බහු වාර්ෂික පැලෑටි විශේෂයක් වන ගොටුකොළ ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකක් පවතී. එනම්,
- හීං ගොටුකොළ
- මහ ගොටුකොළ වශයෙනි.
මේ අතුරින් හිං ගොටුකොළ නොහොත් වෙද ගොටුකොළ ඖෂධීය ගුණයෙන් අනූන වේ. ඕනෑම ගෙවත්තක ඉතා කුඩා බිමක හෝ බදුනක පහසුවෙන් වගා කර ගත හැකි ගොටුකොළ දෛනික ආහාර වේලකට එක්කර ගත හැකි ය. මෙහි සරල පත්‍ර දිගු නටුවක් සහිත ව පවතින අතර භූගත කදන් වලින් ව්‍යාප්තිය සිදු වේ. කොළ කැඳ සකසා ගැනීමට අනිවාර්යයෙන්ම ගොටුකොළ මිටක් භාවිත කරයි. ඊට අමතරව සලාද සැකසීමට ද ගොටුකොළ යොදාගනී. මිනිස් සිරුරට අත්‍යවශ්‍ය කරන පෝෂ්‍ය සංඝටක බොහෝමයක් ගොටුකොළ වල අන්තර්ගත වේ. ඒ අනුව කැලරි, යකඩ, කැල්සියම්, ප්‍රෝටීන්, මේදය, පොස්පරස්, විටමින් සී යනාදී පෝෂ්‍ය කොටස් අන්තර්ගත වේ.
ඖෂධීය වශයෙන් ද ගොටුකොළ වල භාවිතයන් රාශියක් පවතී.

මතක ශක්තිය වර්ධනය කරයි. අධ්‍යාපනය ලබන දරුවන්ට මතක ශක්තිය පැවතීම අනිවාර්ය වේ. ඒ අනුව මතක ශක්තිය වර්ධනය කරන ඖෂධයක් ලෙස ගොටුකොළ පෙන්වාදිය හැකි ය. ගොටුකොළ කොටා යුෂ වෙන්කර ඊට ලුණු ස්වල්පයක් මුසුකොට පානය කිරීම මේ සදහා යෝග්‍ය වේ.
තවද ගොටුකොළ ග්‍රෑම් පන්සීයකට එලකිරි බෝතල් 2ක් දමා හොදින් තම්බා මද පවනේ වියලා කුඩුකර ගත යුතු ය. අනතුරුව එම කුඩු වලට ගිතෙල් මුසුකර කලං එක බැගින් උදේ සවස ආහාරයට ගැනීමෙන් මතක ශක්තිය වර්ධනය කරගත හැකි ය.
පීනස රෝගය සඳහා යෝග්‍ය වේ. පීනස ආකාර කිහිපයකි. ඒ අනුව රුධිරය පිටවන පීනස පවතින පුද්ගලයින් හට ගොටුකොළ කලං හයකට වලග සහල්, තිප්පිලි හා ඉගුරු පියලි කලං දෙක බැගින් මිශ්‍රකර පත අට එකට සිදුවා සීනි හෝ මී පැණි යොදා උදේ සවස පානය කිරීමට ලබා දීම ගුණදායක වේ.
තවද උදෑසනට කිවිසුම් යාමත් සමග ඇතිවන පීනස තත්ත්වය සුවපත් කර ගැනීම සඳහා ගොටුකොළ දඩු, වලග සහල්, අරලු හා සිවිය කලං තුන බැගින් මිශ්‍රකර සකස් කරන කසාය පානය කිරීමට ලබා දීම යෝග්‍ය වේ.
මීට අමතරව පොදුවේ පීනස රෝගය සුව කරගත හැකි ගොටුකොළ මිශ්‍ර ඖෂධ පවතී. ඒ සදහා ගොටුකොළ දඩු, සුදු ලූණු, වලගසාල්, ඉගුරැ පියළි යනාදී ඖෂධ කළං 3 බැගින් ගෙන පත අට එකට සිදුවා සීනි හෝ මී පැණි දමා උදේ හවස පානය කිරීම යෝග්‍ය වේ.
