වයසක කෙනෙක් වගේ තරුණ වයසෙදී නිතර ඇතිවෙන පපුවේ මහන්සිය දුරු කරන ඔසු පානය

health tips

මේ හෙළදිව වාසය කරපු අපේ  මුතුන් මිත්තන් කොතරම් ජවසම්පන්නව කොතරම් නීරෝගීව ජීවත් වුණාද කියලා එදා ඔවුන් කළ අදටත්  අදහාගත නොහැකි නිර්මාණ සාක්ෂි දරනවා. දිගු කාලයක්  ආයු වැළදූ ඔවුන්ට ලෙඩක් දුකක් වැළදෙන්නෙත් ඉතාම කලාතුරකින්. හෙළ වෙදහෙදකම නිසාම කලාතුරකින් වැළදෙන ඕනෑම ලෙඩක් දුකක්  ඉතා පහසුවෙන් නිට්ටාවටම සුවකරගන්න තරම් ඔවුන් වාසනාවන්ත වුණා. අපිට උරුම අපේ පාරම්පරික හෙළ වෙදකම මුළු මහත් ලෝකයේම අවධානයට ලක් වුණු ප්‍රසංසාවට ලක් වුණු දෙයක්.

නමුත් වාසනාවට අපිට අද අපේ හෙළ වෙදකම ගැන විශ්වාසයක් නැතිවෙලා. බටහිර වෙදකම ඉහමුදුනින් පිළිගත් නිසාම අද අපේ වටිනා වෛද්‍ය  ශාස්ත්‍රය අපෙන් ගිලිහී යමින් තියෙනවා. නමුත් අතුරු ආබාධයක් නැතිව ඕනෑම ලෙඩක් දුකක් සුවකර ගන්නට මේ පාරම්පරික හෙළ ඔසුවලට හැකියාව තියෙනවා. ඒ නිසාම අපේකම රැකගෙන නීරෝගී ජීවිතයක් ගත කරන්නට අවැසි දැනුම ලාංකිකයන් විදියට අප සතු විය යුතුමයි. ඉතින් අදත් අපි ඔබ සමඟ කතා කරන්නට සූදානම් වෙන්නේ බොහෝදෙනෙක් පීඩා විදින පපුවේ මහන්සිය සඳහා දේශීය වෙදකමෙන් පිළියමක් ලබා දෙන්නයි.

සමකස්වාතය විදියටත් හඳුන්වනු ලබන මේ තත්ත්වය ඇදුම, හතිය වගේම ගල් පීනස යන නම්වලිනුත් හඳුන්වනු ලබනවා.  සැබැවින්ම මේ රෝගය අද සමාජයේ ඉතා සුලබයි.ඒ වගේම එහි තියෙන බරපතලකම ඉතා ඉහළයි. ශ්‍රී ලංකාවේ මිලියනයක් පමණ ඇදුම රෝගීන් සිටිනවා.ඒ අතුරින් ළමුන්ගෙන් 25% ක් ද වැඩිහිටියන්ගෙන් 10% ක් ද ඇදුම රෝගයෙන් පෙළෙන බවයි සඳහන් වෙන්නේ. ස්වාසනාලය ඇතුළත ඉදිමීම සහ නිපදවෙන සෙම නිසා ස්වසන මාර්ගය අවහිර වීම නිසා ඇතිවන මේ තත්ත්වය ඕනෑම වයසේ අයෙකුට වැළදෙන්නට පුළුවන් තත්ත්වයක්. මේ තත්ත්වය ඇතිවෙන්නේ ස්වසන මාර්ගය ආසාදනයට ලක්වීමෙන්.

මේ රෝග තත්ත්වය ඇතිවෙන්නටත් විවිධ හේතු බලපානවා. දේශගුණික හේතු, ජානමය හේතු, රාත්‍රියේ ස්නානය, නිතර නිතර ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර නොගැනීම, පරිසර දූෂණය, සුරතල් සතුන්ගේ, ටෙඩිබෙයාර් වගේ සෙල්ලම් බඩුවල ලොම් ශ්වසන පද්ධතියට ඇතුල් වීම, දුවිලි දුම් , දිගුකාලීන පීනස හා ගැස්ට්‍රයිටීස්, ආහාර කල්තබා ගැනීමට යොදන රසකාරක හා වර්ණකාරක ඒ හේතු අතර වෙනවා. 

