කිරි වීදුරුවක මෙන් 17ත් ගුණයක කැල්සියම් අඩංගු  මුරුංගා කොළ කෑවොත් හොඳ කර ගන්න පුළුවන් රෝග

health tips

පෝෂණ බලාගාරයක් ලෙස හඳුන්වන මුරුංගා කොළ යනු ඈත අතීතයේ සිටම ආහාරයට එක් කර ගත් ගුණදායක  පළාවකි. එනම් එහි ඉතිහාසය වසර 4000 ක් පමණ පැරණි අතීතයකට දිවයයි. 

බොහෝ විට උෂ්ණ අධික ආහාර පිසින විට එනම් ඉස්සන් ,දැල්ලන්, කකුළුවන් වැනි ආහාර පිසින විට ඉන් ඇතිවන අසාත්මිකතා සමනය කිරීමට  මුරුන්ගා කොල කිහිපයක් එම ව්‍යංජනයට එකතු කරයි. 

ඊට අමතරව මැල්ලුමක්, ව්‍යාංජනයක් ලෙස කරල් මෙන්ම කොළ ද ආහාරයට ගත හැකිය. මුරුංගා කොළ වඩාත් ප්‍රචලිත වන්නේ එහි පවතින මිනිය නොහැකි පෝෂණ ගුණය නිසාමය. 

මුරුංගා කොළ වල ඇදහිය නොහැකි පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වේ. එනම් නිර්මාංශික පුද්ගලයින්ට නොලැබෙන විටමින්, ප්‍රෝටීන් ඌනතා සම්පූර්ණ කර ගැනීමට ගතයුතු හොඳම ආහාරයක් ලෙස මුරුංගා කොළ හැඳින්විය හැකිය. 

විටමින් , කැරොටීන් , කැල්සියම් , පොටෑසියම් , ඛනිජ ලවණ වැනි පෝෂ්‍ය පදාර්ථ රැසක් මුරුංගා වල අඩංගු වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ අනෙකුත් පලා වර්ග වලට සාපේක්ෂව මුරුංගා කොළ වල වැඩි ප්‍රමාණයක් අඩංගු වේ. මුරුංගා කොළ වල පවතින විශේෂත්වය නම් එයයි. 

මුරුංගා කොළ වල 

කැරට්වල මෙන් 10 ගුණයක විටමින් A 

නිවිතිවල මෙන් විසි පස් ගුණයක යකඩ 

බිත්තරවලට වඩා 04 ගුණයක ප්‍රෝටීන 

කෙසෙල් මෙන් පහළොස් ගුණයක පොටෑසියම් 

දොඩම්වල මෙන් දොළොස් ගුණයක විටමින් C 

කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම් 

යන ආදී වශයෙන් මුරුංගා කොළ වල පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ.

මේ නිසා බාල මහලු සැමදෙනාම පාහේ මුරුංගා කොළ ආහාරයට ගන්නේ නම් ඉන් බොහෝ රෝග සුව කර ගත හැකිය. 

මුරුංගා කොළ ව්‍යාංජනයක් සකස් කර ගැනීමේදී 

මුරුංගා කොළ

මිටිකිරි අඬු කෝප්ප බාගයක් 

පරිප්පු මිටක්

තලාගත් සුදුලූණු බික් කිහිපයක් 

රතුළූණු 

උම්බලකඩ කුඩු ස්වල්පයක් 

අමු තුනපහ කුඩු තේ හැන්දක්

රම්පෙ

කරපිංචා 

පොල්තෙල් ස්වල්පයක් 

ලුණු 

මුරුංගා කොළ සෝදා වතුර බේරෙන්නට පසෙකින් තබන්න. අමුමිරිස් , රතුළූණු , සුදුලූණු , රම්පෙ හා කරපිංචා තෙම්පරාදු කරගන්න. ඉන් පසු පරිප්පු හා අනෙකුත් ද්‍රව්‍ය සියල්ලම දමා තැම්බෙන්නට හරින්න. අවශ්‍ය නම් වතුර ටිකක් එක් කරන්න. පරිප්පු තැම්බුණු පසු මුරුංගා කොළ හා මිටිකිරි එක් කර හොද්ද ඉතිරුණු පසු බිම තබා ආහාරයට ගන්න. 

