කාන්තාවන්ට හැදෙන ආර්තවාභාව රෝගයේ ලක්ෂණ 17 ක්

health tips

පිරිමි පාර්ශවයට වගේම ස්ත්‍රී පාර්ශවයටත් වැඩිවිය පැමිණීම කියන කාරණය පොදුයි. නමුත් තරුණියක් වැඩිවිය පැමිණීම පිළිබඳව අපිට වැඩි වශයෙන් කතා කරන්නට සිදු වෙනවා. මොකද මේ වැඩිවිය පැමිණීම ඇයට මවක් වීමේ අවස්ථාව හිමිකරදෙන නිසා. ඉතින් මේ වැඩිවිය පැමිණීම හෙවත් මල්වර වීම පළමු ඔසප් රුධිර වහනයෙන් අපි හඳුනා ගන්නවා. ඉන් පසුව දින 28 කින් මාසිකව මේ ඔසප් චක්‍රය ක්‍රියාත්මක වෙනවා. කාන්තාවකගේ ඔසප් චක්‍රය ක්‍රමවත්ව සිදුවීම ඇයගේ සෞඛ්‍යයට වගේම මවක් වීමේදීත් ඉතා වැදගත් වෙනවා. ඒ අතරේ අක්‍රමවත් ඔසප් චක්‍රයක් හිමි කාන්තාවන්ට විවිධ ගැටළුවට මුහුණ දෙන්නටත් සිදු වෙනවා. ඒ සඳහා නිසි ප්‍රතිකාර නිසි වියේදී ගැනීම වඩා සුදුසුයි. ඉතින් අද අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් කාන්තාවකගේ මෝරන ලද ඩිම්බ් මුදා හැරීම සහ හෝර්මෝන නිදහස් වී ගර්භාෂය දරුවෙකු සඳහා සකස් වී දෙවනුව ගැලවී රුධිර වහනය ලෙසට පිටතට ගලායාම කියන ඔසප් වීමේ ක්‍රියාවලියේ නැවතීම පිළිබඳවයි.

මේ ඔසප්වීම නතරවීම ආර්තවභාවය ලෙසටයි හඳුන්වනු ලබන්නේ. මේ නැවතීම සාමාන්‍යයෙන් වයස අවුරුදු හතළිස් ගණන්වල අග හෝ පනස් ගණන්වල මුල් කාලයේදී සිදු වෙනවා. කාන්තාවන්ට මසකට වරක් ඩිම්බ පිටවෙන නිසා ඔසප්වීම ස්ථිරව නැවතීම කාන්තාවන් සියලුම දෙනාට පොදුවේ අත් විදින්නට වෙන ස්වාභාවික සංසිද්ධියක්.මේ නතරවීමේදී ක්‍රමයෙන් ඔසප්වීම ක්‍රමයෙන් ක්‍රමවත් වී කාල පරතරය වෙනස්වීමකට ලක්වෙලා ඔසප්වීම් දෙකක් අතර කාල පරතරය වැඩි වී ක්‍රමයෙන් එය නතරවීමකට ලක් වෙනවා. වසරකට වඩා මේ ඔසප් වීම සිදු නොවුණු විට එය ආර්තවභාවය (menopause ) ලෙසටයි සලකනු ලබන්නේ.නමුත් ඇතැම් අවස්ථාවල ඩිම්බකෝෂ ශල්‍ය කර්මයකින් ඉවත් කළ විට කෘතීම ආර්තවහරණය ඇති වෙනවා. මේ ආර්තවහරණය නිශ්චිතවම සිදුවී ඇත්දැයි රුධිරයේ FSH සහ LH  යන හෝර්මෝන පරීක්ෂාවකින් සනාථ කර ගන්නට පුළුවන්.

ආර්තවභාවයට පෙර දකින්නට ලැබෙන ලක්ෂණ 

මේ ආර්තවභාවය ඇති වන්නේ කෙටි කාලයක් තුළ නොවෙයි. ඒ අවම වසර 4 ක පමණ කාලයක් මුළුල්ලේ ඩිම්බකෝෂවල ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් අඩාල වීමේ ප්‍රතිඵලයක් ලෙසයි සිදු වන්නේ. මේ කාලය තුළ ඩිම්බකෝෂවලින් ශ්‍රාවය වන ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන ක්‍රම ක්‍රමයෙන් පහළ යාම නිසා ශාරීරික වගේම මානසික වශයෙන් විවිධ වෙනස්කම්වලට ඒ කාන්තාවට මුහුණ දෙන්නට සිදු වෙනවා. හෝර්මෝන හිඟකමේ ප්‍රතිඵලයක් විදියට ඇතිවන ඒ වෙනස්වීම් බොහෝවිට ශාරීරිකව දැඩි ලෙස පීඩා ගෙන දෙන්නට සමත් වන ඒවාද වෙනවා.

