ඉපදෙන දරුවන් පවා ලෙඩ්ඩු කරන කාන්තාවන්ට හැදෙන පෝෂණ ඌණතාව

health tips

ගැහැණිය ලෝකයේ උතුම්ම පදවිය දරන්නියක්. කුඩා  බිළිදියක් ලෙස ජන්මය ලබා දැරියක්, තරුණියක්, බිරිඳක්, මවක්, මිත්තණියක් විදියට සිය ජීවිත කාලය පුරාවටම ඇය සිදු කරන කැපකිරීම් අනන්තයි. අප්‍රමාණයි. ඒ නිසාවෙන්මයි මේ ලෝකය පවතින්නේ හිරුගේ රශ්මියෙන් සහ මව්ගේ කිරිවලින් කියන අදහස සමාජගත වෙලා තියෙන්නේ. ඉතින් සැබැවින්ම මේ ලෝකයට ජීවය උපද්දවන්නේ ගැහැණිය. ඒ නිසාම පුරුෂ පාර්ශවයටත් වඩා කාන්තාවකගේ පෝෂණය සහ සෞඛ්‍ය සම්පන්න බව අතිශයින්ම වැදගත්. මොකද කාන්තාවක් රටට බිහි කරන්නට උත්සාහ කරන්නේ  නීරෝගී දරුවෙක්. නීරෝගී දරුවෙකුට ජන්මය ලබා දෙන්නට නම් ගැහැණියකගේ සෞඛ්‍ය සම්පන්න බව ඉතාම වැදගත්.සෞඛ්‍ය සම්පන්න දිවියකට නිසි පෝෂණය ලැබීම අනිවාර්යයි. ඉතින් ගැහැණියක් තමන්ගේ නීරෝගී බව උදෙසා ආහාර ගත යුත්තේ කෙසේද? . අද අපේ ප්‍රස්තුතය වන්නේ එයයි.

පෝෂණ ඌණතාවය හේතුවෙන් ඇතිවන බෝ  නොවන රෝග 

විශේෂයෙන්ම සමීක්ෂණ වාර්තා අනුව තරුණ වයසේ පසුවන තරුණියන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. එනම් උසට සරිලන බර නැහැ. ඒ වගේම තරුණියන් 5 දෙනෙකුගෙන් එක් අයෙක් නිරක්තියෙන් පෙළෙනවා.මේ කාන්තාවන් අනාගතයේදී මව්වරුන් බවට පත් වෙනවා. ඒ නිසා විවාහ අපේක්ෂිත තරුණියන් විදියට ඔවුන් නිසි පෝෂණයකින් යුක්ත විය යුතුයි. විශේෂයෙන්ම දරුවෙකු බිහිකරන අවස්ථාවේ මවගේ සෞඛ්‍ය සම්පන්නභාවය අතිශයින්ම වැදගත් වෙනවා. 

දරුවා කුස තුළ වැඩෙන මව නිරක්තියෙන් පෙළීම ලේවල හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙන්නට හේතුවක්. කළලය වේගයෙන් වැඩෙන අවස්ථාවේදී අවශ්‍ය පමණට ඔක්සිජන් ලැබිය යුතුයි. ඔක්සිජන් මුළු සිරුර පුරාම ගෙන යන්නේ හිමොග්ලොබින් මගින්. මව නිරක්තියෙන් පෙළීම මව හරහා කළලයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන්නට හේතුවක්. එවිට සෑම ඉන්ද්‍රියක්ම විකසනය වන අවස්ථාවේදී  ඒ පද්ධති විකසනයට අවශ්‍ය  දහන ක්‍රියාවලිය  සඳහා  අවශ්‍ය කරන ඔක්සිජන් නොලැබීමෙන්  ඒ ඉන්ද්‍රිය පද්ධතිවල  වර්ධනය යම් ආකාරයටකට අඩාල වෙන්නට පුළුවන්.එහි ප්‍රතිඵලය ලෙස අඩු බර සහිත දරුවෙක් ජන්මය ලබනවා. මේ මවගේ පෝෂණ ඌණතාවයන් නිසා කළලය යම් පීඩනයක් මැද වැඩෙන නිසා හෝර්මෝන සහ එන්සයිම් ශ්‍රාවයෙත් වෙනස්වීම් සිදු වෙනවා.ඒවා අනාගතයේදී බෝ නොවන රෝග රෝග ඇතිවීමේ අවදානම ඇති කරනවා. 

විශේෂයෙන්ම කිලෝ ග්‍රෑම් 2 ½ කට වඩා අඩු උපත් බරක් සහිත දරුවෙකුට දියවැඩියාව,  අධි රුධිර පීඩනය  හෘදයාබාද, පිළිකා අවදානම ඉතා ඉහළයි. ඒ නිසාවෙන් දරුවා මව්කුස තුළ වැඩෙන දින 280 ක් කාලය, ඉපදී පළමු  අවුරුදු 2 ක කාලයත් ඉතාම වැදගත් වෙනවා නීරෝගී දරුවෙකු සමාජයට දායාද කිරීම උදෙසා.