මුරුංගා කොළවල ඖෂධීය ගුණ 

පිළිකා ඇතිවීම වළක්වයි 

විශේෂ කොට උදරයේ ගැස්ට්‍රයිටිස් නිසා ඇතිවන පිළිකා , සමේ පිළිකා හා පෙනහළු පිළිකා ඇති වීම වළක්වා ගත හැකිය. 

කොලෙස්ටරෝල් පාලනය කරයි 

මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් පාලනය කර ගත හැකිය. එනම් මෙමගින් හෘද රෝග ඇතිවීම වලක්වා ගැනීමට මෙන්ම ශරීර බර අඩු කර ගැනීමට ද හැකියාව ලැබේ. 

ගැබිනි මව්වරුන්ට යෝග්‍ය වේ.

නිරෝගී දරුවකු බිහි කිරීමට එම කාලය තුළ මව විසින් පෝෂණ ගුණයෙන් ඉහළ ආහාර වේල් ලබාගත යුතුය. එනම් එවැනි ආහාර වේලකට මුරුංගා කොළ එක්කර ගැනීමෙන් මවගේ මෙන්ම දරුවාගේද පෝෂණ ඌනතා මගහරවා ගත හැකිය. එමෙන්ම මවගේ මෙන්ම දරුවාගේ සෞඛ්‍ය යහපත් මට්ටමෙන් පවත්වා ගත හැකිය. 

දෙබර , බඹර හා ගෝනුසු විෂට 

මුරුංගා පොතු දෙහි ඇඹුලින් ගා දෂ්ට කල තැන්වල ආලේප කිරීම මගින් එම විෂ ඉවත් කර ගත හැකිය. 

සැරව ගලන තුවාල සමනය කරයි.

මුරුංගා කොළ , තල තෙල් හා එළඟි තෙල් සමඟ මිශ්‍ර කර අඹරා තුවාලයේ ආලේප කිරීම. 

දහදිය බිබිලි සමනය කරයි.

මේ සඳහා කොහොඹ කොළ හා මුරුංගා මුල් සමව ගෙන හොඳින් අඹරා දෙහි යුෂ මිශ්‍ර කොට බිබිලිවල ආලේප කර පැය දෙකකට පසු ස්නානය කිරීම යෝග්‍ය වේ.

මුත්‍රා ගල් හා මුත්‍රා දැවිල්ල සඳහා 

වේදනා ගෙන දෙන මුත්‍ර රෝග සඳහා

මුරුංගා පොතු මිටක් පමණ ගෙන වතුර පත හතරක් දමා පත එකට සිඳුවා උදේ සවස පත බාගය බැගින් පානය කිරීම.  මුත්‍රා දැවිල්ල අධිකව ඇත් නම් පුහුල් හෝ කැකිරි යුෂ වීදුරුවකට මුරුංගා කොළ යුෂ තේ හැඳි දෙකක් මිශ්‍ර කොට පානය කිරීම ගුණදායකවේ. 

ගැස්ට්‍රයිටිස් සමනය කරයි. 

මුරුංගා කොළ මිටක් හොඳින් අඹරා ගෙන එයට මුදවපු කිරි මේස හැඳි පහක් එකතු කර දිනපතා උදෑසන හිස්බඩට පානය කිරීමෙන් ගැස්ට්‍රයිටිස් සුව කර ගත හැකිය. 

ආහාර අජීර්ණ සමනය කරයි.

ආහාර අජීර්ණය ඇති විට මුරුංගා කොළ යුෂ තේ හැඳි දෙකකට මී පැණි තේ හැන්ඳක් සහ තැඹිලි වතුර  මිශ්‍ර කර උදේ , දවල් , සවස පානය කිරීම. 

කුරුලෑ සඳහා 

මේ සඳහා මුරුංගා කොළ යුෂ හා දෙහි යුෂ ඇල් වතුරට මිශ්‍ර කොට ඒ වතුරෙන් මුහුණ සේදීම යෝග්‍ය වේ. 

මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට මෙන්ම නීරෝගී දිවියක් ගත කිරීමට මුරුංගා කොළ ආහාරයට එක් කර ගැනීම වඩාත් සුදුසුවේ.