සිරුරේ වැඩි වුන සීනි මට්ටම ක්ෂණිකව අඩු කරන කරපිංචා සතු ගුණ 9 ක්

health tips

කරපිංචා යනු ආහාර පිසීමේදී ඒවායේ රසය, සුවඳ මෙන්ම ගුණය වැඩිකරගැනීමට ශ්‍රී ලාංකික ගෘහණියන් භාවිත කරන අමුද්‍රව්‍යකි. Murraya koenigii යනු කරපිංචා වල විද්‍යාත්මක නාමයයි.කරපිංචා වල සිරුරට හිතකර ෆ්ලැවනොයිඩ ඇතුළු ශාක රසායන සංඝටක අඩංගුයි.කෙඳි සහිත නිසා සිරුරේ අනවශ්‍ය ලෙස මේද අවශෝෂණය වීම් (තැන්පත් වීම්) වළකයි.කරපිංචා වල යකඩ පෝෂක ද ඇත. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ද අනූන අතර විටමින් A,B,C,E පෝෂක ද යම් මට්ටමකින් අන්තර්ගත වේ.

කරපිංචා ආහාර රසකාරකයක් පමණක් නොව ඖෂධයක් ලෙස ද භාවිත වන්නකි.ඉතින්, අද අපි කතාකරන්නට සූදානම් වන්නේ කරපිංචා වලින් සිරුරට ලැබෙන එවැනි අපූරු සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් ගැනයි.

දියවැඩියාව පාලනය කරන ගුණ සහිතයි-කරපිංචා සිරුරේ ඉන්සියුලින් නිපදවීමට අවශ්‍ය සහය ලබාදෙයි.හයිපොග්ලයිසමික් ගුණය හෙවත් රුධිර සීනි මට්ටම් හොඳින් පාලනය වීමට ආධාර කළ හැකි ගුණය ඒවායේ ඇත.කෙඳි බහුල නිසා කාබෝහයිඩ්‍රේට ග්ලූකෝස් බවට ජීර්ණය වීමේ වේගය මන්දගාමී කරයි.එමඟින් රුධිර සීනි මට්ටම් අස්ථායි වීම වළකයි.

දිනපතා හිස්බඩ කරපිංචා කොළ 8-10ක් පමණ අමුවෙන් ආහාරයට ගෙන උණුසුම් වතුර වීදුරුවක් පානය කරන්න.නැතිනම් තවත් ක්‍රමයක් ලෙස, කරපිංචා සහ වතුර මිශ්‍ර කර පානයක් සාදා හිස්බඩ පානයකරන්න.

හිසකෙස් වර්ධනය කරයි කරපිංචා වල ඇති ඖෂධීය ගුණ හිසකෙස් අකලට සුදුවීම වළකයි.හිසකෙස් හානිවීම් වලින් ආරක්ෂා කරයි.හිසකෙස් හැලීයාම, ඉස් හොරි හා හිස්කබල වියළීම හා කැසීම වැනි තත්වයන් අවම කරයි.කරපිංචා හිසකෙස් මුල් වඩාත් ශක්තිමත් කරමින් හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි.

කරපිංචා කොළ 20-30ක් පමණ වතුර බඳුනකට දමා හොඳින් සෝදන්න.පෑන් එකක් ලිප තබා පොල් තෙල් මේස හැඳි 3ක් ඊට එක්කරන්න.තෙල් රත්වන විට කරපිංචා කොළ ටික ඊට එක්කරන්න.කරපිංචා කොළ කලු පාට වනතුරු තෙලේ රත්වීමට හරින්න.ලිප නිවා,තෙල් ටික සිසිල් වන තුරු තබන්න.තෙල් ටික බෝතලයකට පෙරාගන්න. සතියකට දෙවරක් පමණ මෙම තෙල් හිස්කබලේ හා හිසකෙස් වල ගල්වා මෘදුව හිස සම්බාහනය කරන්න.මින් ඔබේ හිසකෙස් නීරෝගී වෙයි. ස්වභාවික දීප්තියක් එක්වේ.

මේද දහනය කර බර අඩුකරයි කරපිංචා කොළ වල කර්බසෝල් ඇල්කලොයිඩ සංඝටක ඇත.මේවා සිරුරේ බර වැඩිවීම පාලනය කරගැනීමට සහය දේ.ඒවා මඟින් රුධිරයේ පව්තින අහිතකර කොලෙස්ටරෝල් හෙවත් LDL මට්ටම් අඩුකරවයි.කරපිංචා වල සිරුර විෂහරණය කරන ගුණාංග සහිත අණු ඇත.මේවා මඟින් සිරුර පිරිසිදු කර මේද මට්ටම් අඩුකරවයි. වතුර වීදුරුවක් පමණ බඳුනකට දමන්න. ඊට සෝදාගත් කරපිංචා කොළ 10-20ක් පමණ දමා මිනිත්තු 5ක් පමණ හොඳින් තම්බාගන්න.තැම්බුම් සාරය කෝප්පයකට පෙරාගන්න.රසය වැඩිකරගැනීමට ලුණු කුඩු ඉතා ස්වල්පයක් හෝ දෙහි හෝ ලෙමන් යුෂ ස්වල්පයක් එක්කරගන්න.නිවසේ ඇත්නම් මී පණි ස්වල්පයක් ද ඊට එක්කරගත හැකියි. මෙය හොඳ මේද දහනක පානයක්.උදෑසන හිස්බඩ පානය කිරීමෙන් සිරුරට ඉතා හොඳ ගුණ ලැබේ.

