මූසා කුලයට (Musa) අයත් කෙසෙල් දකුණු අග්නිදිග ආසියානු කලාපය තුළින් හඳුනාගන්නා ලද පලතුරු විශේෂයකි. මෙම පලතුර සමස්ත ලෝකය පුරාම ඉතා ජනප්‍රිය වේ. විශේෂයෙන් පලතුරක් ලෙස කෙසෙල් භාවිතයට ගත්තා වුවද කෙසෙල් මල් ආහාරයට ගැනීම පිළිබඳව මිනිසුන් තුළ ඇත්තේ අල්ප දැනුමකි. වතුමුව නොහොත් කෙසෙල් මල් ආහාරයට ගනු ලැබීම ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ප්‍රචලිත වේ.
පලතුරක් ලෙස කෙසෙල් ඉදවා ආහාරයට ගන්නා අතර කෙසෙල් මුව ව්‍යංජන ආකාරයට, තෙම්පරාදු ආකාරයට, මැල්ලුම් ආකාරයට ආදී වශයෙන් පිස ආහාරයට එක්කර ගනියි. මෙසේ කෙසෙල් මුව ආහාරයට එක් කර ගනු ලබන්නේ ශ්‍රී ලංකාව ප්‍රමුඛ කරගත් ආසියානු කලාපයේ රටවල් වන අතර තායිලන්තයද ඒ අතර ප්‍රචලිත වේ.
කෙසෙල් මල මෙසේ ආහාර ලෙස භාවිත කරන අතර ඊට කෙසෙල් මුව, වතු මුවා ආදී නම් ද භාවිත කරයි. පෝෂණ ගුණය අතින් ඉතා ඉහළින්ම පවතින එළවළු විශේෂයක් ලෙස හඳුනාගත හැකි කෙසෙල් මුව ඉතා අඩු මුදලකට වෙළඳපොළ තුළින් පහසුවෙන් සපයාගත හැකි ආහාරයකි. කෙසෙල්මුව වල ඖෂධීය ගුණ රාශියක් අන්තර්ගත වන අතර කෙසෙල් මුව ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝග රැසක් සුව කර ගත හැකිය.

- හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිදියුණු කරයි. මිනිස් සිරුරේ සියයට හැත්තෑවක් පමණ හිමොග්ලොබින් නිෂ්පාදනය සිදුවේ. ඒ සඳහා අත්‍යවශ්‍ය සංඝටකයක් ලෙස යකඩ පෙන්වා දිය හැකිය. මිනිස් සිරුරට යකඩ අත්‍යවශ්‍ය වන්නේ කරුණු කිහිපයක් සඳහා වෙයි. ඒ අනුව,
- පෙනහළු වල සිට පටක වෙත ඔක්සිජන් සංසරණය සිදු කිරීම සඳහා
- ශ්වසනය හා බලශක්ති පරිවෘත්තීය සඳහා
- කොලජන් හා ඇතැම් ස්නායු සම්ප්‍රේෂක සංස්ලේෂණය සදහා
- ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය සඳහා
- රක්තහීනතාවෙන් තොර වීම සඳහා ආදී වශයෙන් ශරීරයේ යහපත් කායික හා මානසික සුවය සඳහා යකඩ අත්‍යවශ්‍ය වේ. මෙම යකඩ අවශ්‍යතාවය සපුරාලීම සඳහා බොහෝ ආහාරපාන නිර්දේශ කලද වර්තමානයේ සිදු කරන ලද පර්යේෂණ වලින් තහවුරු වන පරිදි රුධිරයට අවශ්‍ය කරන යකඩ ලබා ගැනීම සඳහා කෙසෙල්මුව දක්වන දායකත්වය ද සුවිශේෂී වේ. ඒ අනුව කෙසෙල්මුව ග්‍රෑම් 100 ක් ගත් විට ඒ තුළ යකඩ 56.4mg පවතී. විශේෂයෙන් නීරක්තියෙන් පෙළෙන ගර්භණී කාන්තාවන් සඳහා දිනකට කෙසෙල් මුව ග්‍රෑම් 50ක් පමණ ආහාරයට ගත් විට දෛනික යකඩ අවශ්‍යතාවය සපිරේ. යකඩ වලට අමතරව තඹ, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සෙලෙනියම්, සින්ක් වැනි ඛණිජ ලවන වලින් පෝෂිත ආහාරයක් ලෙස ද කෙසෙල්මුව හඳුනාගත හැකිය. එසේම ආහාරමය තන්තු, විටමින් සී, ඒ, සහ විටමින් ඊ යන පෝෂ්‍ය පදාර්ථ ද අන්තර්ගතව පවතින අතර කෙසෙල් මුව යනු ප්‍රෝටීන් බහුල ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි. මේ නිසා යකඩ ඌණතා ඇති පුද්ගලයින් කෙසෙල් මුව ආහාරයට ගන්නේ නම් එය වඩාත් ගුණදායකය.
- විෂබීජ නාශක ගුණයෙන් පෝෂිත වෙයි. සිරුරේ ඇතිවන ආසාදිත තත්ත්වයන් වලට එරෙහිව ක්‍රියාකරන ප්‍රබල ඔසුවක් ලෙස ද කෙසෙල් මුව පෙන්වා දිය හැකිය. ඒ අනුව සමේ ඇතිවන තුවාල වැනි ආසාදන තත්වයන් වල දී මෙන්ම මැලේරියා පරපෝෂිතයන් මර්දනය සඳහා ද කෙසෙල් මුව ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ. මෙමගින් ශරීර අභ්‍යන්තරයේ වුවද විෂබීජ විනාශ වීම සිදුවේ.
- රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි. විශේෂයෙන් මෙහිදී කෙසෙල් මුව පමණක් නොව කෙසෙල් බඩය ද රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට දායක වේ. පර්යේෂණ කිහිපයකින් ම තහවුරු වන පරිදි දියවැඩියාව පමණක් නොව අධික තරබාරු බව අඩු කිරීම සඳහා ද කෙසෙල් මුව වඩාත් යෝග්‍ය වේ.
- ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් අනූන වේ. සිරුරේ ඇති වන බොහෝ ලෙඩ රෝග සඳහා සිරුර තුළ ම නිපදවන නිදහස් මුක්ත ඛණ්ඩක හේතුවේ. මෙම මුක්ත ඛණ්ඩ වලට එරෙහිව ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කිරීම සඳහා කෙසෙල් මුව මැදිහත් වේ. එනම් කෙසෙල්මුව වල ප්‍රතිඔක්සිකාරක ගුණය බහුලව පවතී. එබැවින් අකලට වියපත් වීම, ස්නායු ආබාධ ඇතිවීම, හදවත් රෝග සහ පිළිකා වැනි සෞඛ්‍ය ගැටළු රැසකට පිළියමක් ලෙස කෙසෙල් මුව ආහාරයට එක්කර ගැනීම වඩාත් සුදුසු වේ.
- මානසික සුවය සඳහා යෝග්‍යවේ. විශේෂයෙන් මෙහිදී මානසික පීඩාවන් නිසාවෙන් ඇතිවන කාංසාව වැනි තත්ත්වයන් සඳහා සුවයක් ලබා ගැනීමට කෙසෙල් මුව ආහාරයට එක්කර ගැනීම සුදුසු වේ. මෙමගින් මානසික පීඩනය අඩු කරන අතර මනෝභාවයන් වැඩිදියුණු කරනු ඇත. ඒ සඳහා කෙසෙල්මුව වල අඩංගු මැග්නීසියම් දායක වේ.

- ඔසප් සමයේ ඇතිවන අධි රුධිර වහනය අඩු කරයි. ඇතැම් කාන්තාවන්ගේ ආර්තව සමය යනු අධික වේදනා දෙන කාල පරාසයකි. මෙහිදී රුධිර වහනය වැඩි වශයෙන් සිදුවන අතර එම තත්ත්වය පාලනය කර වේදනා අඩු කරලීම සඳහා කෙසෙල් මුව වඩාත් යෝග්‍ය වේ. විශේෂයෙන් මෙහිදී කෙසෙල් මුව ව්‍යංජනයක් ආකාරයට සකසා ආහාරයට එක්කර ගැනීම සුදුසු වේ. මෙමගින් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ස්‍රාවය වීම වැඩි කරවන අතර අධික රුධිර වහනය ද අඩු කරයි. ඒ අනුව ඔසප් සමයේදී ගතයුතු ප්‍රධාන ආහාරයක් ලෙස කෙසෙල් මුව පෙන්වා දිය හැකිය.
- ගර්භණී කාන්තාවන්ට මෙන්ම කිරි දෙන මව්වරුන්ට යෝග්‍ය ආහාරයකි. වස විස වලින් තොර ගුණදායක ආහාරයක් ලෙස තහවුරු කරමින් කෙසෙල් මුව ගර්භණී මවුවරුන්ට සහ කිරි දෙන මව්වරුන්ට ලබා දිය හැකි ය. මේවා ආහාරයට ගැනීමෙන්,
- ගර්භනී සමයේ ඇතිවන දියවැඩියාව පාලනය කරයි.
- උදෑසන ඇතිවන වමනය සහ ඔක්කාරය පාලනය කරයි.
- ගර්භණී කාන්තාවන්ට ඇතිවන මලබද්දය වළකාලයි.
- ප්‍රොජෙස්ටරෝන් ස්‍රාවය වීම උත්තේජනය වන බැවින් ගර්භාෂය ශක්තිමත් කරයි.
- මව්කිරි ස්‍රාවය වීම වේගවත් කරයි. ආදී වශයෙන් ප්‍රයෝජන රැසක් ලබාගත හැකිය. මේ අනුව ගර්භණී කාන්තාවන්ගේ සහ කිරිදෙන මව්වරුන්ගේ ආහාර වේලට සතියට දින දෙකක් පමණ කෙසෙල් මුව ඇතුලත් කිරීම යෝග්‍ය වේ.
- මල බද්ධය වළකාලයි. ආහාරමය තන්තු වලින් පොහොසත් කෙසෙල් මුව ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගීමත් කරයි. විශේෂයෙන් අන්ත්‍රවල පවතින විස මලපහ ඔස්සේ පිටවීමට දායකත්වය ලබා දෙන අතර ආහාර ජීර්ණය පහසු කරමින් මලබද්ධය ඇතිවීම වළක්වනු ලබයි. එනම් ආමාශයේ ඇතිවන තුවාල වල සුවයට ද කෙසෙල් මුව ආහාරයට එක්කර ගැනීම යෝග්‍යවේ.
- අතීසාර සුවයට හේතු වේ. මේ සඳහා කෙසෙල්මුව කැබලි සිටින සේ කපා කෙසෙල් දළු වල ඔතා උණු අළු පල්ලේ තම්බා ගත යුතුය. අනතුරුව එහි යුෂ වෙන්කොට පානය කිරීම මගින් අතීසාරය පහසුවෙන් සුවපත් කරගත හැකි අතරම මෙම ඖෂධය අජිර්ණ රෝග සුවපත් කිරීම සඳහා ද යෝග්‍ය වෙයි.මේ ආදී වූ රෝග රැසකට කෙසෙල් මුව යනු ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.