ඉරුවාරදය සුව කරන ආයුර්වේද පිළියම් 8 ක්

health tips

ඉරුවාරදය හෙවත් මිග්‍රේන් තත්වය ආයුර්වේදයේ ‘අර්ධවභේදක’ යනුවෙන් හඳුන්වයි.අර්ධ යනු බාගය (දෙකට බෙදීම) යන්න වන අතර භේදක යනු  සිදුරුකරගෙන යාම හෝ පසාරුකරගෙන යාම යන අරුත් දෙයි. මිග්‍රේන් යනු එවැනි එක්වරම (හදිසියේ) හා නැවත නැවත හටගන්නා හිස පසාරු කරගෙන යනවාක් මෙන් වේදනාවක් ඇතිකරවන හිසරදය තත්වයකි.මෙම වේදනාව තීව්‍රතාව, ඇතිවන වාර ගණන හා පැතිරී යන ආකාරය වගේ සාධක අනුව වෙනස්වෙයි. හිසේ පවතින රෝග හෙවත් ශිරෝරෝග අතරින් දෙවැනියට වඩාත් බහුලව හඳුනාගැනෙන රෝගයයි.වේදනාව ඇතිවන ස්ථානය, වේදනාවේ තදබලබව, නැවත නැවත මතුවන්නේ ද, කොපමණ කාලයක් පුරා වේදනාව පවතින්නේ ද යන්න  මෙන්ම බලපෑම් හා තත්වය සමනය කරවන සාධක මොනවාද යන්න මත හිසේ රෝග තත්වයන් වෙනස්වෙයි.

මිග්‍රේන් රුධිර නාළ විශාල වීම හා මෙම රුධිර නාළ වටා එතී ඇති ස්නායු වලින් රසායනික ද්‍රව්‍ය ස්‍රාවය වීම යන තත්වයන් සුසංයෝග වීමෙන් හටගන්නා තත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.හිසේ අර්ධයක සිදුරුකරගෙන යන්නාක් මෙන් දැනෙන හෝ හිස පැලෙන්නට මෙන් තදබල වේදනාවක් ඇතිවන මෙම මිග්‍රේන් තත්වය ඇතිවීමට බලපාන හේතු නිශ්චිතව හඳුනාගෙන නැතත් ඊට තුඬු දිය හැකි සාධක ගණනාවක් අපේ එදිනෙදා ජීවිතයෙන්ම හඳුනාගන්නට ලැබෙයි.

උදා: ආහාර පාන හා එදිනෙදා ජීවන පුරුදු හා දේශගුණය ප්‍රධාන වශයෙන් බලපෑම් කරයි.වියළි ආහාර පරිභෝජනය, අධිකව ආහාර ගැනීම, අධික හිරු රශ්මියට ,සීතල හුලඟට,පින්නට හෝ සීතලට නිරාවරණය වීම,රාමතෙල් හැරීම හා මලපහ පිටකිරිම වැනි ස්වභාවික ශරීර අවශ්‍යතා මැඩගෙන සිටීම,අධික ලෙස දුම්වැටි පානයට ඇබ්බැහිවීම,දුමට නිරාවරණය වීම,අධිකව දහඩිය දැමීම,අධික කාලයක් එකදිගට නිදාගැනීම,අධිකව වතුර හෝ මත්පැන් පානය කිරීම,බඩවැල් තුළ පණු ආසාදන ඇතීවී තිබීම,ඇතැම් සැර අධික ගන්ධයන් ආඝ්‍රාණය වීම උදාහරණ කිහිපයකි.මිග්‍රේන් තත්වයේදි බෙල්ල හා හණු තදවීම, ආලෝකයට සංවේදීවීම මෙන්ම ඇතැම් අයගේ නාසය බරවීම (සො‍ටු දියර ගැලීම) වැනි ලක්ෂණ ඇතිවිය හැකියි. ආයුර්වේදයේ මිග්‍රේන් යනු සිරුරේ තිදොස් කුපිත වීමෙන් ඇතිවන රෝගයක් ලෙස හඳුනාගනියි.

මිග්‍රේන් සුවයට ආයුර්වේදයේ ප්‍රතිකාර

‘සේක’-ස්වේදන හෙවත් දහඩිය වැටීමට සලස්වන ප්‍රතිකාර ක්‍රමයකි.උණුසුම් රෙදි කැබැල්ලක් හෝ ලෝහයකින් බලපෑමට ලක්වී ඇති ශරීර ප්‍රදේශය උණුසුම් කරයි.වාත හා සෙම් දෝස හේතුවෙන් ඇතිවී ඇති මිග්‍රේන් රෝග ලක්ෂණ සමනය කරයි.හෘද රෝග හා අධි රුධිර පීඩනය ඇති අයට නුසුදුසුය.

