දියවැඩියාව පාලනය කරන අට්ටික්කා 

health tips

ස්වාභාවික පරිසරය සරසන අට්ටික්කා ඖෂධීය ගුණයන්  පිරි ශාකයකි. මෙම ශාකය කෝණාගම බුදුන්ට සෙවණ දුන් බෝධි වෘක්ෂයවේ. ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කරන ශාකයක් ලෙස ද මෙය හඳුනාගත හැකිය. සෑම වර්ෂයකම නොවැම්බර් මාසය වනවිට ගසේ අතු රිකිලි වල තැනින් තැන ගෙඩි හට ගන්නා අතර ඒවා ඉතා ආකර්ෂණීයවේ. දිඹුල්, උදුම්බර, ක්ෂීර වෘක්ෂ ,අත්ති ඛාරසා යනාදී විවිධ නම් වලින් හදුන්වන අට්ටික්කා Moraceae නම් උද්භිද ශාක කුලයට අයත් ශාකයක්වේ . අට්ටික්කා ශාකයේ ගෙඩි ඉදුණු විට රතු පැහැයක් ගන්නා අතර මෙම ඵල වලින් බොහොමයක් රෝග සදහා ගුණදායක රසවත් පානයක් ද සකස් කර ගත හැකිය . 

අට්ටික්කා ගෙඩි පානය 

  • ඉදුණු අට්ටික්කා ගෙඩි කිහිපයක් ගෙන හොඳින් පිරිසිදු කර බ්ලෙන්ඩර් කර ගන්න.
  • පසුව එය වීදුරුවකට දමා දෙහි ,සීනි ආදිය පදමට දමා එම රසවත් පානය සකස් කර ගන්න.මෙම පානය හොඳින් පෙරා ගෙන පානය කිරීමෙන් ශරීරය සිසිල් වී දාහය සංසිදුවා ගත හැකිය. 

අට්ටික්කා ශාකයේ ඖෂධීය ගුණ භාවිතය අතීතයේ සිටම පුරාණ වෙදදුරන් විසින් මෙම ශාකයේ කොළ ,පොතු ,මුල් ,කිරි විවිධ රෝග සදහා ප්‍රතිකාර කිරීමේදී භාවිත කර ඇත. ඖෂධීය ගුණ රැසක් පවතින මෙම ශාකය බොහොමයක් රෝග සදහා ප්‍රතිකාර කිරීමේදී යොදා ගනු ලැබේ .