  • එකවරම ඇඟ උණුසුම් වීම 
  • අධික ලෙස දහදිය දැමීම. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී අධික ලෙස දහදිය දැමීම වගේම සීතල දේශගුණික තත්ත්වයන් යටතේ වුණත් දහදිය අධික ලෙස පිටිවීම සිදුවෙනවා.
  • ඉරුවාරදය වැනි හිසරදය 
  • පපුවේ ගැස්ම
  • හතිය සහ ක්ලාන්ත ගතිය 
  • නින්ද නොයාම 
  • ඊස්ට්‍රජන් හෝර්මෝනය ශ්‍රාවය වීමේ අඩුකම නිසා යෝනි මාර්ගයේ වියළි ස්වභාවයක් ගැනීම හේතුවෙන් ලිංගික සබඳතාව සඳහා තිබූ උනන්දුව හීන වීම .
  • ලිංගික එක්වීමකදී වේදනාවන් ඇතිවීම 
  • මුත්‍රා මාර්ගයේ ආසාදන ඇතිවීම. ඇතැම්විට යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීමක් හෝ කැසීමක් ඇතිවීම 
  • මුත්‍ර පිට කරන වාර ගණන වැඩිවීම , මුත්‍රා වේග දරා  සිටීමට නොහැකි වීම හා ඉබේ මුත්‍ර පිටවීම  
  • සම වියළීයාම තුනී වීම සහ රැලි වැටීමට පටන් ගැනීම 
  • පියයුරු හැකිලීයාම හා ඒවායේ වේදනාව 
  • කොන්දේ වේදනාව වගේම හන්දි හා මස් පිඩුවල වේදනාව 
  • නුරුස්සන සුළු ස්වභාවය 
  • අලස බව 
  • යමක් කෙරෙහි අවධානයෙන් බැලීම අඩුවීම 
  • අමතක වීම 
  • විෂාදය 
  • මානසික ආතතිය 

ආර්තවභාවය හේතුවෙන් ඇතිවිය හැකි රෝග 

ඔසප් චක්‍රය නතරවූ කාන්තාවකට විවිධ බෝ නොවන රෝග වැළදීමේ දී ඉහළ අවදානමක් නිර්මාණය වෙනවා.

  • විශේෂයෙන්ම පියයුරු පිළිකා, අධි රුධිර පීඩනය, හෘදයාබාධ ඇති වෙන්නට පුළුවන්. 
  • අස්ථි දියවීම වැඩිවීම .

ඒ නිසා මේ වයසේදී සුළු වැටීමකදී වුවත් උකුල් ඇටය,  අත් හා කොඳු ඇට පෙළේ ආදී ශරීරයේ ඕනෑම අස්ථියක්  පවා බිඳී යාම ආදී අනතුරුවලට ගොදුරු වෙන්නට පුළුවන්. මේ නිසා වසරකට වරක්වත් වෛද්‍ය  පරීක්ෂණවලට යොමුවීම වැදගත්.

මේ ආර්තභාවය රෝග ලක්ෂණයක් නොවුවත් ඇතැම් කාන්තාවන්ට එයින් ඇතිවන පීඩාකාරී තත්ත්වයන් නිසා ඊස්ට්‍රජන් හෝ ප්‍රොජෙස්ටරෝන් අඩංගු ඖෂධ ප්‍රතිකාර වශයෙන් ලබා ගන්නට සිදු වෙනවා. ඒ වගේම යෝනි මාර්ගයේ ඇතිවන වියළිභාවය දුරු කරගන්නට ඊස්ට්‍රජන් හෝර්මෝන අඩංගු ක්‍රීම් වර්ග නිර්දේශ කරනු ලබනවා. නමුත් පෙති මගින් ඊස්ට්‍රජන් වසර 5 ට වඩා  එකදිගට ලබාගැනීම පියයුරු පිළිකා වගේම ගර්භාෂ පිළිකා සෑදීමේ අවදානම ඇති කරන නිසා වසරකට වරක් පරීක්ෂාවක් සිදු කර ගැනීම සුදුසුයි. නමුත් මේ තත්ත්වය කාන්තා සියලු දෙනාටම පොදු වූ තත්ත්වයක් නිසා මේ පීඩාකාරී තත්ත්වයන් මගහරවා ගැනීමට ඖෂධ ලබා ගැනීම හැර ඉවසීමෙන් අවබෝධයෙන් එය දරා ගැනීමයි වඩා වැදගත් වෙන්නේ.

ආර්තවභාවයට සාර්ථකව මුහුණ දීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග 

  • සමබල ආහාර වේලක් ලබා  ගැනීම 
  • දිනපතා ව්‍යායාම්වල නිරත වීම 
  • අක්‍රීය හෝ සක්‍රීය දුම්පානයෙන් වැළකීම 
  • උසට සරිලන ලෙස දේහ බර පවත්වා ගැනීම 
  • මනස සැහැල්ලු කර ගැනීමට අදාල ක්‍රියාකාරකම් වල යෙදීම. විශේෂයෙන්ම දරුවන් සමඟ වැඩි කාලයක් ගත කිරීම වඩා සුදුසුයි.

කාන්තාවන් සියලුදෙනාටම අත්විදීමට සිදුවන ආර්තවභාවය ඉවසීමෙන් හා අවබෝධයෙන් ජය ගැනීමයි කාන්තා ඔබ විසින් සිදු කළ යුතු වෙන්නේ. ඒ සඳහා මේ කාරණා ඔබට වඩාත් ප්‍රයෝජනවත් වේවි.