ශරීරයේ විෂ ඉවත් කරන මුරුංගා සතු ගුණ 11 ක්

health tips

Moringaceae උද්භිද කුලයට අයත් මුරුංගා Moringa oleifera Lam නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වයි. මෙම ශාකයේ නිජබිම ලෙස උතුරු ඉන්දියාව ප්‍රචලිත වන අතර ශ්‍රී ලංකාවේ වියලි කලාපය තුළ මුරුංගා ශාකය බහුලව දැකගත හැකි ය. මෙහි හටගන්නා කරල් රසවත් ආහාරයක් වන අතර එහි කොළ හා මල් ද මැල්ලුම් සකසා ගැනීම සඳහා භාවිත කරයි. 

මෙම ශාකය ඖෂධීය ගුණයෙන් අනූන ශාකයක් වන අතර ඖෂධ ලෙස මුරුංග ශාකයේ මල්, කොල, මුල්, පොතු ආදී වශයෙන් ශාක කොටස් භාවිත කරයි. මුරුංගා ශාකයේ ප්‍රභේද කීපයක් පවතින අතර නිල් පැහැති මල් පිපෙන මුරුංගා, සුදු පැහැති මල් පිපෙන මුරුංගා සහ නිල් පැහැති මල් පිපෙන මුරුංගා ආදී වශයෙන් එම ප්‍රභේද හඳුනාගත හැකිය. මේ අතුරින් නිල් සහ රතු මුරුංගා ප්‍රභේදයන් අතිශය දුර්ලභ වේ. 

මෙහි පවතින ඖෂධීය ගුණයන් පිළිබඳ විමසා බැලීමේදී බොහෝ පෝෂක කොටස් මුරුංගා තුළ අන්තර්ගත වේ. ඒ අනුව ප්‍රෝටීන්, විටමින් බී, විටමින් සී, යකඩ, විටමින්, මැග්නීසියම්, ෆ්ලේවොනොයිඩ්ස්, ෆි‍නොලික් අම්ලය, ඔමෙගා අම්ලය, බීටා කැරොටින් ආදී පෝෂක කොටස් මුරුංගා තුළ අන්තර්ගත වේ. 

මෙහි පවතින ඖෂධීය ගුණය නිසාවෙන්ම සිරුරේ ඇතිවන ලෙඩ රෝග රැසකට මුරුංගා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. මෙහි ඖෂධීය ගුණය කොතරම් ද යත් බටහිර රටවල් වල වියළා කුඩුකරගත්  මුරුංගා කොල හෝ කැප්සියුල් වැඩි වශයෙන් භාවිතයට ගනී. 

මුරුංගා ශාකයේ ඖෂධීය භාවිතයන් 

ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන වේ. මුරුංගා  යනු  ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන ඖෂධයකි. මෙහි පවතින බීටා කැරොටීන්, විටමින් සී සහ ඊ වල ප්‍රතිඔක්සිකාරක ගුණය බහුලව පවතී. මෙමගින් අධි රුධිර පීඩනය  පාලනය කරගත හැකිය. ඊට අමතරව පිලිකා රෝගී තත්ත්වයන්ට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව ද   මුරුංගා වල පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය නිසාවෙන් ලැබේ. 

කොලෙස්ටරෝල් පාලනය කරයි. සිරුරේ තිබෙන අනවශ්‍ය මේදය දහනය කිරීමේ සුවිශේෂී හැකියාවකින් මුරුංගා සමන්විත වේ. සිරුරේ ඇති අහිතකර කොලෙස්ට්‍රෝල් වර්ධනය වූ විට හෘදයාබාධ වුවද ඇතිවිය හැකි අතර එම තත්ත්වයන් පවා මුරුංගා පරිභෝජනය කිරීම මගින් පාලනය කරගත හැකිය. 

අක්ෂි නිරෝගිමත් කරයි. වර්තමානයේ බොහෝ තරුණ පරපුර උපැස් පැළඳීම සුලබ තත්වයකි. මෙයට හේතුව වන්නේ අක්ෂි නිරෝගිමත් නොවීමයි. නමුත් මුරුංගා කොල මැල්ලුම් ආකාරයට සකසා ආහාරයට එක්කර ගැනීමෙන් ඇස් වලට ඇතිවන රෝගී තත්වයන් පාලනය කරගත හැකි ය. ඒ අනුව අක්ෂි නිරෝගිමත් භාවය සඳහා මුරුංගා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. 

හිසරදේ සුව කරයි. ඔළුවෙ කැක්කුම ඇති වූ විට මුරුංගා මුල් කොටා යුෂ වෙන්කරගෙන එම යුෂ වලට ජලය කවලම් කර පානය කිරීම මගින් හිස රදය සුව කරගත හැකිය. 

සමේ රෝග සුව කරයි. සමෙහි ඇතිවන දැවිල්ල තත්ත්වයන්, ආසාදන හෝ තුවාල සුව කිරීම සඳහා මුරුංගා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. මුරුංගා තුළ විටමින් ඒ බහුලව අන්තර්ගත වීම එයට හේතුව වේ. ආහාරයට එක්කර ගැනීමෙන් හෝ බාහිර ආලේපනයක් වශයෙන් වුවද මෙහිදී මුරුංගා භාවිතා කළ හැකිය.  තවද  මුහුණේ ඇතිවන කුරුලෑ තත්වයන් සුවපත් කරගැනීම සඳහා මෙන්ම දීප්තිමත් සමක් ලබා ගැනීම සඳහා ද මුරුංගා භාවිතය වඩාත් සුදුසු වේ. 