මෙසේ ඇතිවන ඇදුම රෝගය නැත්නම් හතිය සඳහා බටහිර වෛද්‍ය ක්‍රමය  තුළත් විවිධ ප්‍රතිකාර පැවතුණත්  අපේ පාරම්පරික වෙදකම තුළත් නිට්ටාවටම මේ රෝගය සුවපත් කරගන්නට හැකි ප්‍රතිකාර තියෙනවා. බටහිර වෙදකම තුළ වැඩි වශයෙන් ඉන්හේලර් භාවිතය අතුරු ආබාධ අඩු ප්‍රතිකාරයක්  ලෙසට සලකනු ලබනවා. නමුත් මේ පාරම්පරික වෙදකම තුළ පවතින ප්‍රතිකාර සඳහා ස්වභාවික පරිසරයේ හැදෙන වැඩෙන ඔසු භාවිතා වෙන නිසා ඒවායින් අපේ දේහයට අතුරු ආබාධ ඇති වන්නේම නැති තරම්.

පපුවේ මහන්සිය සඳහා අත් බෙහෙතක් (කෙම් ක්රමයක් )

අවශ්‍ය ද්‍රව්‍ය  

  • තිප්පිලි (ගස් තිප්පිලි / වැල් තිප්පිලි )
  • කලුදුරු 
  • බුලත් කොළ 

සාදා ගන්නා ආකාරය 

පිරිසිදු තිප්පිලි හා කලුදුරු තේ හැන්ද බැගින් වංගෙඩියකට දමා කොටා ගෙන බදුනකට ඉවත් කර ගන්න.

පසුව බුලත් කොළ දෙකක් නැටි සමඟ කොටා ගන්න. ඉන්පසුව බුලත්වලින් බුලත් යුෂ තේ හැන්දක් ලබා ගන්න.

මේ කොටාගත් බුලත් යුෂවලට කොටා ගත් තිප්පිලි සහ කලුදුරු කුඩු එකතු කර කතා නොකර හොඳින් මිශ්‍ර  කර ගන්න.

පසුව උදෑසන හිස්බඩ මේ පානය අවශ්‍ය  පරිදි කතා නොකර ලබා ගත යුතුයි. ඒ වගේම මේ අත් බෙහෙත සකසා විනාඩි 30 ඇතුළත පානය කරන්නටත් මතක තබා ගැනීම එයින් සාර්ථක ඵල ලබා ගන්නට අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. 

වයස අවුරුදු 4 දරුවාගෙන් පටන් වැඩිහිටියා දක්වාම මේ කෙම භාවිතා කරන්නට පුළුවන්. වයස වුරුදු 4 ක දරුවෙකුට මෙයින් තේ හැදි කාලක ප්‍රමාණයක් ලබාදීම සුදුසු වෙනවා.  ඒ හැරුණාම වයස අවුරුදු 12 ට අඩු දරුවන් සඳහා තේ හැදි භාගයක් ලබා දෙන්නට පුළුවන්. වැඩිහිටි පුද්ගලයෙකුට තේ හැන්දක ප්‍රමාණයක් ලබා ගැනීම වඩාත් සාර්ථක සහ ඉක්මන් ප්‍රතිඵල ගෙන දෙනවා. මේ  කෙම් ක්‍රමය සතියක්  දෙකක් වගේ කාලයක් භාවිතා  කිරීමෙන් ඇදුම තත්ත්වය නිට්ටාවටම සුවකර ගන්නට හැකියාව ලැබෙනවා.

ඉතින් පාරම්පරික වෙදහෙදකම් තුළ කෙම් ක්‍රමවලට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. එදා තරම්ම නැතත් අදටත් අපේ වැඩිහිටි උදවිය ලෙඩ රෝගවලදී වගේම වෙනත් සෑම කටයුත්තකදීම මේ  කෙම් ක්‍රම භාවිතයට ගන්නවා. ඇදුම සඳහා වූ මේ අත් බෙහෙත්  කෙම් ක්‍රමයක් ලෙස ඔබත් භාවිතයට ගෙන ඇදුම රෝගයෙන් සුවපත් බව ලබා ගන්න.