මුත්‍රා ගල් දිය කරන මෙනේරි කැඳ පානය

health tips

ලෝකයේ ඇති සෞඛ්‍ය සම්පන්නම ධාන්‍ය වර්ගයක් තමයි මෙනේරි කියන්නේ. අපේ පැරණි මුතුන් මිත්තන් නිතරම ආහාරයට එකතු කරගත් ධාන්‍ය වර්ගයක් වුණත් අවාසනාවට අද වර්තමාන පරපුරෙන් මේ මෙනේරි කියන ඉහළ පෝෂණ ගුණයෙන් යුක්ත ධාන්‍ය වර්ගය දුරස් වෙමින් යනවා. ඒ වෙනුවට වෙනත් හානිදායක කෘතීම ආහාර අපේ ආහාරයට එකතුවෙමින් යනවා. ඉතින් නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලබන්නට අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත්තු මෙනේරි  අපිටත් ලෙඩරෝගවලින් ආරක්ෂා වෙන්නට භාවිතා කරන්නට පුළුවන්. මේ මෙනේරිවල ඇති ඉහළ පෝෂණ ගුණය නිසාවෙන් කුඩා දරුවන්ටත් වැඩිහිටියන්ටත් එකසේ  භාවිතා කරන්නට පුළුවන්.

වියළි කාලයට ඉතාම හොඳින් ඔරොත්තු දෙන ඉතා ඉක්මනින් අස්වැන්න ලබා ගන්නට හැකි ධාන්‍ය වර්ගයක් මේ මෙනේරි.මේ මෙනේරි බීජයේ පොත්ත තරමක් ඝනකමින් යුක්තයි. මේවා මහ මෙනේරි සහ කුඩා මෙනේරි ලෙසත් වර්ග දෙකක් හඳුනා ගන්නට පුළුවන්. මේ මෙනේරි ඇට සුපිරි වෙළඳසැල්වලින්  ඉතා පහසුවෙන් මිලට ගන්නට අපිට හැකියාව තියෙනවා. 

මේ මෙනේරිවල බහුල වශයෙන් ප්‍රෝටීන් අන්තර්ගත  වෙනවා. ඒ වගේම මෙහි විවිධ  ඛනිජ ලවණ ද අඩංගු නිසා සම්පූර්ණ පෝෂ්‍යදායි  ආහාරයක් විදියට මෙනේරි  හඳුනා ගන්නට පුළුවන්. තන්තු, මැංගනීස් බහුලව අඩංගු වෙන මෙනේරි ප්‍රතිඔසිකාරක ගුණයෙන් ද සමන්විත  ධාන්‍ය වර්ගයක්. සැහැල්ලු ආහාරයක් ලෙස පරිභෝජනය කල හැකි මෙනේරිවල අඩංගු වන ග්ලූටන් ප්‍රමාණය ඉතා අඩුයි. ග්ලූටන් අපේ ශරීරයට හානිදායක තත්ත්වයන් ඇති කරන්නට සමත් ආහාරවල පෝෂක අවශෝෂණයට බාධා ඇති කරන ප්‍රෝටීනයක්. 

කහ පැහැයක් ගන්නා මෙනේරි සහල් පිසීමේදී ප්‍රමාණයෙන් වැඩි වෙනවා.මේ මෙනේරි බොහෝදෙනෙක් ආහාරයට  ගන්නේ කැඳ වශයෙන් සකස් කරගෙන. පොත්ත ඉවත් කරගත් ඇටවලින් මේ කැඳ සකස් කර ගන්නට පුළුවන්. උදේ ආහාරයට ඉතාම සුදුසු  මෙනේරි කැඳ කිතුල් හකුරු සමඟ ලොකු පොඩි හැමෝමට රස බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙනේරිවලින් ඉතා රසවත්ව කිරිබත් පවා පිළියෙළ කර ගන්නට පුළුවන්. ඒ නැතත් මෙනේරි  බත් එදා ආදි මුතුන් මිත්තන් අතර වැරදුණේ නැහැ. රාත්‍රී  ආහාරයට වගේම උදෑසන ආහාරයටත් කට්ට  සම්බෝල සමඟ මෙනේරි බත් ඉතාම රසවත් වගේම ගුණවත්. ඒ විතරක් නෙවෙයි කේක් , කුකීස් පොප් කෝන් ආදීයටත් තිරිඟු පිටි සමඟ මිශ්‍ර කිරීමටත් මෙනේරි භාවිතා කරන්නට පුළුවන්.

මෙනේරි කැඳ මුලින්ම මෙනේරි ඇට ටික වේලාවක් පෙගෙන්නට දමන්න. ඉන්පසුව හොදින් සෝදා වතුර ස්වල්පයක් දමා තම්බා ගන්න. මෙනේරි ඇට තැම්බුණු පසුව එයට පොල් කිරි එකතු කර නටවා ගන්න. ඉන්පසු එයට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කර කිතුල් හකුරු සමඟ රස බලන්න. 

