මුං ඇට වතුර පානය කිරීමෙන් පාලනය කරගත හැකි රෝග 14 ක්

health tips

ලාංකීය අපිට කව්පි, මුං ඇට, තල, මෙනේරි, කුරහන් කියන්නේ නුහුරු නුපුරුදු ධාන්‍ය වර්ග නෙවෙයි. මේ ධාන්‍ය වර්ග අතුරින් මුං ඇට වඩාත් සුවිශේෂී වෙන්නේ ධාන්‍යවලින් ඉතා පහසුවෙන් ජීර්ණය වෙන්නට එහි ඇති හැකියාව වගේම වැඩිම පෝෂක සංඝටක ප්‍රමාණයක් අඩංගු ධාන්‍ය වර්ගය එය වන බැවින්.ලෝක ආහාර හා පෝෂණය පිළිබඳව විශේෂයෙන් පර්යේෂණ කරන වෛද්‍යවරුන් විසින් මෑතකදී ඔවුන්ගේ ආහාර වර්ගීකරණ ලැයිස්තුවට එකතු කළ විශේෂිත ධාන්‍ය  වර්ගය වෙන්නෙත් මුං ඇට.ඉතින් ලෝකයේ වටිනාම ආහාර 100 අතරේ මුං ඇට තියෙන්නේ එහි සතු විශේෂ පෝෂණ සංඝටකයන් නිසාවෙන්මයි.

අනෙකුත් ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමේදී ඇතිවන අපහසුතා මුං ඇට ආහාරයට එකතු කරගැනීමෙන් අපිට ඇති වෙන්නේ නැහැ. ශරීරයේ නීරෝගීභාවයට වගේම රුව රැක ගන්නටත් මුං ඇට ඉතා  සුවිශේෂී මෙහෙයක් ඉටු කරනු ලබනවා. ඉතින් ඒ නිසාම අපි මුං ඇට තම්බා ආහාරයට එකතු කරගන්නවා .ඒ වගේම මුං කිරිබත් මුං කැවුම් ආදිය සකස් කරගන්නවා. මුං ඇට කැඳ, මුං ඇට ව්‍යංජනය පවා අපේ ගෘහණියන් ඉතා රසවත්ව සකස් කරනවා. ඉතින් මේ මුං ඇටයේ වගේම මුං ඇට තම්බන හෝ පෙගෙන්නට දමන වතුරෙත් ඉතා ඉහළ පෝෂණීය ගුණයන් අන්තර්ගතයි. නමුත් අද බොහෝදෙනෙක් මුං ඇට වතුර පෙරා ඉවත් කර මුං ඇට ටික පමණක් ආහාරයට ගනු ලබනවා. ඉතින්  ඒ නිසාම මුං ඇටයේ වගේම මුං ඇට වතුරෙන් ලැබෙන ඉමහත් ප්‍රතිලාභ ගැන මේ ලිපියෙන් දැනුවත් කරන්නට සිතුවා. ඉතින් අපි බලමු මුං ඇට වතුරෙන් අපිට ලබා ගන්නට හැකි වාසි මොනවද කියලා.

මුං ඇට තම්බා ආහාරයට ගැනීම අතීතයේ ඉදලම ජනප්‍රියයි. මුං ඇට ටිකක් තම්බලා පොල් ටිකක් එක්ක ලුණු මිරිසක් සමඟ ආහාරයට ගැනීම ඉතා ශක්තිමත්ව වගේම ප්‍රබෝධමත්ව දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නට හැකියාව ලැබෙනවා. ඉතින් මුං ඇට තම්බන්නට කලින් දවසේ සවස පෙගෙන්නට දාන්නට ඕන. මුං ඇට සීතල නිසා සෙම් රෝග තියෙන අය නම් පෙගෙන්නට දමන්නේ මුං ඇට කබලේ බැද ගත්තාට පස්සේ. කොහොමවුණත් මුං ඇට පෙගෙන්නට ප්‍රමාණවත් වතුර ටිකක් දාලා පසුවදාට යන්තමට පැලවීගෙන එන මුං ඇට තම්බා ආහාරයට ගැනීම ඉතාම ගුණදායකයි. 