  • 1. රක්ත අතීසාරය 
  • 2. රක්ත ප්‍රවාහිකා 
  • 3. රක්ත ප්‍රදර 
  • 4. රත්පිත් 
  • 5. ග්‍රහණි
  • 6. වේදනා සහිත වණ
  • 7. තුවාල 
  • 8. ස්ත්‍රී රෝග 
  • 9. චර්ම රෝග 
  • 10. විදුරුමස් ඉදිමීම
  • 11. දියවැඩියාව 
  • 12. අතීසාරය 
  • 13. අර්ශස් 
  • 14. මූත්‍ර රෝග යනාදී රෝග සමනය කිරීමට මෙම ඖෂධීය ශාකය භාවිත කරනු ලැබේ . 
  • රත්පිත් ,රක්ත ප්‍රදර ,ශුක්‍ර මෝචනය යනාදී ය සදහා ඔසුවක් වේ .ඉදුණු අට්ටික්කා ගෙඩි හොඳින් අඹරා ලබා ගන්නා යුෂ වලට මී පැණි ස්වල්පයක් හොඳින් මිශ්‍ර කර පානය කිරීම කළ යුතුය .එසේ නතිනම් ඉදුණු අට්ටික්කා ගෙඩි වල යුෂ හෝ කෂාය හෝ ශීත කෂාය පානය කිරීම වඩාත් ගුණදායක වේ . 
  • අට්ටික්කා කොළ මැල්ලුම බෝහෝමයක් රෝග සදහා ඉතා වටිනා ඖෂධයක් ලෙස හදුනා ගත හැකිය . අට්ටික්කා ශාකයේ ළපටි දලු මැල්ලුමක් ලෙස ආහාරයට ගැනීම යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමට බොහෝ සෙයින් උපකාරීවේ. එමගින් රුධිරය පිරිසිදු කිරීම ,සෑම මූත්‍ර රෝගයක් ම සුවපත් කිරීම ,ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග රැසකට සුවය ගෙනෙන ඖෂධයක් වීම යනාදී ය ඒ අතර වේ. සතියට දෙවතාවක් හෝ ආහාරයට ගන්නේ නම් වඩාත් හොඳ ප්‍රථිඵල ලබා ගත හැකිය . 
  • වණ සුවපත් කරයි ඉදිමුම් වේදනා සහිත වණ සදහා අට්ටික්කා ශාකයේ කිරි ආලේප කරන්න .තුවාල සේදීමට අට්ටික්කා කොළ හොඳින් තම්බා ගත් ජලය භාවිත කරනු ලැබේ . 
  • රත්පිත් සමනය කරයි .අට්ටික්කා ගෙඩි හෝ පොතු තම්බා ගත් ජලය පානය කිරීම මේ සදහා ගුණදායක වේ . 
  • රක්ත අතීසාරය ,රක්ත ප්‍රදර ,රක්ත ප්‍රවාහිකා ,ග්‍රහණි ආදී රෝගී තත්වයන්ට අට්ටික්කා පොතු කෂාය සකසා පානය කිරීම යෝග්‍ය වේ. එසේම විදුරුමස් ඉදිමීම ,මුඛ දුර්ගන්ධය නැති කිරීම සදහාත් මෙම කෂාය ඔසුවක් වේ. 
  • හොඳින් පැසුණු අට්ටික්කා ගෙඩි යුෂ පානය කිරීම ශරීරය සිසිල් කිරීම සදහාත් පෘෂ්ඨිමත් කිරීමටත් ඉවහල් වේ. 
  • බහුමූත්‍රතාවය ,මධුමේහය, නිසා ඇති වන පිපාසය සදහා අට්ටික්කා ඇට චූර්ණය මී පැණි සමග ආහාරයට ගැනීම වඩාත් ගුණදායකවේ. 
  • ශරීරයේ ඇතිවන දැවිල්ල සදහා ,දියවැඩියාව සදහා සහනය ගෙන දෙන ඖෂධයක් වේ .මේ සදහා අට්ටික්කා ශාකයේ මුලක් කපා එමගින් වෑස්සෙන ජලය පානය කිරීම ගුණදායක වේ . 

අට්ටික්කා ගෙඩි ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගැනීමෙන් ,

  • 1. රුධිරය සම්බන්ධ රෝග 
  • 2. මූත්‍ර ආශ්‍රිතව ඇතිවන රෝග 
  • 3. ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග රැසකට සුවය ලබා ගත හැකිය. 
  • අට්ටික්කා දලු හොඳින් අඹරා ලප කැලැල් වල ආලේප කිරීමෙන් ඒවා සුවපත් කර ගත හැකිය .
  • ලේ අපිරිසිදු වීම නිසා හටගන්නා විවිධ රෝගී තත්වයන්ට ඖෂධයක් වේ.මේ සදහා ළපටි අට්ටික්කා ගෙඩි කිහිපයක් ගෙන මැටි මුට්ටියකට දමා වතුර පත අටක් මිශ්‍ර කර පසුව එය වතුර පත එකක් වන සේ සිදුවා ගෙන දිනපතා උදෑසන සහ සවස පත භාගයක් පමණ පානය කිරීමෙන් මෙවැනි රෝගී තත්වයන් සමනය කර ගත හැකිය . 

අට්ටික්කා භාවිත කර නිපදවන ඖෂධ කිහිපයක්ම පවතී .

1. උදුම්බර පැණිය ( ශරීරයෙන් රුධිරය පිටවන රෝග ,ශරීරයේ රුධිරය අපිරිසිදු වීම ,අම්ලපිත්ත රෝගය යනාදී ය සදහා ඉතා ගුණදායක ඖෂධයක් ලෙස හදුනා ගත හැකිය . )

2. උදුම්බරා ක්වාතය 

3. උදුම්බරා තෛලය 

මේ අනූව ගත් විට ස්වාභාවික පරිසරයෙන් මිනිසාට දයාද කරන ලද ඉතා වටිනා ඖෂධීය ගුණයෙන් අනූන ශාකයක් ලෙස අට්ටික්කා හදුනා ගත හැකිය. කෙසේ නමුදු යම් රෝග තත්ත්වයකට අට්ටික්කා ඖෂධයක් ලෙස යොදා ගන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.