සාමාන්‍ය හිසේ කැක්කුමකට වඩා මිග්‍රේන් නැත්නම් මේ ඉරුවාරදය ඉතාම වේදනාකාරී තත්ත්වයක්. අධික හිසරදය සමඟ වමනය, ඔක්කාරය, ඇස් නිලංකාරවීම,නොසන්සුන්භාවය,ආදී පීඩාකාරී තත්ත්වයන් බොහොමයකට මුහුණ දෙන්නට සිදුවෙනවා. එදිනෙදා කටයුතු සියල්ලම වගේ අකර්මන්‍ය වෙනවා. මොකද මේ ඉරුවාරදය නිසා ඇතිවන හිසේ කැක්කුම ඇතුළු අපහසුතා දින ගණන් වගේම සති ගණන් වුණත් සුව නොවී පවතින්නට පුළුවන්. නැත්නම් නිතර නිතර ඒ තත්ත්වය ඇතිවෙන්නත් පුළුවන්.මේ රෝගීන්ට සුවය සඳහා ඖෂධ වගේම එන්නත් ලබාදෙනු ලබනවා. ඒවා නිසි පරිදි නිසි මාත්‍රාවට ලබා ගැනීම වැදගත්. ඒ අතරේ අපි වැළකිය යුතු පුරුදුවලින් ඈත්ව සිටීම එය යම් ආකාරයකින් පාලනය කිරීමට හැකියාව ලැබෙනවා. මේ රෝගී තත්ත්වය පාලනය කරගන්නට ඔබට කළ හැකි දේවල් මොනවාද කියලයි මේ ලිපියෙන් කතා කරන්නට සූදානම් වන්නේ.
ගත යුතු ආහාර

ඉරුවාරදය ඇති වෙන්නට වගේම එය වළක්වා ගන්නටත් අපි ගනු ලබන ආහාරපාන බලපානු ලබනවා.එබැවින් ඉරුවාරදය ඇති අයෙක් තමා ගන්නා ආහාර පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.
නිවිති මේ නිවිති ආදී තද කොළ පැහැ කොළවල අඩංගු රිබොෆ්ලැවින් ඉරුවාරදය වළක්වා ගන්නට උපකාරී වන එළවලු ලෙසටයි සලකනු ලබන්නේ. එබැවින් නිතර මේ නිවිති ආදී එළවලු ආහාර වේලට එකතු කරගත යුතු වෙනවා.
සැමන් ඉරුවාරදය පාලනය කර ගන්නට ඉතා කදිම ආහාරයක්.පර්යේෂනවලින් තහවුරු වී ඇති ආකාරයට සැමන් සතු Coenzyme Q 10 සහ විටමින් D ඒ සඳහා උපකාරී වෙනවා.මැග්නීසියම් ඌණතාවය ඉරුවාරදය සමඟ සම්බන්ධ වී ඇති නිසා ඉරුවාරදය පාලනයට මේ මාළු ඉතා වැදගත් වෙනවා.
- ආමන්ඩ්
- කසකසා ඇට
- බිත්තර
- පරිප්පු
- දෙළුම්
- ආහාර වේලට කුරුඳු ගම්මිරිස් ඉඟුරු ආදිය එකතු කර ගැනීම
නොගත යුතු ආහාර