මුං ඇට තම්බන විට බොහෝ අය මේ මුං ඇට පෙගෙන්නට දාපු වතුර ටික ඉවත් කරනවා. නමුත් කළ යුත්තේ ඒ වතුර ටිකෙන්ම මුං  ඇට ටික තම්බා ගැනීම. එයට තව ජලය ටිකක් එකතු කර ගන්නට ඕන. මෙහි පෝෂණ ගුණය වැඩි කර ගන්නට නම් සුදු ළූණු බික් 2 ක් සහ ලුණු ස්වල්පයක් එකතු කර ගන්නට පුළුවන්.මුං ඇට තැම්බුණාට පස්සේ වතුර ටික පෙරාගෙන  පැත්තකින් තියන්න. තම්බා ගත් මුං ඇට ටික සම්බෝලයි පොලුයි එක්ක ආහාරයට ගන්න. අර පැත්තකින් තියපු මුං ඇට තම්බපු වතුර ටිකට මොකද කරන්නේ. ඒ ටිකත් පානය කරන්න. ඉතින් මේ මුං ඇට තම්බපු වතුර පානය කිරීමෙන් අපිට ලබා ගන්නට හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ මොනවාද?. 

මුං ඇට වතුර පානයෙන් ලැබෙන් ප්‍රතිලාභ 

  • කකුල් පැලීම් සුව කරයි.
  • ශරීරයේ උෂ්ණය සමනය කරයි.
  •  සිරුරේ ගිනියම් තත්ත්වය. මේ තත්ත්වය පාලනය කර නොගත්තොත් කාන්තා පිරිමි සියලු දෙනාටම රෝග බොහොමයකටම ගොදුරු වෙන්නට සිදුවෙනවා. මල බද්ධය, අර්ශස් ආදිය විතරක් නෙවෙයි විශේෂයෙන්ම කාන්තාවන්ට ඇඟේ ගිනියම නිසා ඇතිවන බලපෑම් ඉතා හානිදායකයි. ශරීරයේ දාහය නිසා කාන්තාවන්ට දරු ඵල අහිමි වෙනවා. කාන්තාවන්ගේ සරු බවට බලපානවා. මේ කාරණය බටහිර වෛද්‍ය ක්‍රමයේ එතරම් පිළිනොගන්නා කාරණයක් වුණත් ආයුර්වේදය තුළ කාන්තාවකගේ ශරීර උෂ්ණත්වය පැලෝපීය නාලය තුළ දරුවෙකු බිහිකිරීමේ ක්‍රියාවලියට බාධා  ඇති කරනවා. ඒ බාධා නැති කරන්නට ගර්භාශය ආශ්‍රිත කලාපය සිසිල් කරන්නට හොඳම ආහාරය තමයි මුං ඇට සහ මුං ඇට තැම්බූ වතුර. දරුවන් නැතිව තැවෙන කාන්තාවන්ට බාධක දුරු කරගෙන දරු සුරතල් බලන්නට මුං ඇට තැම්බූ වතුර මහත් ගුණදායකයි. 
  • ඇස් දැවිල්ල තොල් පැලීම්වලට සහනය ගෙනදෙයි.
  • හිසේ උෂ්ණය නිසා කොණ්ඩය ගැලවී යන අයගේ හිසකෙස් ගැලවී යාම නතර කරයි. 
  • මේ සඳහා පියලි සහිත මුං ඇට තම්බා ගත් වතුර මාසයක් උදෑසන  පානය කිරීමෙන් ප්‍රතිඵල අත් කරගන්නට පුළුවන්. ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට හිසේ ඇතිවන උෂ්ණය නිසා හිසකෙස් ගැලවී යනවා නම් ශරීරය සිසිල් නොකර හිසකෙස්වලට සත්කාර කිරීම ඵලදායි වෙන්නෙ නැහැ.
  • ආර්තව ගැටළු නසයි.
  • මුත්‍රා දැවිල්ල සමනය කරයි.
  • අමිල පිත්ත රෝගයට ගුණදායකයි.
  • චර්ම රෝගවලින් ආරක්ෂා කරයි.
  • ආහාර ජීර්ණය වීමේ අපහසුතා මහහැර ආහාර ජීර්ණය ප්‍රකෘතිමත් කරයි.
  • රුධිර සංසරණය ක්‍රමවත් කරයි.
  • පැපොල, සරම්ප හා අතීසාරය ආදී රෝග සඳහා මුං ඇට පෙග වූ වතුර පානයට දීම සුදුසුයි.
  • කාන්තාවන්ගේ ශ්වේත ප්‍රදර හෙවත් සුදයාමට ගුණදායකයි.

සැලකිය යුතුයි.අද මුං ඇටවලට යොදන කෘමිනාශක සහ වල්නාශක ආදිය බහුල නිසා කාබනිකව වගා කළ හෝ විශ්වාසදායි ස්ථානයකින් ලබාගත් මුං ඇට ආහාරයට එකතු කරගන්නේ නම් ඉතා යහපත්.ශරීරයේ සෙම බහුල අය මුං ඇට තැම්බූ වතුර සතියකට වතාවක් පානය කිරීම සුදුසුයි.