මල්වීර වීම නැත්නම් කොටහළුවීම, වැඩිවිය පැමිණීම යන මේ සෑම වචනයකින්ම අදහස් කරන්නේ දියණියකගේ පළමු ඔසප් රුධිර වහනය. දියණියකගේ ජීවිතයේ වැදගත්ම සන්ධිස්ථානයක් ලෙසට මේ මල්වරවීම හඳුන්වනු ලබනවා. දියණියක් මවක් වීම සඳහා සුදුසු අයෙක් බවට පත්වීම මෙහිදී සිදු වෙනවා. ඉතින් දැරියක් මල්වරවීමේ වයස සඳහා ඒ ඒ දරුවාගේ ශරීර ස්වභාවය, ජානමය සාධක, පාරිසරික හේතු, පෝෂණය ආදී නොයෙක් කාරණා බලපානු ලබනවා. සාමාන්‍යයෙන් දැරියක් වයස අවුරුදු 13 දී පමණ වැඩිවිය පැමිණුනත් ඇතැම් විට පෙර පාසල් යන වයසේ දියණියක් වුණත් මල්වර වෙන්නට පුළුවන්. නමුත් විශේෂයෙන්ම දෙමාපියන් වගේම දියණියන් මහත් බියට හා කනස්සල්ලට පත්වෙන අවස්ථාවක් තමයි මල්වර වීම පමාවීම. අඩුම වයස අවුරුදු 16 දී වත් දැරියක් මල්වර නොවුණොත් සැබෑවටම එය බිය විය යුතු තත්ත්වයක්. එය යම් රෝගයක ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ මල්වරවීම ප්‍රමාද වීම සම්බන්ධවයි.
දෙමාපියන් වගේම දියණියන් මානසිකව මහත් කරදරයට පත්වෙන මල්වර වීම පමාවීම සඳහා හේතු ගණනාවක් බලපානු ලබනවා. පැරණි සමාජයේ සහ වත්මන් සමාජයේ දැරියකගේ මල්වර වීම සිදුවන දිනය, වේලාව ආදිය අනුව එහි සුබ අසුබ පිළිබඳව පිළිගැනීම් පවතිනවා. ඒ අතරින් එදා සමාජයේ දියණියක් මල්වර වීම නිසි වයසේදී සිදු නොවීම නැත්නම් මල්වරවීම පමාවීම පියාට අසුබ ගෙනදෙන බවට සමාජයේ මතයක් පැවතුණා. නමුත් අද එවැනි මතයන්වල විද්‍යාත්මක සත්‍යතාවයක් නොමැති බව හෙළි වී තියෙනවා. නමුත් පැරැන්නන් අතර මේ මතය ඉතා තදබල ලෙස පැවතුණා.දැරියකගේ මල්වරවීම පමාවෙන්නට ශාරීරික වශයෙන් දියණියගේ වර්ධනය ඇතුළු බොහෝ සාධක හේතුවන බව විද්‍යාත්මක සාධක මත පෙන්වා දී ඇති නිසා අද මේ මතය පවා සමාජයෙන් ක්‍රමයෙන් ගිලිහෙමින් පවතිනවා.
මලවරවීම පමා වීමට බලපාන හේතු

- ප්‍රවෙණිගත සාධක මවගේ හෝ ඇයගේ පවුලේ කාන්තාවන්ගේ මල්වරවීම පමා වූයේ නම් එවැනි පවුල්වල දරුවන්ගේ මල්වරවීම පමාවීම සිදුවෙනවා.
- ශරීරයේ වර්ධනයට අවශ්‍ය නිසි පෝෂණය නොලැබීම (ප්‍රෝටීන් සහ කැලරි ඌණතාවය )
- රක්තහීනතාවය
- ක්ෂය රෝගය
- තයිරොටොක්සිකෝසියා හෙවත් අයඩීන් ඌණතාවය
- නැටුම්, ක්‍රීඩා සහ ව්‍යායාම්වල අධික ලෙස නිරත වීම
- හිතමතාම ආහාර නොගෙන සිටීම හෙවත් ඇනොරෙක්සියා නර්වෝසා (Anorexia Nervosa ) තත්ත්වය
- විශාල සාමාජික සංඛ්‍යාවක් ඇති පවුලක දරුවෙක් වීම
- පියාගේ ආදරය උණුසුම රැකවරණය දැඩි ලෙස ලැබීම
- ප්‍රශ්න ඉතා අඩු සෙනෙහසින් පිරුණු පවුලක හැදී වැඩුණු දරුවෙකු වීම
- උපතේ සිට කන්‍යා පටලය සිදුරු නොවී තිබීම මේ තත්ත්වය නිසා දරුවන්ගේ ආර්තවය සිදු වුණත් එය දැනගන්නට ලැබෙන්නේ නැහැ.