‘විරේචන කර්ම’-රුබාර්බ්,සෙනෙහෙ කොළ හෝ කෝමාරිකා වැනි ඖෂධ ලබාදී විරේචනය කරවයි.ඒ හරහා සිරුරේ විෂ අපද්‍රව්‍ය බැහැර වෙයි.අර්ශස්,වණ,රක්තවාතය හා බඩේ ගැටිති පිළිකා වර්ධනය වීමේ ලක්ෂණ වලට ප්‍රතිකාර කරයි.ජීර්ණ දුර්වලතා,පාචනය හා ගුද තුවාල හා උණ තත්වයෙන් පෙළෙන අයට නිර්දේශ නොකෙරේ.

‘රක්ත මෝක්ෂන’-සිරුරේ විෂ හා අපිරිසිදු ලේ බැහැර කිරීමයි.මෙම ලේ සාමාන්‍යයෙන් කලු හෝ දම් පැහැයක් ගනියි.දීප්තිමත් රතු ලේ ගලන විට ප්‍රතිකාරය නතර කරයි.ඇහිබැමි මත සිදුකරන රක්තමෝක්ෂන ප්‍රතිකාරය හිසරදය සමනය කරයි.ගැබිනි,ඔසප් වීම සිදුවන කාන්තාවන්,නිරක්තිය,ඉදිමුම, ලියුකේමියා හා සිරෝසිස් වැනි රෝග ඇති අයට,කුඩා ළමුන්, දුර්වල වැඩිහිටියන්ට නුසුදුසුයි.මෙය අක්මා, ප්ලීහාවේ ,සමේ  රෝග වලට ඵලදායිය.

‘භස්ති කර්ම’-බඩවැල් පිරිසිදු වීම සඳහා කසාය හෝ ඖෂධ එනිමාවකින් ඇතුල් කිරීමයි.ත්‍රිඵලා (අරළු,බුළු හා නෙල්ලි සංයෝගය) මෙහිදි ඉතා ඵලදායිය.සිරුරේ සියලු දොස් සමනය කරයි.

‘නස්‍ය කර්ම’-නාසය යනු හිස දක්වා මාර්ගයට ඇති පිවිසුමයි.නාස් කුහරයට ඖෂධ ප්‍රතිකාර ඇතුල්කිරීම හිසේ, බෙල්ල හා උගුරේ අපහසුතාවන් ද සුවපත් වීමට උපකාරී වේ.නස්‍ය කර්ම වලදී ඖෂධීය කසාය හෝ තෙල් බිංදුවෙන් බිංදුව නාසයට වත්කිරීම සිදුකරන අතර බෙල්ලේ තදගතිය,කණිනිකාවේ හා ඇස්පෙනීම ආශ්‍රිත ගැටලු, බෙල්ලේ වේදනාව, මුඛයේ, හිසේ, උරහිස්, කන්, නාසය ඇතුලු ප්‍රදේශ වල අපහසුතා දුරුවීමට ගුණ දෙයි.

‘කාවල ග්‍රාහ’-ප්‍රබල විෂහරණ ප්‍රතිකාරයකි.මිනිත්තු කිහිපයක් තෙල් උගුරේ කළතවා සෝදා කෙළ ගැසීම මෙහිදි සිදුකරනු ලබයි. එය මුඛ කුහරය පිරිසිදු කරයි. චන්දනාදි තෛලය හා මහානාරායන තෛලය වැනි ආයුර්වේද ඖෂධ වර්ග මේ සඳහා යොදාගනියි.

‘ශිරෝධර’-ඖෂධ මුසු කිරි හෝ තෙල් වැනි දියර වර්ග රිද්මයානුකූලව හිස මතට වත්කිරීමෙන් හිසට ප්‍රතිකාර කිරීමයි.මෙය මිග්‍රේන් සඳහා ප්‍රතිකාර කරනු ලබන ඵලදායි ක්‍රමයක් ලෙස හැඳින්වේ.වාත දෝෂ නසන ඖෂධ වර්ග මද උණුසුම් එළකිරි සමඟ මිශ්‍ර කර භාවිතය වාත දොස් හේතුවෙන් ඇතිවන හිසේ රෝග වලට ගුණදායිය. උක්ගස් යුෂ හා සීතල එළකිරි මිශ්‍ර කර භාවිතය පිත කිපීමෙන් ඇති වූ හිසේ රෝග සඳහා ප්‍රතිකාර කරයි.