ශරීරයේ විෂ නාශකයක් ලෙස ක්‍රියා කරයි. මුරුංගාවල පවතින විෂ නාශනය කිරීමේ හැකියාව නිසාවෙන් ඇතැම් ආහාර ද්‍රව්‍ය පිසින විට මුරුංගා භාවිතා කරයි. විශේෂයෙන් මෙහිදී මඤ්ඤොක්කා , ඉස්සන්, දැල්ලෝ වැනි ආහාර පිසින විට මුරුංඟා කොළ ටිකක් එයට එක් කරනු ලබන්නේ විෂ නැසීමේ ගුණය නිසයි. 

අහිතකර ක්ෂුද්‍ර ජීවි බලපෑමෙන් මුදවාගනි. මුරුංගා සතුව බැක්ටීරියා නාශක, දිලීර නාශක සහ වෛරස් නාශක හැකියාවක් පවතී. 

ගැබිනි මව්වරුන්ට ගුණදායක වේ. ගැබිණි මව්වරුන්ගේ අස්ථි වර්ධනයට, දරු කළලයට අවශ්‍ය යකඩ, කැල්සියම්, සහ විටමින් ප්‍රභවයන් ලබාගැනීමට මෙන්ම මවගේ ක්ෂීර වර්ධනයට  මුරුංගා කොළ ආහාරයට එක් කර ගැනීම වඩාත් යෝග්‍ය වේ. 

රූපලාවන්‍ය කටයුතු සඳහා භාවිත කරයි. විටමින් ඊ බහුලව අන්තර්ගත වන නිසාවෙන් සමට මෙන්ම හිසකෙස් සදහා ද වඩාත් සුදුසු ඖෂධයක් ලෙස මුරුංගා පෙන්වාදිය හැකිය. මුරුංගා ඇට වලින් තෙල් ලබාගෙන ඒවායින් රූපලාවන්‍ය නිෂ්පාදන සැකසීම සිදුවේ. ඉතා ඉහළ ගණයේ රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා මුරුංගා අන්තර්ගත කර තිබීම වර්තමානයේ දැකගත හැකිය. 

රුධිරය වර්ධනය කරයි. මුරුංගාවල නිවිති හෝ ගොටුකොළ වලට වඩා යකඩ ප්‍රමාණයක් අන්තර්ගත වේ. එබැවින් රුධිර වැඩීම සඳහා මුරුංගාවලින් ලැබෙන්නේ සුවිශේෂී දායකත්වයකි. මුරුංගා ආහාරයට එක්කර ගැනීමෙන් රුධිරය වැඩීම පමණක් නොව රක්තහීනතාවය වැනි රෝගී තත්ත්වයන් ද පාලනය කරගත හැකිය. 

විටමින් බී ඌනතාවය දුරුකරයි. සිරුරේ වර්ධනයට සහ නිරෝගිභාවය සඳහා විටමින් බී වලින් ලැබෙන දායකත්වය සුළු පටු නොවේ. මුරුංගා තුළ විටමින් බී කාණ්ඩයේ විටමින වර්ග රැසක් අන්තර්ගත වේ. එනම් රයිබොප්ලෙවින්, නියසින්, පැන්තොනික් ඇසිඩ්, පිරිඩොක්සින් ආදිය  ඒ අතර කිහිපයකි. එබැවින් යම් පුද්ගලයකුගේ සිරුරේ විටමින් බී ඌනතාවයක් පවතී නම් මුරුංගා භාවිතයෙන් එම තත්ත්වය පාලනය කරගත හැකිය. 

මේ අනුව මුරුංග‍ා පෝෂණ ගුණ රාශියකින් සමන්විත ඖෂධීය වටිනාකමකින් යුතු එළවළුවක් ලෙස නම් කළ හැකිය. මුරුංගා කරල් මෙන්ම පත්‍ර ද ආහාරයට ගැනීමෙන් මෙකී ගුණ නොඅඩුව ලබාගත හැකිය. වර්තමානය වන විට මෙහි පවතින ඖෂධීය ගුණය නිසාවෙන් ම විවිධ ස්වරූප වලින් වෙළෙඳපොළ තුළ මුරුංගා දැකගත හැකිය. විශේෂයෙන්ම මුරුංගා පත්‍ර කුඩු, මුරුංගා පෙති සහ මුරුංගා capsule ආදිය එවැනි ස්වරූප වේ. මේවා විදේශයන්ගෙන් ආනයනය කරන ලද ඒවා ය. නමුත් අවට වටපිටාවෙන්ම සපයා ගත හැකි ස්වභාවික මුරුංගා ශාක භාවිතයට පුරුදු වීම ඉහත ස්වරූපයන්ට යොමු වීමට වඩා අගනා බව කිවයුතුමය. නමුත් යම් නිදන් ගත රෝගයකට ප්‍රතිකාරකයක් ලෙස මුරුංගා භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.