මන්ද පෝෂණය හැදෙන්න ගිය දරුවන්ගේ ජීවිත දහස් ගණනින් බේරූ ඖෂධීය කැඳ පානය

health tips

සුවබර ජීවිතයක් ගත කරන්නට නම් අපේ  ශරීරයට අවශ්‍ය කරන සියලුම පෝෂක නිසි පරිදි අපේ ශරීරයට ලැබෙන්නට ඕන. නියමිත ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් පෝෂ්‍ය ද්‍රව්‍ය ශරීරයට ලැබීම එහෙම නැත්නම් අධිපෝෂණය වගේම අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් පෝෂ්‍ය ද්‍රව්‍ය ලැබීම එහෙම නැත්නම් අඩු පෝෂණය කියන තත්ත්වයන් දෙකම පුද්ගලයාගේ සෞඛ්‍යයට  කොහෙත්ම හිතකර නැහැ. 

ඉතින් අපි අද කතා කරන්නේ වර්තමානයේදී අපේ රටේ බරපතළ ගැටලුවක් බවට පත් වෙමින් යන එක්තරා කාරණයක් පිළිබඳව. ඒ තමයි මන්දපෝෂණය. පුද්ගලයකුගේ ආහාරවේලේ අවශ්‍ය ප්‍රමාණයට පෝෂණය අන්තර්ගත නොවීම නිසා ඇතිවන සංකූලතා තත්ත්වයක් වෙන මේ මන්දපෝෂණය සෘජුව වගේම වක්‍රවත්  බොහෝ රෝගාබාධවලට  හේතුවක් . ඒ නිසා වැඩෙන වයසේ සිටින ඔබේ  දරුවන්ගේ පෝෂණය ගැන අනිවාර්යෙන්ම වැඩිහිටි ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා.දරුවන් මන්දපෝෂණයට ගොදුරු වෙන්නට හේතු කිහිපයක්ම බලපානවා.

  • ගර්භණී සමයේදී අඩු පෝෂණයක් ලැබීම හේතුකරගෙන අඩු බර දරු උපත් සිදුවීම 
  • අඩු ආදායම
  • ‍ප්‍රමාණවත් ලෙස ආහාර නොගැනීම 
  • ප්‍රමාණවත් ලෙස විටමින්, ඛනිජ ලවණ සහ අනෙකුත් අත්‍යවශ්‍ය පෝෂක අන්තර්ගත නොවීම. 

කුමන හේතුවක් නිසා හෝ මන්දපෝෂණයෙන් පෙළෙන පුද්ගලයකුගේ ශරීර ස්කන්ධ දර්ශකය 18.5 වඩා අඩු අගයක් ගන්නවා.  එය හැරුණාම දුර්වල මස්පිඩු, නිතර වෙහෙස දැනීම,  ආසාදනවලට නිතර ගොදුරු වීම සහ දරුවන්ගේ වර්ධනය බාල වීම ආදී ලක්ෂණ දැක ගන්න පුළුවන්.

 මන්දපෝෂණය නිසා ඇති වන බලපෑම් 

  • වකුගඩු අකර්මණ්‍ය වීම –  මුත්‍රා ප්‍රමාණය සහ මුත්‍රා ලවණ යාමනය වෙනස් වීම 
  • මොළය –  මානසික සෞඛ්‍ය   ගැටළු,උදාසීන බව සහ  අවපීඩනය
  • ප්‍රජනනය – ශුක්‍රාණුවල සරු බව අඩු වීම, ගර්භනී  කාලයේදී මන්දපෝෂණය නිසා ළදරුවාගේ වර්ධනයේ ගැටළු  
  • ශරීර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස අඩුවීම
  • තුවාල සුව වීම පමාවීම 
  • කෘශ බව –  සමේ ඇදෙන සුලු ස්වභාවය නැතිවී වියළී යාම, හිසකෙස් ගැලවී යාම, පේශීන් ක්ෂය වීම, තෙහෙට්ටුව,  ආහාර රුචිය නැතිවීම සහ මලානික බව . 

ඉතින් මන්දපෝෂණය වයස් භේදයක් නැතිව ඕනෑම අයෙකුට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමස්ත සෞඛ්‍යටම එය බරපතල ලෙස බලපෑම් ඇති කරන්නත් සමත් වෙනවා. මේ මන්දපෝෂණයට ගොදුරු වීම වළක්වා ගන්නට කළ හැකි සාර්ථකම ක්‍රමය තමයි සෞඛ්‍ය සම්පන්න සමබල ආහාර වේලක් ලබා ගන්නා එක. නමුත් වර්තමානයේ ලංකාවේ ඇතිවෙලා තියෙන ආර්ථික ගැටලු සමග ආහාරවල මිල ඉහළ යාමත් නිසා පෝෂණ ගුණයෙන් ඉහළ සමබර ආහාර වේලක් ලබා ගැනීමේ යම් යම් ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා දරුවන්ගේ ශරීරයේ බර අඩුවී  ප්‍රතිශක්තිකරණය දුර්වල වී මන්දපෝෂණ තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. 

ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ මේ ඌණ පෝෂණ තත්ත්වය  මාන්දම  විදියටයි හඳුන්වන්නේ. ඒ තුළ මේ මාන්දම දුරු කරන්නට විවිධ ඖෂධ වර්ග සහ අතිරේක ආහාර වර්ග පිළිබඳව සඳහන් වෙනවා. පහසුවෙන් ශරීරයට ලැබිය යුතු සියලුම පෝෂක අඩුවක් නැතුව ලබාගත හැකි ක්‍රමයක් තමයි කැඳ. ඒ අතරින් අපි ගොඩක්දෙනෙක්ට කාලවේලාව අඩුකමත් එක්ක මගහැරිලා ගිහින් තියෙන කැඳ වර්ගය තමයි කොළ කැඳ. ඉතින් හැමදාම හදන කොළ කැඳ වෙනුවට බාල තරුණ මහලු හැමෝටම එකසේ ගුණ දෙන විශේෂ කැඳක් ගැනයි මේ කියන්න යන්නේ. 

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොළ යුෂ  
  • සහල් පිටි
  • ඉරිඟු
  • කුරක්කන්
  • කඩල
  • මුං ඇට 
  • දිය කිරි සහ මිටි කිරි 
  • සිහින්ව ලියාගත් රතු ළූණු 
  • තලාගත් සුදු ළූණු 
  • කරපිංචා
  • තලාගත් ඉඟුරු
  • සිහින්ව කපාගත් රටඉඳි
  • වියලි මිදි
  • සීනි
  • ලුණු ස්වල්පයක් 

 මුලින්ම සහල් පිටි වශයෙන් සකසා ගෙන බැදගන්න. ඒ වගේම ඉරිඟු, කුරක්කන්, කඩල, මුං ඇට  ආදිය සාමාන්‍ය ප්‍රමාණයට බැඳගෙන කුඩු කරගන්න. 

ඉන්පසු අවශ්‍ය ප්‍රමාණයට ලොකු මුට්ටියක් ගෙන  ධාන්‍ය පිටි සියල්ල මෙයට දමා දියකිරි එකතු කර හොඳින් මිශ්‍ර කර ලිප තබන්න . මේ  මිශ්‍රණය ඝන බවට පත්වෙනවා නම් කලින් උණු කරගත් ජලය ටිකක් එකතු කර හොඳින් හැඳි ගාන්න. එයටම සිහින්ව කපාගත් රතුළූණු, සුදුළූණු  කරපිංචා ඇතුළු සියල්ල එකතු කරගන්න.

 ඉන්පසු හොඳින් හැඳිගාන්න. ඒවා හොඳින් තැම්බුණ පසුව මිටි කිරි එකතු කර නටවා ගන්න. ඉන්පසු මෙයට කොළ යුෂ එකතු කර බුබුලු නගිනවාත් සමගම ලිපෙන් ඉවත් කර අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කර නිවෙන්නට සලස්වන්න. 

ළමයෙක් සඳහා මේ  සාදාගත් කැඳ වීදුරුවක ප්‍රමාණයක් ලබාදෙන්න. මෙය සතියකට දින දෙක තුනක් ලබාදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. 

මේ පෝෂණීය කැඳ සඳහා එකතු කරගත හැකි කොළ වර්ග ලෙස ගොටුකොළ, මුගුණුවැන්න, කුප්පමේනිය  එළබටු ආදිය භාවිත කරන්න පුළුවන් .

මේ කැඳවල කාබෝහයිඩ්‍රේට් , ප්‍රෝටීන්, මේදය, තන්තු, කැල්සියම්, යකඩ, පොටෑසියම්, පොස්පරස් ආදී ඛනිජ ලවණ වගේම ෆෝලික් ඇසිඩ්, තයමීන්, රයිබොප්ලෙවින් ආදී විටමින් වර්ගත් අඩංගු වෙනවා. ඒ වගේම දෛනිකව අවශ්‍ය වන යකඩ අවශ්‍යතාවයෙන් 100% ක් සහ කැල්සියම්  අවශ්‍යතාවයෙන් භාගයක් පමණත්  මේ කැඳ පානයෙන් ලබාගන්නට පුළුවන්. මේ ඖෂධීය කැඳ පානයෙන් ආහාර ජීරණ ගැටළු නැති කිරීම, ආහාර රුචිය වර්ධනය සහ  ප්‍රතිශක්තිකරණය වර්ධනය ආදී ප්‍රතිලාභ ලබාගන්නට පුළුවන්.

මන්දපෝෂණයට දරුවන් වගේම වැඩිහිටි ඔබ අපි හැමෝම ගොදුරු වෙන්නට පුළුවන්. නමුත් අධික මිල ගණන්වලට මස් මාළු බිත්තර ආදිය නොගත්තත් මෙවැනි කැඳ වර්ග, නැවුම් පලතුරු එළවලු, කොස් ඇට,  කොස්,දෙල් කොට්ටම්බා ආදී ඇට වර්ගත් ධාන්‍ය වර්ගත් පහසුවෙන් අපේ ආහාරවේලට එකතු කරගන්නට හැකියාව තියෙනවා. එවිට මන්දපෝෂනය අපෙන් තුරන් කරගන්න අපහසු වෙන්නෙ නැහැ.