ගැහැනු දැරිවියක් මල්වර වීමෙන් පසු ආරම්භ වන ඔසප් චක්‍රය සෑම මසකට වරක් සිදුවේයැයි පිළිගැනීමවේ. සාමාන්‍ය පිළිගැනීම ඔසප් චක්‍රය දින 28 කට වරක් සිදු සිදු වේයැයි වුවත් එය දින විසිපහේ සිට දින 35ක් දක්වා කාල පරාසයක වුවද සිදුවිය හැකිය.
ඔසප් චක්‍රයේ දී ඩිම්බ මෝචනයක් සිදු වන අතර එහිදී ස්‍යුනිකාව පිපුරූ ස්ථානයෙහි කැළලක් ඇති වේ. එමගින් ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ශ්‍රාවය කරවන අතර එම හෝමෝන මගින් ගර්භාෂ බිත්තිය වර්ධනය කරයි. විශේෂයෙන් මෙහිදී ගර්භාෂ කුහරය මුදු පටලයකින් වැසී යන අතර කල් යත්ම එය රුධිරවාහිනී වලින් සමන්විතව ඝන තත්ත්වයට පත්වෙයි. මෙසේ සැකසෙනු ලබන්නේ ඩිම්බ මෝචනයකින් පසුව ශුක්‍රාණුවක් මුණගැසුනේ නම් එය අධිරෝපණය වීම සඳහාය. යම් හෙයකින් අධි රෝපණයක් සිදු නොවුනහොත් ගර්භාෂ කුහරය වැසී පවතින ආවරණය රුධිරයත් සමග පිටවීම සිදුවේ. ගැහැණු දරුවෙකුගේ මුල්ම අවස්ථාවේදී සිදුවන මෙම සිදුවීම මල්වර වීම නොහොත් වැඩිවියට පත්වීම ලෙස හඳුන්වයි.
මෙසේ ආරම්භ වන ඔසප් චක්‍රය මාසිකව සිදුවන ක්‍රියාවලියක් වන අතර ඔසප් වීම දින තුනේ සිට දින 5ක් දක්වා කාල පරාසයක් තුළ පැවතිය හැකිය. කෙසේ නමුත් ඔසප් කාල සීමාව දිනකට සීමා වීම හෝ සතියකට වඩා වැඩි වීම ගැටලුකාරී අවස්ථාවකි.
කාන්තාවකගේ නිරෝගී භාවය තහවුරු කරන එක් අවස්ථාවක් වන්නේ ක්‍රමවත් ඔසප් චක්‍රයක පැවැත්මයි. එනමුත් මෙම ක්‍රමවත් ඔසප් චක්‍රයක පැවැත්ම බොහෝ කාන්තාවන්ට අහිමි වේ. මේ සඳහා විවිධාකාර හේතු සාධක බලපානු ලබයි.

ගර්භණී තාවයට පත්විම සහ මව්කිරි ලබාදීම. ක්‍රමවත් ඔසප් චක්‍රයකට බාධා ගෙන දෙන ප්‍රමුඛ හේතුවක් ලෙස ගර්භණී භාවයට පත්වීම පෙන්වා දිය හැකිය. කාන්තාවකගේ ගර්භාෂයේ කලලයක් පිලිසිද ගත් දා පටන් දරු ප්‍රසූතිය දක්වා ඔසප් වීම සිදු නොවේ.
එමෙන්ම එතැන් පටන් දරුවාට මව් කිරි ලබා දෙන කාල පරාසය තුළ ද අක්‍රමවත්ව ඔසප් චක්‍රය ක්‍රියාත්මක වේ. විශේෂයෙන් මව්කිරි ලබා දෙන කාල පරාසය තුළ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සඳහා බලපානු ලබන්නේ ප්‍රොලැක්ටින් හෝමෝනය මගින් මව් කිරි නිෂ්පාදනය කිරීම හා ඉන් ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන නිපදවීම අඩාල වීමත් හේතු කොටගෙනය. ඇතැම් කාන්තාවන්ට මව් කිරි ලබා දෙන සමයේදී අඩු රුධිර වහනයකින් ඔසප් වීම හෝ කිසිදු ආකාරයක ඔසප් වීමක් සිදු නොවීම දැකගත හැකිය.