 අද බොහෝදෙනෙක් අධ්‍යාපන කටයුතු රැකියාවේ කටයුතු හෝ වෙනත් ඉලක්කයන් කරා හබායාම නිසා  අතට හසුවෙන දෙයක් ආහාරයට ගන්නට පමණයි පෙළබෙන්නේ. ඒ හැරුණාම එය අපේ නීරෝගී බවට සිදු කරන බලපෑම පිළිබඳව හෝ එයින් සිරුරට ලැබෙන පෝෂණය පිළිබඳව සිතන්නේ නැහැ. ඒ නිසාම කාන්තාවන් බොහෝදෙනෙක් තරබාරුව නිසා  වගේම බෝ නොවන රෝග නිසා පීඩාවට පත්වෙලා  ඉන්නවා. 

ක්ශණික ආහාර වෙතට ඇති නැඹුරුව නිසා අපේ ශරීරයට අධික ලෙස සීනි, තෙල්, සහ ලුණු එකතුවීමක් වෙනවා. ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බයිට්ස් වර්ග, පාන්, සෝස් වර්ග ආදී  මෙකී නොකී සෑම ආහාරයකින්ම අධික ලෙස ලුණු  අපේ ශරීරයට එකතු වෙනවා . ලුණු තේ හැන්දක ප්‍රමාණය හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක් දෛනිකව අපේ ශරීරයට ගත යුතු වුණත් මෙවැනි ආහාර නිතර ගැනීමෙන් වැඩිපුර අපේ ශරීරයට ලුණු එකතු වෙනවා. ලුණු අධික වීම පිපාසය ඇති කරනවා. ඒ වගේ අවස්ථාවල ජලය පානය කිරීම වෙනුවට පැණි බීම කෙරෙහි යොමු වෙනවා. එය අධික සීනි වගේම ලුණු තවදුරටත් ශරීරයට ඇතුළු කර ගන්නවා.එය දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ස්ථුලභාවය යන තත්ත්වයන් කාන්තා පුරුෂ භේදයකින් තොරව ඇති කරන්නට හේතු වෙනවා. 

ඒ නිසා කාන්තාවක් විශේෂයෙන්ම අනාගතයේදී ජීවයක් දායාද කරන අයෙක් විදියට තමන් ගන්නා ආහාර පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතුයි. 

අද වයස අවුරුදු 40 ඉක්මවීමත් සමඟ බොහෝ අය ඔස්ටියෝපොරෝසීස්  වැනි අස්ථි සම්බන්ධ රෝග තත්ත්වයන්ගෙන් පීඩා විදිනවා. නමුත් මෙවැනි තත්ත්වයන් හමුවේ වයස්ගත වූ පසුව විටමින් වර්ග ලබාගැනීම එතරම් සාර්ථක නැහැ. අවුරුදු 20 ක් පමණ වනතුරු දරුවෙකුගේ අස්ථි ඝනවීම සිදු වෙනවා. ඒ කාලය තුළ දී දරුවාට එළවලු, පලතුරු, පලා වර්ග, මස්, මාළු, කිරි, බිත්තර ආදී සෑම ආහාරයක්ම ලබාදිය යුතුයි. නමුත් පෝෂණීය ආහාරවේලක් තරුණ වයස දක්වා දරුවාට නිසි පරිදි නොලැබුණොත් නිසි පරිදි අස්ථි ඝන වෙන්නේ නැහැ. එය වයස්ගත වීමත් සමඟ විශේෂයෙන්ම වයස අවුරුදු 35 දක්වා සෙමින් අස්ථි ඝනවීම සිදුවුණත් 35 න් පසුව ඒවා ක්‍රමයෙන් තුනී වීම සිදුවෙනවා. වයස්ගතවීමෙන් පසුව මේ අස්ථි ගෙවී යාම යම්තාක් දුරකට අඩු කරන්නට මේ වයසේදී කැල්සියම් ලබා ගැනීමෙන් උපකාරයක් වෙනවා. නමුත් එය එතරම් සාර්ථක වෙන්නේ නැහැ.

ඉතින් ගැහැණු පිරිමි දෙපාර්ශවයටම හොඳ ආහාරවේලක් අත්‍යවශ්‍යයයි. නමුත් අනාගතයට ජීවය දෙන අයෙක් ලෙස කාන්තාවකගේ පෝෂණය පිළිබඳව සෑම කාලයකදීම වැඩි අවදානයක් ලබාදීම ඉතා වැදගත් වෙනවා. නීරෝගී පරපුරක් බිහි කිරීම  සඳහා දරුවාගේ කුඩා වයසේ සිට තරුණ වයස දක්වා ඔවුන්ගේ පෝෂණය පිළිබඳව දෙමාපියන් වැඩිහිටියන් විදියට වැඩි අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත්. ඒ නිවැරදි පෝෂණය නීරෝගී පරපුරක් බිහිකරන්නට දායක වන නිසාවෙන්.