අපේ ශරීරයේ නීරෝගී පැවැත්ම සඳහා විවිධ පෝෂක අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ඒවා නිසි ප්‍රමාණයෙන් සිරුරේ පැවතීමත් ඉතා වැදගත්. යම් විටෙක අපේ ශරීරයේ ක්‍රියාවලීන්ට ඕන කරන පෝෂක වර්ග නිසි ප්‍රමාණවලින් ලැබෙන්නේ නැත්නම් සිරුරේ සාමාන්‍ය ක්‍රියාවලීන්ට එය බාධාවක් වෙනවා නම් කෙළින්ම ඒ තත්ත්වයන් අපිට විවිධ සංඥා මගින් දැනුම් දෙනවා. මේ ලක්ෂණ ගැන අපි අවධානයෙන් පසුවුණොත් ඒ තත්ත්වයන් මගහරවා ගෙන ලෙඩ නොවී ජීවත් වෙන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා අද අපි ඔබට කියන්න යන්නේ ඒ ආකාරයට අපේ ශරීරය අනතුරේ ඇති බව පෙන්නුම් කරන පූර්ව ලක්ෂණ කිහිපයක් පිළිබඳව.
පෝෂණ ඌණතා ඇතිවිට දේහයේ පෙන්නුම් කරන ලක්ෂණ

විදුරුමස්වලින් ලේ ගැලීම, නාසයෙන් ලේ ගැලීම -දත් මදින අවස්ථාවක වගේම ආහාර ගන්නා අවස්ථාවකත් විදුරුමස්වලින් රුධිරය ගලා යන්නේ නම් හෝ දිවේ තුවාල ඇතිවී ඒවායින් රුධිර ගැලීමක් වෙනවා නම් එය බොහෝවිට විටමින් C ඌණතාවයක් නිසාවෙන් වන්නට පුළුවන්. මේ ආකාරයට විටමින් C ඌණතාවය නිසා ස්කර්වි කියන රෝගී තත්වය ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම රුධිර සංසරන පද්ධතියේ ක්‍රියාකාරිත්වයටත් එයින් බාධාවක් ඇති කෙරෙනවා.
මේ සඳහා ස්වභාවික පිළියම් අපිට භාවිතා කරන්නට පුළුවන්. විශේෂයෙන්ම එදිනෙදා ආහාරවේලට දොඩම්, නාරං , දෙහි ඇතුළු පැගිරි කුලයේ පලතුරු , පේර, තක්කාලි, බෙහෙත් නෙල්ලි ආදී ආහාර එකතු කර ගන්නට පුළුවන්.ඒ හැරුණාම විටමින් C පෙති වශයෙන් ඔබට ලබා ගන්නටත් පුළුවන්.
පුද්ගලයාගේ වයස, උස, බර වගේම ගර්භනී අයෙක් ද මව්කිරි ලබාදෙන මවක් ද යන්න වගේම ඒ ඒ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය අනුවත් දෛනිකව ලබාගත යුතු විටමින් C ප්‍රමාණය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටි කාන්තාවක් සඳහා විටමින් C දෛනික අවශ්‍ය වෙන ප්‍රමාණය වෙන්නේ මිලිග්‍රෑම් 75 ක්. පිරිමි පාර්ශවයේ අයෙකුට මිලිග්‍රෑම් 90 ක් දෛනිකව ලබාගත යුතු වෙනවා.
පෙති වශයෙන් ගත්විට මිලිග්‍රෑම් 100, 500, සහ මිලිග්‍රෑම් 1000 ආදී වශයෙන් දැක ගන්නට පුළුවන්. නමුත් දෛනිකව අපිට අවශ්‍ය විටමින් සී ප්‍රමාණය මිලිග්‍රෑම් 75-90 ත් අතර ප්‍රමාණයක්.
නියපොතු, ඉක්මනින් කැඩීයාම, සන්ධි චලනයේදී ශබ්දයක් නිකුත් වීම-මේ ලක්ෂණවලින් කියවෙන්නේ අපේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් නොමැති බව. මේ කැල්සියම් නිසි ප්‍රමාණයට සිරුරට නැවත ලබා නොදුන්නොත් එය දීර්ඝකාලීනව තිබීමෙන් ආතරයිටීස් රෝගය ඇති වෙන්නත් පුළුවන්.
මේ සඳහා කිරි ආශ්‍රිත ආහාර වැඩි වශයෙන් ලබා ගැනීමත්, පීනට් බටර් ඇතුළු කැල්සියම් බහුල ආහාර වර්ගත් ආහාරවේලට නිතර එකතු කර ගැනීමෙන් මේ තත්ත්වය යථා තත්ත්වයට පත්කර ගන්නට පුළුවන්.
මුහුණ, තොල් හා නියපොතු සුදුමැලිවීම-මේ ලක්ෂණ ඇත්නම් එය ඔබේ සිරුරට යකඩ ප්‍රමාණවත් නොවන බව පෙන්නුම් කරන ලක්ෂණ වෙනවා. මෙයට නිසිපරිදි පිළියම් නොකළහොත් රක්තහීනතාවය වුණත් ඇති වෙන්නට පුළුවන්. එදිනෙදා ආහාර වේලට නිවිති,බීට් රූට්, ගැට පොළොස්, දෙල්, බඩ ඉරිඟු ආදිය ඇතුළත් කර ගැනීම සහ ව්‍යායාම්වල නිරතවීම මගින් මේ තත්ත්වය මගහරවා ගන්නට හැකියාව ලැබෙනවා.
B කාණ්ඩයේ විටමින් ඌණතාවයන් ඇතිවිට පෙන්නුම් කරන ලක්ෂණ