- ටර්නර්ස් සින්ඩ්රෝම් යන ප්‍රවෙණිගත රෝගය
- උපතින් ඇතිවන ටෙස්ටිකියුලර් ෆොමිනයිසේශන් යන තත්ත්වය
- මානසික රෝග සඳහා ගන්නා ඖෂධ
- හෝර්මෝන් අඩංගු ඖෂධ භාවිතය
- හෝර්මෝන ගැටළු
- ලුණු අධික ආහාර දිනකට තුන් හතර වතාවක් ගැනීම
ඇමරිකානු පර්යේෂකයන්ක් කණ්ඩායමක් විසින් සිදු කළ පර්යේෂණයකින් අනාවරණය කරගෙන ඇති ආකාරයට ආහාර වේලේ ඇති ලුණු ප්‍රමාණය ඉහළයාමෙන් මල්වරවීම පමාවීම, මද සරුභාවය සහ මානසික ආතතිය ආදී ගැටළු රැසකට හේතුවනවා.
යම් අවස්ථාවක දියණියකගේ වයස අවුරුදු 16 පමණ වෙද්දි පළමු ආර්තවය සිදු නොවන්නේ නම් ඇයව නාරිවේද වෛද්‍යවරයෙක් වෙත යොමු කළ යුතුයි. එහිදි වෛද්‍යවරයා පළමුව දියණියගේ පවුලේ තොරතුරු විමසා බැලීම සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම මවගේ මල්වර වීමේ වයස, පවුලේ අනෙක් දූ දරුවන්ගේ මල්වර වීමේ වයස ආදී කරුණු පිළිබඳව එහිදී විමසීමට ලක් කරනවා.
ඒ හැරුණාම වෛද්‍යවරයා දරුවාගේ උස සහ බර පිළිබඳව වඩාත් සැලකිලිමත් වනවා. මේ අවස්ථාවේදී දෙමාපියන් නොසඟවා දැරිය මන්දපෝශණයෙන්, රක්තහීනතාවයෙන් හෝ ක්ෂය රෝගයෙන් පෙළුණු අයෙක් ද යන තොරතුරු වෛද්‍යවරයාට පැවසිය යුතු වෙනවා. එය දැරියගේ මල්වර වීම පමා වීමට බලපාන ලද හේතු සොයා ගැනීමේදී විශාල උපකාරයක් වන නිසා.මේ තත්ත්වයන් විමසා බලා වෛද්‍යවරයා ඒ සඳහා ප්‍රතිකාර නියම කරනු ලබනවා. දැරියට කිසිදු රෝගයක් නැත්නම් කිසිදු ප්‍රතිකාරයක් නොකර වසර දෙකක පමණ කාලයක් දැරිය මල්වර වන්නේ ද යන්න වෛද්‍යවරයා නීරීක්ෂණය කරනවා.

වයස අවුරුදු 18 දී පමණ දැරිය මල්වර නොවන්නේ නම් රුධිරයේ ඇති ඊස්ට්‍රජන් ඇතුළු හෝර්මෝන පරීක්ෂාවට ලක් කරනු ලබනවා. දැරියගේ හෝර්මෝන අඩු නම් ඒ සඳහා අවශ්‍ය හෝර්මෝන ලබාදෙනු ලබනවා.
ඇතැම් විට දැරියගේ කන්‍යා පටලය උපතේ සිට සිදුරු නොවී ඇති දැයි වෛද්‍යවරයා පරීක්ෂා කරනු ලබනවා. කන්‍යා පටලය සිදුරු නොවී පැවතීම නිසා ආර්තව රුධිරයට ගලා එන්නට ඇති ඉඩකඩ ඇහිරී ඇති නිසා ඒවා යෝනි මාර්ගයේ එකරැස්ව පවතිනවා. එවැනි අවස්ථාවක වෛද්‍යවරයා ශල්‍ය කර්මයක් මගින් ඒ කන්‍යා පටලයේ සිදුරු අවහිරය ඉවත් කරනු ලබනවා. ඒ නිසා මල්වරවීම පමා වීම සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්‍ය කාරණයක්.සැබැවින්ම දියණියක් දිනෙක යෞවණියක් බිරිඳක් මවක් ආදී වශයෙන් එකිනෙකට වෙනස් භූමිකා කිහිපයක්ම රඟ දක්වනවා. ඒ නිසා පසුකාලීනව මවක් වීමේදී පවා ගැටළු ඇති කරන්නට හේතුවන ප්‍රබල සන්සිද්ධියක් වන මල්වරවීම සම්බන්ධයෙන් ඇති ගැටළු සුළුවට ගත යුතු නැහැ.විශේෂයෙන් දියණියකගේ මල්වරවීම ප්‍රමාද වීම නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් ලෙසටයි සලකනු ලබන්නේ. ඒබැවින් ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම දෙමාපියන්ගේ වගකීමක්.