‘ලේප’-ඖෂධ මිශ්‍රණ හිස මත ආලේප කිරීම හරහා මොළයේ,හිසේ හා බෙල්ලේ රෝගාබාධ වලට ප්‍රතිකාර කිරීමයි. කහ,වළඟසාල්,කලු ගම්මිරිස්,ඉරමුසු වැනි ඖෂධ මිග්‍රේන් ප්‍රතිකාර සඳහා භාවිත කරයි.

මිග්‍රේන් ලක්ෂණ සමනය කරන ආයුර්වේද ඖෂධ

ඉඟුරු- ජිර්ණය වැඩිදියුණු කරන,වේදනානාශක, වාතාපහරණ හා උත්තේජක ගුණාංග බහුලයි.වාත,පිත හා සෙම් දෝෂ සමනය කරමින් , ඒ හේතුවෙන් හටගත් රෝගාබාධ ලක්ෂණ වලට ප්‍රතිකාර කරයි.ලුණු කැට සමඟ ඉඟුරු ලබාගැනීම වාතය සමනය කරන බවත් මී පැණි සමඟ ගැනීමෙන් පිත හා සෙම සමනය වන බවත් පෙන්නුම් කරයි.හිසරදය,ඔක්කාරය,වමනය හා දියවැඩියා පාලනයට ද ගුණදායිය.

තගර (valariana wallichi)-වාත දෝෂ වලට ගුණදායි ඔසුවකි. වැලේරියන් ජටමන්සි නම් තුවරල වේ.මිග්‍රේන් තත්වයට ප්‍රතිකාර කිරීමට අමතරව කැස්ස, සිරුරේ තෙහෙට්‍ටුව හා මානසික ආතතිය සමනය කිරීමට ද ප්‍රතිලාභ දේ. අධි මාත්‍රාවන් ගැනීම අංශබාගය ඇතිකළ හැකිය.

තිභූවන්ක්‍රිති රස– වියළි ඉඟුරු, කලු ගම්මිරිස්ම් තිප්පිලි, තුල්සි (හීන් මදුරුතලා),අත්තන වැනි අමුද්‍රව්‍ය මුසු ඖෂධ-ඛනිජ ලවණ මිශ්‍රණයකි.මිග්‍රේන්,ඉන්ෆ්ලුඑන්සා,උගුර බැ‍රැන්ඩිවීම,උගුරේ දැවිල්ල,නියුමෝනියාව, බ්‍රොන්කයිටිස් හා ටොන්සිලයිටිස් (සෙම්ගෙඩි ඉදිමීම) වැනි පීඩාකාරි ලක්ෂණ පාලනය කරයි.

‘ගොඩන්ති මිශ්‍රණය’ හා ‘සි‍තෝපලාදී චූර්ණය’ වැනි ආයුර්වේද ඖෂධ ද මිග්‍රේන් සඳහා ප්‍රතිකාර ලෙස භාවිත කරයි.මෙම ඖෂධ භාවිතයට පෙර නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාගන්න.

  • ධාන්‍ය,උඳු,ප‍තෝල,වම්බ‍ටු,දෙළුම්,මිදි,සුදුලූනු, මුරුංගා, ගිතෙල්,පොල්තෙල්,එළකිරි,පොල් වතුර, තල හා ඇඹුල් විනාකිරි පරිභෝජනයට එක්කරගන්න.
  • හොඳින් විවේක ගන්න.
  • හිස සියුම් ලෙස තැවීම හා මෘදු තෙරපුමක් ලබාදී සම්බාහනය කිරීම හොඳ සහනයක් සලසයි.
  • නිතිපතා භාවනා හා යෝගා අනුගමනය කරන්න.
  • මුං,කඩල වැනි ආහාර පරිභෝජනය අඩුකරන්න.
  • බර ආහාර වේල් ගැනීමෙන් වළකින්න.
  • සිරුර අධිකව වෙහෙසීමෙන් වළකින්න.
  • ස්වභාවික ශරීර අවශ්‍යතා සිරකරගෙන සිටීම නොකළ යුතුයි.
  • ගුණාත්මක නින්දක් ලබාගන්න.