උපත් පාලන ක්‍රමෝපායන් විශේෂයෙන් මෙහිදී උපත් පාලන පෙති, ගර්භාෂිත තැන්පතු, ඩිප්‍රොවේරා එන්නත ආදී උපත් පාලන ක්‍රම මගින් ඔසප් චක්‍රයට බාධා ගෙන දේ. උපත් පාලන පෙති මගින් ඔසප් චක්‍රයේ දින ගණන අඩු කිරීම , ඔසප් වීම පවතින කාලසීමාව අඩු කිරීම, මෙන්ම රුධිර වහනය ද අවම කිරීම සිදුකරයි. එමෙන්ම ගර්භාශයේ තැන්පත් කරන දේවල් හේතුවෙන් අධි රුධිර වහනයක් සහිත ව වැඩි කාලයක් ඔසප් සමය ක්‍රියාත්මක වේ. විශේෂයෙන් උපත් පාලන ක්‍රම වලදී ප්‍රධාන වශයෙන් සිදු කරනු ලබන්නේ හෝර්මෝන අසමතුලිතතාවයක් ඇති කිරීම වන අතර එමගින් අක්‍රමවත්ව ඔසප් චක්‍රයේ ක්‍රියාත්මක වේ.
ආර්තවාභාවය ට පත්වීම. වයස අවුරුදු හතළිස් පහක් ඉක්මවීමෙන් අනතුරුව කාන්තාවන් ආර්තවාභාවයට පත්වීම සිදුවේ. මෙහිදී විටින් විට ඊස්ට්‍රජන් හෝමෝනය අසමතුලිත වන අතර එමඟින් ඔසප් චක්‍රය දිගු හෝ කෙටි විය හැකිය.
ඩිම්බ කෝෂවල ඇන්ඩ්‍රොජන් හෝමෝනය වැඩි වශයෙන් නිපදවීම ඇන්ඩ්‍රජන් හෝර්මෝනයේ යනු පිරිමි හෝමෝනයක් වන අතර එය ඩිම්බ කෝෂ වල වැඩි වශයෙන් නිපදවීම තුළ කුඩා දියර බිබිලි වැනි දෑ ඇතිවිය හැකිය. ඒවා ස්කෑන් පරීක්ෂණයක් හරහා හඳුනාගත හැකි අතර මෙම හෝමෝනය වැඩි වශයෙන් නිපදවීමෙන් ඩිම්බ නිෂ්පාදනය, ඩිම්බ මේරීම සහ ඩිම්බ මෝචනය සඳහා බාධා ගෙන දෙනු ඇත. ඇතැම් අවස්ථාවලදී මෙම හේතුව මුල් කරගෙන ඔසප් චක්‍රය සම්පූර්ණයෙන්ම නැවතී යා හැකි අතර ඇතැම් විට අක්‍රමවත් විය හැකිය. ඇන්ඩ්‍රොජන් හෝමෝනය කාන්තාවකගේ ශරීරයේ වැඩි වශයෙන් නිපදවීම තුළ අධික ස්ථුල භාවයට පත්වීම, මදසරු භාවයට පත්වීම, අධික ලෙස රෝම හා කුරුලෑ ඇති වීම යන තත්ත්වයන්ට ද පත්විය හැකිය. එමෙන්ම අක්‍රමවත්ව සිදුවන ඔසප්වීමේදී අධි රුධිර වහනයක් සිදුවීම ද මෙවැනි කාන්තාවන්ගෙන් දැකගත හැකිය.
තයිරොයිඩ් ග්‍රන්ථි සංකූලතා තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන සංකූලතාවයන් තයිරොක්සින් හෝමෝනය අඩු වශයෙන් නිකුත් වීම හා වැඩි වශයෙන් නිකුත් වීම වශයෙන් හඳුනාගත හැකිය. තයිරොක්සින් හෝමෝනය අඩු වශයෙන් ශ්‍රාවය වීම යන රෝගී තත්ත්වයෙන් පසුවන කාන්තාවන්ගේ ඔසප් කාල සීමාව තුළදී වැඩි දින සංඛ්‍යාවක් අධි රුධිර වහනයක් සිදුවේ. එමෙන්ම තයිරොක්සින් හෝමෝනය වැඩි වශයෙන් ශ්‍රාවය වීම යන රෝගී තත්ත්වයට ලක් වූ කාන්තාවන්ගේ ඔසප් කාල සීමාව දින කිහිපයකට සීමා වන අතර අවම රුධිර වහනයක් සිදුවේ. ඒ අනුව තයිරොයිඩ් ග්‍රන්ථි සංකුලතාවයන්ගෙන් පෙළෙන කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ක්‍රමවත්ව සිදු නොවේ.

එන්ඩ්‍රොමෙට්ට්‍රියෝසිස් රෝගී තත්ත්වය මෙම රෝගී තත්ත්වයෙන් පීඩා විඳින කාන්තාවන්ගේ ගර්භාෂයේ අභ්‍යන්තර ස්ථරය ගර්භාෂයෙන් පිටතට වර්ධනය වීම සිදුවේ. මෙම තත්ත්වය පැලෝපීය නාල, ඩිම්බ කෝෂ, කුඩා අන්ත්‍රය, ආහාර ජීර්ණ පද්ධතියේ පහළ කොටසේ පවතින අවයව, ගර්භාෂය හා ගුදය යන අවයවවලට ද පැතිරී යා හැකිය. ඒ අනුව මෙම රෝගී තත්ත්වයෙන් යුක්ත කාන්තාවන්ගේ ඔසප් වීම් වල දී අධි රුධිර වහනයක් සිදුවීම, වැඩි දින සංඛ්‍යාවක් ඔසප් කාල සීමාව පැවතීම, සංසර්ගයේදී වේදනාවක් ඇතිවීම මෙන්ම දරුවන් අහිමි වීම යන තත්වයන් වලට මුහුණ දෙනු ලබයි.