- හිසකෙස්වල වියළි බව වැඩි වී අධිකව ගැලවී යාම, නියපොතු අවපැහැ ගැන්වීම හා ඉක්මනින් කැඩීයාම ,නියමහ පතුරු වශයෙන් ගැලවී යාම මේ ලක්ෂණ සියල්ලම හෝ කිහිපයක් ඔබ අත්දකින්නේ නම් එය බොහෝවිට ශරීරයට බයෝටීන් ඌණ වී ඇති බව පෙන්නුම් කරන්නක් විය හැකියි.බයොටීන් කියන්නේ විටමින් B වල එක් ආකාරයක්.
- යටි පතුල් පැලිම, නිතර ඇස් රතු වී තිබීම, තොල්වල ඇතුල් පැත්තේ හෝ කට දෙපස බිබිලි හෝ තුවාල ඇතිවීම මේ ලක්ෂණ සඳහා හේතු වෙන්නේ විටමින් B 1 ඌණවීම නිසා.
- නියපොතුවල හරස් ඉරි ඇතිවීම විටමින් B 1 ඌණතාවය නිසා ඇතිවනවා.
- නියපොතු දුර්වර්ණ වීම විටමින් B 12 ඌණතාවය නිසා මේ ලක්ෂණ ඇති වන්නට පුළුවන්.
- නළල, නහය ආශ්‍රිත ප්‍රදේශ හා කම්මුල් රතු පැහැ වීම
විටමින් B 6 ඌණතාවයක් හේතුවෙන් ඇතිවෙන ලක්ෂණයක්.

- බොහෝවිට පැණි රස සහ බේකරි නිෂ්පාදන අධිකව ආහාරයට ගන්නා අය තුළ මේ ලක්ෂණ වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා. මේ සඳහා විටමින් B බහුලවම අඩංගු වෙන ආහාරපාන ලබා ගැනීම කළ යුතුයි. කිරි, බිත්තර, කොළ පැහැ පලා වර්ග, සෝයා බෝංචි රට කජු, කජු, ආමන්ඩ් ආදී ආහාර එදිනෙදා ආහාරවේලට එකතු කරගැනීමත් සීනි සහිත ආහාර සහ බේකරි නිෂ්පාදන ගැනීම සීමා කිරීමත් මේ ගැටළුව සඳහා අනිවාර්ය වෙනවා.
- නියපොතු මත සුදු ලප මතුවී තිබීම මෙම ලක්ෂණය මගින් හඟවන්නේ අපේ ශරීරයට සින්ක් ඌණතාවයක් පවතින බව. පුරුෂයන්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය නිෂ්පාදනය සඳහා සින්ක් අත්‍යවශ්‍ය වෙනවා. යම්විටෙක මෙය ශරීරයට ප්‍රමාණවත් තරම් නැත්නම් එය රැවුල නොවැඩීමට , මාංශපේශී නිසි පරිදි වර්ධනය නොවීමට සහ ලිංගික පරිණතභාවයක් නොවීමට කියන තත්ත්වයන් ඇතිවෙනවා.
- කාන්තාවන්ගේ ගර්භනී කාලයේ දී සින්ක් ඌණ වුණොත් එහි බලපෑම මවට වගේම දරුවාටත් හානිදායක ලෙස බලපෑම් ඇති කරනවා. ඒ නිසා අධික පැණි රස ආහාර සහ පිටි ආහාර භාවිතය සීමාකර ඒ වෙනුවට තල් ඇට, වට්ටක්කා ඇට, සූරියකාන්ත, කජු වර්ග, ධාන්‍ය වර්ග හැකිතාක් ආහාරයට එකතු කරගත යුතුයි.
- නියපොතුවල සිරස් අතට රේඛා ඇතිවීම ,ඇස් බැම හැලීයාම හා ඇස් යට ඉදිමුම් ස්වභාවයක් ගැනීම -මෙය අයඩීන් ඌණතාවයක් ඇති බව හඟවන ලක්ෂණයන්. එවැනි ගෝවා, මල් ගෝවා, ආදී ගෝවා කුලයට අයත් ආහාර ගැනීමෙන් වැළකිය යුතු වෙනවා. ඒ හැරුණාම අයඩින් ලුණු භාවිතයට ගැනීමත් වැදගත් ගන්නවා. ඉතින් මේ වගේ ලක්ෂණ ගැන දැනුවත් නම් ඔබටත් රෝග තත්ත්වයන් දරුණු මට්ටමකට ගමන් කරන්නට පෙර වෛද්‍යවරයෙකු හරහා ප්‍රතිකාර ලබාගෙන එහි බලපෑම් අඩුකර ගන්නට පුළුවන්.