කැෆේන් අඩංගු ආහාර විශේෂයෙන්ම කෝපි ආදී කැෆේන් අඩංගු පානයන් 200 mg දක්වා දිනකට සීමා කළ යුතු බවයි සඳහන් වෙන්නේ. ඒ අනුව ඉරුවාරදය ඇති අයෙක් දිනකට කෝපි කෝප්ප දෙකකට වඩා පානය කිරීම සුදුසු නැහැ. නමුත් ඇතැම් අයට හිසරදය කෝපි කෝප්පයක් පානය කිරීමෙන් අඩු වෙනවා.
- චීස් ,චොකලට්
- රතු වයින් මෙහි අඩංගු හිස්ටමින් ප්‍රමාණය අධික බැවින් එය ඉරුවාරදයට අහිතකර වෙයි.
- ඇස්පාර්ටේම් ඇතුළු අනෙකුත් කෘතීම රසකාරක අඩංගු ආහාර භාවිතය ඉරුවාරදයට සුදුසු නොවෙයි.
- යීස්ට් අඩංගු පාන්, බනිස් සහ ඩෝනට්ස් , කේක් ආදී බේක් කළ ආහාර ඉරුවාරදයට සුදුසු නොවෙයි.
- සකසන ලද මස් (සොසේජස්,බේක්න්)
- අධික කුළු බඩු යෙදූ ආහාර
මේ ආහාර ඇතැම් අයෙකුට මිග්‍රේන් අඩුවෙන්නට වගේම වැඩි වෙන්නටත් හේතු වෙනවා. පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ ආහාරපාන වෙනස් වෙන්නට පුළුවන්. ඉරුවාරදය පාලනය සඳහා ආහාර පුරුදු වෙනස් කර ගැනීමට අමතරව අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග කිහිපයක්ම පවතිනවා.
ආලෝකය අඩු, ශබ්ද අඩු පරිසරයක ගැවසීම ඉරුවාරදය ඇති වෙන්නට වගේම එය නැවත මතු වෙන්නටත් අධික ආලෝකය අධික ශබ්දය වගේම අධික ආලෝකයත් හේතු වෙනවා. ඒ නිසා ඉතාම ඝෝෂාකාරී අධික ශබ්ද සහිත ස්ථානයක සිටී නම් එවැනි අවස්ථාවක ඉරුවාරදය සැදීගෙන එනවිටම ඒ පරිසරයෙන් ඉවත් විය යුතු වෙනවා.ඒ වගේම ඉරුවාරදය ඇති අයෙක් විදියට අධික ශබ්ධ ඇති ස්ථානවල රැඳීම අඩු කළ යුතු වෙනවා.ඒ වගේම ඉතා දැඩි ආලෝකය වගේම වැඩි වේලාවක් අව්වේ සිටීම පවා ඉරුවාරදය ඇවිස්සෙන්නට හේතුවෙනවා. අව්වට නිරාවරණය වෙද්දි අව් කණ්ණාඩි පැළදීම ඉරුවාරදය යම් දුරකට පාලනය කර ගන්නට හැකියාව පවතිනවා.ඇතැම් අයට ඉතාම තද සුවඳක් දැණුනු විගස මේ රෝගය මතුවෙන්නටත් පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත් විය යුතු වෙනවා.
අයිස් පැක් භාවිතය යම් අවස්ථාවක ඉතාම දරුණු විදියට මේ ඉරුවාරදය ඇතිවුණොත් එය යම්තාක් දුරකට පාලනය කර ගන්නට මේ ක්‍රමය භාවිතා කරන්නට පුළුවන්. මේ සඳහා තුවායක ඔතන ලද අයිස් කැට කිහිපයක් හෝ සීතල යමක් බෙල්ල පිටුපස තබාගන්න. එය නළලේ හෝ වේදනාව ඇති ප්‍රාදේශයේ වුණත් තබා ගැනීමෙන් මේ වේදනාව අඩු කරගන්නට පුළුවන්.
උණුසුම් ජලය භාවිතය ඉරුවාරදය ඇති අවස්ථාවක තද උණුසුම් ජලය පුරවන ලද බෑගයක් හිසේ නළලෙ හෝ ගෙල පිටුපස තැබීම සහනය සඳහා හේතු වෙනවා. ඒ වගේම මෙවැනි අවස්ථාවක උණුසුම් ජලය ස්නානය කිරීමත් සුදුසුයි.

ප්‍රමාණවත් නින්ද මිග්‍රේන් ඇති වෙන්නට නින්ද ප්‍රමාණවත් තරම් නොලැබීම වගේම අධික නින්දත් හේතුවක්. ඒ නිසා ඉරුවාරදය පාලනය සඳහා මේ ඉරුවාරදය ඇති අවස්ථාවක ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා වඩාත් අඳුරු කාමරයක් නම් වඩා සුදුසුයි. කෙතරම් කාර්යබහුල වුණත් දවසකට පැය 8 ක් නිදා ගැනීමත් සැහැල්ලු මනසින් ජීවත්වීමත් ඉතා වැදගත්.
- නිතර ජලය පානය කිරීම
- ශාරීරික ව්‍යායාම්වල නිරතවීම මගින් නිතර නිතර ඉරුවාරදය ඇතිවීම පාලනය කර ගන්නට පුළුවන්. නමුත් ඇතැම් අයට හෘද ස්පන්දනය වේගවත් කරන ව්‍යායාම් නිසා නොතිබුණු හිස කැක්කුම් පවා වැළදෙන්නට පුළුවන්. ඒ නිසා වඩා යහපත් වන්නේ යෝගාවල නිරතවීමයි.
- සතියකට වරක් හිස මසාජ් කිරීම
- දුරකථන සංවාදවල වැඩි කාලයක් යෙදීමෙන් වැළකීම
වෙනත් ප්‍රතිකාර
- කොත්තමල්ලි කුඩු තේ හැන්දක් වතුර කෝප්පයකට මිශ්‍රකර එක රැයක් තබා පසුදා උදෑසන හිස් බඩ පානය කිරීම.
- ආමන්ඩ් ඇට 5ක් සහ මුද්දරප්පලම් ස්වල්පයක් රාත්‍රියේ පොගවා පසුදා ඒ ජලය සමඟ ආමන්ඩ් සහ මුද්දරප්පලම් ආහාරයට ගන්න.
- බෙලි කොළ, පාවට්ටා කොළ සමව ගෙන කොටා ඒ කුඩු ගිනි කබලට දමා ඒ දුම් ඇල්ලීම.
- සුදු හදුන්, ගම්මිරිස්, වියළි කහ වියළි ඉඟුරු එක පමණ ගෙන කුඩුකර පොට්ටනියක් බැද තල තෙල් දමා පොගවා පත්තු කර නිවා ඉන් පිටවන දුම නාසයට උරා ගැනීම.
- වද කහ සහ හීන් අරත්ත අල උණු වතුරෙන් අඹරා නළලේ ආලේප කිරීම
- ඉරුවාරදය නිට්ටාවට සුව කරන්නට නොහැකි වුණත් ඉහත සඳහන් පිළිවෙත් අනුගමනය කිරීමෙන් එය බොහොදුරට පාලනය කර සහනයක් ලබා ගන්නට හැකියි.