කාන්තා ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව බැක්ටීරියා වර්ධනයන් සිදු වීම. මෙවැනි අවස්ථාවලදී ද ඔසප් චක්‍රය අක්‍රමවත් වේ. විශේෂයෙන් මෙම බැක්ටීරියා වර්ධනය සිදුවන්නේ සංසර්ග ක්‍රියාවලිය හරහා වේ. ඊට අමතරව ගබ්සාවිම්, නාරිවේදීය පිළිවෙත් හරහා ද මෙම බැක්ටීරියාව ශරීර ගත වේ. එසේ ශරීරගත වන බැක්ටීරියා යෝනි මාර්ගය හරහා ගර්භාෂයට, පැලෝපීය නාලවලට හා ඩිම්බ කෝෂවලට ආසාදන ඇති කරයි. මෙම බැක්ටීරියා ආසාදන ක්‍රමවත් ඔසප් චක්‍රයකට බාධා ගෙන දේ.
අධික ස්ථුලභාවය හෝමෝන හා ඉන්සියුලින් ඝට්ටනය හේතුකොටගෙන අධික තරබාරු කාන්තාවන්ගේ ඔසප් චක්‍රයට ගැටලු ඇතිවේ.
ශරීර බර අසාමාන්‍ය ලෙස අඩු වීම ශරීරයේ අසාමාන්‍ය ලෙස බර අඩු කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ ගැටලු ඇතිවේ. ඩිම්බ නිපදවීම සඳහා අවශ්‍ය කරන පෝෂක කොටස් නිවැරදිව ශරීරයට නොලැබුණු විට මෙම තත්වය ඇති වේ. එමෙන්ම ආහාර ගැනීමේ අපහසුතා, ආහාර අරුචිය ආදී තත්ත්වයන් ද මේ සඳහා බලපානු ලබයි.
ඇතැම් ඖෂධ භාවිතයන් ශරීරය හටගන්නා විවිධ රෝගාබාධ වලට නිර්දේශ කරනු ලබන ඖෂධ භාවිතා කිරීම මගින් ද ඔසප් චක්‍රයට බාධා ඇතිවේ. ඒ අනුව බාහිරින් ශරීරගත කර ගනු ලබන හෝමෝන වර්ග භාවිතය, අපස්මාරයට ගනු ලබන ඖෂධ භාවිතය, පිළිකා හා ගෙඩි තත්වයන් වලට ගනු ලබන ඖෂධ භාවිතය, තයිරොයිඩ් ග්‍රන්ථි සංකූලතා සඳහා ගනු ලබන ඖෂධයන්, රුධිරයේ ඝනකම අඩු කිරීමට භාවිත කරනු ලබන ඖෂධයන්, මානසික සංකූලතා සඳහා භාවිත කරනු ලබන ඖෂධයන් හේතුකොටගෙන ඔසප් චක්‍රයේ දින ගණන අක්‍රමවත් වීම සිදුවේ. එවැනිම රුධිරය පිටවීම ද අඩු වැඩි වශයෙන් වෙනස් වේ.
පිළිකා තත්ත්වයන් විශේෂයෙන් ගර්භාෂගත පිළිකා හා ගැබ්ගෙල පිලිකා වලදී ඔසප් චක්‍රය අක්‍රමවත් වේ. මෙම අක්‍රමවත් වීම සඳහා පිළිකා තත්ත්වයන් වලට භාවිත කරන ඖෂධ බලපෑ හැකි අතර මෙම රෝගී තත්ත්වයන් වලදී අසාමාන්‍ය ලෙස අධිකව රුධිරය වහනය වීම, ඔසප් චක්‍ර දෙකක් අතරතුර කාලයේ දී රුධිර වහනයක් සිදුවීම සහ සංසර්ග ක්‍රියාවලිය අතරතුර රුධිරය වහනය වීම වැනි අසාමාන්‍ය තත්ත්වයන් ඇතිවේ.
මේ ආදී නොයෙක් හේතූන් ආර්තවයේ අක්‍රමිකතා ඇති කිරීමට බෙහෙවින් ඉවහල්වේ. මේ නිසා ආර්තව අක්‍රමිකතා පවතින්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.