ්ඨ රෝග සුව කරයි.
- ලේ වමනේ සුව කරයි.
- කෘමි දෂ්ඨන නිසා ඇති වූ විෂ නසයි.
- ගණ්ඩු සුව කරයි.
- ආහාර අරුචිය දුරු කරයි.
- ආදී වශයෙන් රෝග රැසකට සුවය සලසයි.
මීට අමතරව එළ මිදෙල්ල ශාකයේ දළු පලා මැල්ලුමක් ආකාරයට සකසා ආහාරයට එක්කර ගැනීම සුලබ වේ.
එළ මිදෙල්ල ශාකයේ දැව බෝට්ටු සැකසීමට, විසිතුරු භාණ්ඩ සැකසීමට, කෘෂි උපකරණ සැකසීමට මෙන්ම ආයුධවල මිටවල් ලෙසද භාවිතා කිරීම සුලභ වේ.
මේ ආකාරයට ඖෂධීය ප්‍රයෝජන මෙන්ම අවශේෂ ප්‍රයෝජන රැසක් ලබා දෙන ඉතා වටිනා ශාක විශේෂයක් ලෙස එළ මිදෙල්ල ශාකය පෙන්වාදිය හැකිය.