මෙනේරි කැඳ පානයෙන් ලැබෙන ගුණ

  • දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි. මෙනේරිවල ග්ලයිසමික් දර්ශකය අඩු වන අතර ඒවායේ තන්තු සහ පිෂ්ඨය නොමැති පොලිසැකරයිඩ් අඩංගු වෙනවා. මෙය රුධිරගත  සීනි මට්ටම නිසි පරිදි පවත්වා ගන්නට දායක වන නිසා දියවැඩියා රෝගීන්ට මෙනේරි ඉතාම ගුණදායක ධාන්‍ය වර්ගයක්.
  • හෘද සෞඛ්‍ය යහපත් කරයි. තන්තු බහුල ආහාරයක් වන නිසාවෙන්  එය හදවත ලෙඩ කරවන නරක කොලෙස්ටරෝල්  අඩු කරන අතර හිතකර කොලෙස්ටරෝල් වැඩි කරන්නට විශාල දායකත්වයක් ලබාදෙනවා. හෘදයාබාධ ඇතිවීමේ අවදානමත් බොහෝදුරට  අඩු කරන්නට මෙනෙරිවලට හැකියාව ලැබී ඇත්තේ එහි අඩංගු වැදගත් ඛනිජයක් වන මැග්නීසියම් හේතුවෙන්.
  • පොලිෆීනෝලෝල්  ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙන මෙනේරි  නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම බොහෝදුරට අඩු කරනු ලබයි.
  • පිළිකා ඇතිවීම වළක්වයි. 

මෙනේරිවල අඩංගු වෙන ටැනින්, ෆයිටේට් ෆීනෝලික් අම්ලය තන්තු ආදිය පිළිකා සෛල වර්ධනය වීම වළක්වනු ලබනවා. ඒ විතරක් නොවෙයි පිළිකා ඇතිවීමේ අවදානම බොහෝදුරට අඩු කරන්නටත් මෙනේරිවලට හැකියාව පවතිනවා.

  • ආහාර ජීර්ණය පහසු කරයි. 
  • මල බද්ධය වළක්වයි. 
  • ආමාශ ආන්ත්‍රික රෝග ඇතිවීමේ අවස්ථා අඩු කරයි. 
  • බඩවැල්වල හිතකර බැක්ටීරියා වැඩි කිරීම සඳහා කටයුතු කරන එය බඩවැල්වල නීරෝගීභාවයට හේතුවෙයි.  
  • මුත්‍රා  ආසාදන සුවපත් කරයි. 
  • මුත්‍රා  ගල් දිය කරන්නට උදව් වෙයි. 
  • ශක්තිය වඩවයි. 
  • දරු ප්‍රසූතිය පහසු කරවයි.
  • අමිල පිත්ත රෝගීන්ට ගුණදායකයි.
  • වයසට යාම පාලනය කරයි. 
  • ශරීරයේ ඇති විෂ ඉවත් කර විෂබීජහරණය සඳහා උපකාරී වෙයි. 
  • තුවාල ඉක්මනින් සුව කරන්නට උපකාරී වෙයි. 
  • ප්‍රබල ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් සමන්විත මෙනේරි  පටකවලට හානි සිදුවීම වළක්වා, තුවාල ඉක්මනින් සුව කරන්නට උත්තේජනයක් ඇති කරනු ලබනවා.
  • වේදනාශක ගුණය සහ උණ අඩු කිරීමේ ගුණයෙන් සමන්විතයි.
  • බර අඩු කරයි. 
  • රුධිර පීඩනය යහපත්ව පවත්වා ගැනීම උපකාරී වෙයි. 
  • දුර්වල ප්‍රතිශක්තියක් ඇති වැඩිහිටියන්ට සහ ළමුන්ට හිතකරයි.
  • අක්මාව ආරක්ෂා කරයි.
  • ස්නායු පද්ධතිය රැකදෙයි.
  • කුඩා දරුවන්ගේ බර වැඩි කරයි. 
  • අග්න්‍යාශ රෝග, ධමනි සිහින් වීම හා හෘදවාහිනී ආශ්‍රිත රෝගවලින් පෙළෙන අයට ඉතාම සුදුසුයි.
  • අස්ථි, පටක, දත්, හිසකෙස් සඳහා ගුණදායකයි.

ලෙඩරෝග වැඩිවෙමින් යන මේ කාලයේ  ලෙඩරෝගවලින් අපිව ආරක්ෂා කරන්නට සමත් මේ ආහාර පිළිබඳව වැඩි අවධානයක් ලබාදීම වැදගත්.