ඔක්කාරය සමනය කරයි ගැබිනි සමයේදී ඇතිවන ඔක්කාරය (විශේෂයෙන්ම උදෑසන කාලයේ) සඳහා කරපිංචා හොඳ පිළියමකි.මවටත් දරුවාටත් කිසිඳු අතුරුආබාධයක් නැති ස්වභාවික අත්බෙහෙතක් ලෙස ක්‍රියාකරයි.

මේ සඳහා කරපිංචා තැම්බූ වතුර පානය කිරීම හෝ අප ඔබට කියාදෙන මේ පිළියම අනුගමනය කිරීමට ඔබට පුළුවන්.

කරපිංචා කොළ 10-20ක් පමණ වතුර ස්වල්පයක් දමා බ්ලෙන්ඩ් කරගන්න.රෙදි කැබැල්ලකට මෙය මාරු කර යුෂ මිරිකා වෙන්කරගන්න.එම යුෂ වලට දෙහි තේ හැඳි 1ක් සහ අවශ්‍ය නම් හකුරු ස්වල්පයක් දමා දිනපතා උදෑසන පානය කරන්න.

ජීර්ණය වඩවයි ජීර්ණ ක්‍රියාවලිය නීරෝගී කරමින් මලබද්ධය වැනි ගැටලු ඇතිවීම වළකයි.එමෙන්ම පාචනය, අතීසාරය හා බඩපිපුම වැනි අපහසුතා ද වළකයි.සියුම් විරේචක ගුණයක් ඇති නිසා මල අපද්‍රව්‍ය බැහැර වීම ක්‍රමවත් කරයි.ස්වභාවික උත්තේජක ගුණය ඇති නිසා ආහාර රුචිය ද වඩවයි.

ආහාර ගැනීමෙන් පසු මෙම පිළියම අනුගමනය කරන්න.කරපිංචා කොළ 30-40ක් පමණ දින කිහිපයක් අව්වේ වියළා ගන්න.හොඳින් වේලුණු පසු කුඩු කරගන්න.සූදුරු ඇට මේස හැඳි 3-4ක් පමණ කබලේ බැදගෙන කරපිංචා වලට එක්කරන්න. හුලං නොවදින බඳුනකට දමා තැබීමෙන් මෙය කල්තබාගත හැකියි.

ප්‍රතිශක්තිය වඩවයි-කරපිංචා වල ප්‍රතිඔක්සිකාරක බහුලයි. එම නිසා නොයෙකුත් ලෙඩ රෝග වලට ලක්වීමේ අවදානම අවම කරයි. සිරුරේ සෛල වලට හානි ඇතිකරන ඔක්සිකාරක ආතතිය වළකයි.ඔක්සිකාරක හානි ස්නායු පද්ධතිය, හෘදය හා රුධිර සංසරණ පද්ධතිය හා වකුගඩු ආශ්‍රිත රෝගාබාධ වර්ධනය වීමේ අවදානම ඉහළ දමයි.

සිරුරේ ප්‍රතිශක්තිය වඩවන කරපිංචා ඖෂධයක්.– කරපිංචා කොළ 30-40ක්, දෙහි ගෙඩියක යුෂ, ඉඟුරු කැබැල්ලක්, කහ මේස හැඳි 1/4ක්, නෙල්ලි ගෙඩි 2ක් (හෝ නෙල්ලි කුඩු තේ හැඳි 1ක්),හිමාලයන් ලුණු කැට (හෝ මුහුදු ලුණු) කැට කිහිපයක්.සියල්ල බ්ලෙන්ඩර් කප් එකට දමා මිශ්‍රණයක් සාදාගන්න.වතුර කෝප්පයක් පමණ දමා ප්‍රමාණය වැඩිකරගන්න. ඊට දෙහි සහ රස අනුව ලුණු දමා කළවම් කරන්න. මෙය දිනපතා පානය කරන්න.

සමේ ස්වභාවය වැඩිදියුණු කරයි.කරපිංචා සමේ අපහසුතා හා කුෂ්ට වැනි තත්වයන් දුරුකර සම නීරෝගී කරයි.හානිකර මුක්තකණ්ඩ වලින් සම ආරක්ෂා කරයි.සම මෘදු සුමුදු කරයි.

වියළා කුඩුකරගත් කරපිංචා හෝ කරපිංචා පවුඩර් වලින් තේ හැඳි 1/2ක් සහ මුල්තානි මිට්ටි (රූපලාවන්‍ය භාවිතයට ගන්නා මැටි විශේෂයකි) තේ හැඳි 1/2 ක් බඳුනකට දමා රෝස වතුර එක්කරමින් මිශ්‍රණයක් සේ සාදාගන්න.පිරිසිදු කරගත් සම මත (මුහුණ හා බෙල්ල වැනි ප්‍රදේශ වල) මෙය හොඳින් ආලේප කරන්න. මිනිත්තු 10-15ක් පමණ තබා සෝදා හරින්න.මුල්තානි මිට්ටි මඟින් සමේ ඇති අනවශ්‍ය තෙල් කොටස් උරාගෙන සමට පිරිසිදු බවක් ලබාදෙයි.කුරුලෑ සමකට ඉතා හිතකරයි.රෝස වතුර සමට තෙතමනය සලසමින් සම සුවපත් කරයි.