සුව නොවෙන ගැස්ට්‍රයිටීස් පවා සුව කර අට්ටික්කා පානය සතු 13 ක්

health tips

ජල පෝෂක ප්‍රදේශවල නොහොත් ගංගා ඇළ දොළ ආශ්‍රිතව හොඳින් වැඩෙන ශාකයක් වන අට්ටිකා හෙවත් දිඹුල ශාකය යනු ආයුර්වේදය තුළ වඩාත් ප්‍රචලිත ඖෂධීය ගුණ රැසක් අඩංගු ශාකයකි. අට්ටික්කා, උදුම්බර, දිඹුල්,ක්ෂීර වෘක්ෂ, හේම දුග්ද යන ආදී විවිධ නම්වලින් හඳුන්වනු ලබන මෙම ශාකයේ ප්‍රභේද තුනකි.

  • නදී උදුම්බර
  • උදුම්බර
  • කාකෝ උදුම්බර 

එනම් Moraceae උද්භිද කුලයට අයත් අට්ටික්කා ශාකය 30m ක් උසට වර්ධනය වන ශාකයක් වන අතර කදෙහි පොකුරු ලෙස ඵල හට ගනු ලැබේ. මෙම පල පුෂ්ප මංජරියක් ලෙසින් පවතින අතර කෝඳුරුවන් වැනි කෘමි සතුන් මේවාට ආකර්ෂණය වී එමගින් ශාක පරාගනය සිදු වේ. එනම් පරිසර හිතකාමී ශාකයක් වන මෙම ශාකයේ ගෙඩි, මල්, පොතු, මුල් යනාදී කොටස් ඖෂධීය ගුණයෙන් අනූන වන අතර ආයුර්වේදය තුල නොයෙක් රෝග නිවාරණය කිරීම සඳහා අට්ටිකා ශාකයේ ඖෂධීය කොටස් භාවිතයට ගනු ලැබේ

අට්ටික්කා වල ඖෂධීය භාවිතය 

දියවැඩියාව පාලනය කරයි.බෝ නොවන රෝගයක් වන දියවැඩියාව පාලනය කිරීම සඳහා අත්තික්කා ඇට චූර්ණය මී පැණි සමඟ මිශ්‍ර කර අනුභව කිරීම මගින් දියවැඩියා පාලනය කළ හැකිය. ඊට අමතරව අත්තික්කා මුලක් කපා එයින් බැස එන ජලය පානය  කිරීමෙන් ද දියවැඩියාව පාලනය වේ.

ගැස්ට්‍රයිටීස් සමනය කරයි.අට්ටික්කා වල පවතින ශීත ගුණය මගින් ගැස්ට්‍රයිටිස් නිසා ඇතිවන දැවිල්ල සමනය කිරීම සිදුකරයි. එනම් මේ සඳහා අට්ටික්කා ගෙඩි වල යුෂ පානය කිරීම ගුණදායකය. එමෙන්ම අට්ටික්කා ගෙඩි පානයද මෙම රෝගය සමනය කිරීමට උපකාරීවේ. එනම් පැසුණු අට්ටික්කා ගෙඩි කිහිපයක් ගෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර මිශ්‍ර කර හොඳින් බ්ලෙන්ඩර් කර පෙරා රස පදමට සීනි, දෙහි ඇඹුල්  මිශ්‍රකර පානය කිරීම ගුණදායක වේ.

රක්ත ප්‍රදරය සමනය කරයි.ඉදුණු අත්තික්කා ගෙඩි කොටා එහි යුෂ ගෙන එයට මී පැණි එකතු කර පානය කිරීම මෙන්ම අත්තික්කා ගෙඩි කසාය සකස් කර පානය කිරීම මගින් රක්ත ප්‍රදරය සුව වේ. 

මුඛ රෝග සුව කරයි.අට්ටික්කා පොතු ගෙන කෂාය භාවිතා කිරීමෙන් විදුරුමස් දියවීම, මුඛ දුර්ගන්ධය යන ආදී මුඛ රෝග සමනය කර ගත හැකිය.

චර්ම රෝග සමනය කරයි.සම මත ඇතිවන දද, කුෂ්ට, තුවාල සුව කර ගැනීම සඳහා අට්ටික්කා දළු අඹරා ආලේප කිරීම මෙන්ම අත්තික්කා කොළ තම්බා ගත් වතුරෙන් සෝදා හැරීම යෝග්‍ය වේ.

රුධිරය පිරිසුදු කරයි.ශරීරගත අපිරිසිදු රුධිරය පිරිසුදු කරගැනීමට අට්ටික්කා මඟින් ඖෂධයක්  සකස් කර ගත හැකිය. එනම් ඒ සඳහා ළපටි අත්තික්කා ගෙඩි ගෙන මැටි මුට්ටියකට දමා එහි වතුර පත අටක් දමා පත අට එකට සිඳ  උදේ සවස පත භාගය බැගින් පානය කිරීම හෝ අත්තික්කා ළපටි කොළ මැල්ලුම් සකස් කර  ආහාරයට ගැනීම යෝග්‍ය වේ.

බඩවැලෙහි තුවාල සුව කරයි.යමක් ගිලින විට ඇති වූ තුවාල හෝ බඩවැල් මත ඇතිවූ තුවාල සමනය කිරීමට ඖෂධයක් ලෙස අට්ටික්කා ගෙඩි ආහාරයට ගැනීම ගුණදායකය.

මුත්‍ර රෝග හා ස්ත්‍රි ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග සමනය කරයි.අට්ටික්කා ගෙඩි ව්‍යාංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් මුත්‍ර පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ඕනෑම රෝගයක් හා ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන රෝග සුව කර ගත හැකිය.මීට අමතරව

  • ශුක්‍ර මෝචනය කිරීමට
  • අර්ශස් රෝගය සමනය කිරීමට
  • ඉදිමුම් වේදනා සමනය කිරීමට
  • පාචනය සමනය කිරීමට
  • ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග 
  • අතීසාරය සමනයට

යන ආදී රෝග ගණනාවක් සමනය කිරීම සඳහා

අට්ටික්කා ළපටි ගෙඩි ව්‍යංජනය,ළපටි දළු මැල්ලුම, එමෙන්ම අට්ටික්කා ගෙඩි පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. නමුත් නිදන්ගත රෝග පවතින්නේ නම්  ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වේ.