ළදරැ පණු රෝග සුව කරයි. ළමයින්ට වැලදෙන විවිධාකාරයේ පණු රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස ගොටුකොළ හදුනාගත හැකි ය. ඒ සදහා ගොටුකොළ නැටි හා වලගසාල් තම්බා පානය කිරීමට ලබාදීම යෝග්‍ය වේ.
මීට අමතරව කුඩා දරුවන්ට ඇතිවන ආහාර අරුචිය දුරු කරගත පැණියක් සකස් කිරීමට ද ගොටුකොළ භාවිත කරයි. ඒ කෙසේ ද යත්, ගොටුකොළ කොටා යුෂ වෙනකර ඊට සීනි යොදා උකු පැණි පදම එනතෙක් හොදින් කකාරා තේ හැන්ද බැගින් දිනකට තුන්වරක් ලබාදීමෙන් ආහාර රුචිය වර්ධනය කරගත හැකි ය.

ගෑස්ට්‍රයිටීස් රෝගය සඳහා යෝග්‍ය වේ. ගෑස්ට්‍රයිටීස් රෝගීන් තේ පානය කිරීමෙන් රෝගය තවත් උත්සන්න විය හැකි අතර තේ වෙනුවට ආදේශක පානයක් ලෙස ගොටුකොළ මද පවනේ වියලා කුඩුකර තේ මෙන් සකසා පානය කිරීමෙන් සුවයක් සලසා ගත හැකි ය.
අර්ශස් රෝගය සුව කරයි. මේ සදහා ගොටුකොළ, රතුලූනු, කොහිල අල හොදින් කොටා යුෂ වෙන්කර ඊට සහල් හෝ මුං ඇට මිශ්‍රකර කැද පානයක් සකසා භාවිත කිරීම වඩාත් යෝග්‍ය වේ. මෙම පානය උදෑසනට හිස්බඩ භාවිත කිරීම වඩාත් සුදුසු වේ.
මීට අමතරව දරුවන්ට ඇතිවන ලේ අතීසාරය සුව කර ගැනීමට ගොටුකොළ යුෂ වලට දුරු කුඩු ස්වල්පයක් හා සීනි ස්වල්පයක් මුසු කොට පෙවීම වඩාත් සුදුසු වේ.
හිසේ කැක්කුම සුව කරයි. මේ සදහා ගොටුකොළ මුල් යොදා සකස් කරගත් කොට්ට හිසට තැබීම සිදු කරයි. ඊට අමතරව ගොටුකොළ, උදුපියළිය, තල, බෙහෙත් එඩරැ ඇට, උක් හකුරැ, කොට්ට පොල් යනාදිය සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන පොට්ටනි බැද වන්ඩුවේ තම්බා නළල, හිස ආශ්‍රිත ප්‍රදේශ තැවීමෙන් ද හිසේ කැක්කුම සුව කරගත හැකිය. ඉහත රෝග වලට අමතරව පහත ආකාරයේ ඖෂධීය ගුණයන් ද ගොටුකොළ වල පවතී.
- ස්‍රාවයන් ගලන තුවාල සුව කරයි.
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
- රුධිරය පිරිසිදු කරයි.
- රක්ත හීනතාවය සුව කරයි.
- ආහාර රුචිය වඩවා ආහාර ජීරණය පහසු කරයි.
- සමේ රෝග සඳහා යෝග්‍ය වේ.
- මලබද්ධය ඇතිවීම වළකාලයි.
- සර්ප විශ නසයි.
- ශරීර ශක්තිය වර්ධනය කරයි.
- මුත්‍රා රෝග සුව කරයි.
- මානසික ව්‍යාකූලතා පාලනය කරයි.
- පුරුෂ ශක්තිය වඩවයි.
- ස්නායූ දුර්වලතා මගහරවයි.
- සම , හිසකෙස් පෝෂණය කරයි.
- අක්ශි නිරෝගිමත් කරයි.
- වියපත් වීම පාලනය කර තරුණ පෙනුම රැක දෙයි.
යනාදී වශයෙන් මිනිස් සිරුරට ගුණදායක ඔසුවක් ලෙස ගොටුකොළ හදුනාගත හැකි ය.