මාංශ පේශි වේදනාව සුව කරන ආයුර්වේද පිළියම් 6 ක්

health tips

මාංශ පේශී වේදනාව හෙවත් ‘මයැල්ජියා’ තත්වය ඉතා පීඩාකාරීය.මාංශ පේශී ආශ්‍රිත තැලුම් ස්වභාවය, වේදනා හා කැක්කුම් නිසා දෙනෙන අපහසුතාව අපගේ එදිනෙදා වැඩකටයුතු වලට ද බාධා ඇතිකරයි.මාංශ පේශී වේදනාව ඇතිවීමට බොහෝදුරට බලපාන හේතු වන්නේ කායික ක්‍රියාශීලීත්වය හා ආතතියයි.පේශියකට සිදුවන අනතුරු ආබාධ නිසා (පේශි ඉරීයාම් හා ඇදීයාම්), ආසාදන, පේශි පෙරළීම, පෝෂක ඌනතාවන්,විජලනය හෝ ෆයිබ්‍රොමයැල්ජියා,නිරක්තිය (ලේ අඩුකම) හා නිදන්ගත තෙහෙට්‍ටු සහලක්ෂණය (chronic fatigue syndrome) වැනි යටින් පවතින සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් මෙසේ මාංශ පේශී වල වේදනා කැක්කුම් මතුවිය හැකියි.

එකම ඉරියව්වෙන් එක තැනක දිගු වෙලාවක් සිටගෙන හෝ වාඩිවී සිටිමින් කටයුතු කරන ,හෝ දැඩි කායික වෙහෙසක් ඇතිකරවන ක්‍රියාකාරකම් වල එක දිගට යෙදී සිටින වැඩිහිටි පුද්ගලයින් අතර මේ තත්වය බොහෝවිට නිතර දැකිය හැකිය.වේදනාව දැනෙන විට වේදනානාශක පෙත්තක් ගැනීමයි බොහෝ අය සිදුකරන්නේ.නමුත් මේ තත්වය දිගින් දිගටම ඇතිවේ නම්, එය වෙනත් බරපතල රෝගයකට පූර්ව සංඥාවක් වීමට ද හැකි බැවින් වෛද්‍යවරයෙකු වෙත යොමුවී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්න.මාංශ පේශී වේදනාවට සහනයක් සලසාගත හැකි නිවසේදි අනුගමනය කළ හැකි සරල පිළියම් කිහිපයක් ගැනයි මේ.

RICE ක්‍රමය

අනතුරකින් ඇතිවි මාංශ පේශී වේදනාව හා ඉදිමුම සමනය කරගැනීමට මේ ක්‍රමය ඉතා ප්‍රයෝජනවත්ය. RICE වචනයෙන් ක්‍රියා 4ක් සංකේතවත් වේ.

  • Rest-අනතුරට ලක්වූ ප්‍රදේශය නොසොළවා,විවේකීව තබාගන්න.
  • Ice-බලපෑමට ලක්වූ ප්‍රදේශය අයිස් වලින් දිනකට දෙතුන් වරක් මිනිත්තු 15-20ක් තවන්න.ඉන් වේදනාව හා ඉදිමුම අඩුවෙනු ඇත.
  • Compression- සම්පීඩනය යෙදීමයි. එම ප්‍රදේශය නිවැරදිව වෙළන්න. වඩාත් තද නොකළ යුතුයි.ඉන් වේදනාව හා ඉදිමුම තවත් වැඩිවිය හැකියි.
  • Elevation-හදවත මට්ටමට වඩා බලපෑමට ලක්වූ ප්‍රදේශය ඔසවා තබාගන්න.ඊට කොට්ටයක් හෝ කුෂන් එකක් යොදාගන්න.
  • වෛද්‍යවරයෙකු වෙත යොමුවී පේශියට වූ අනතුර අවදානම් තත්වයක් දැයි පරික්ෂා කරගන්න.

සම්බාහනය කිරීම පේශී තැලුම් සමනය කරන සත්කාරයක් ලෙස සම්බාහනය කිරීම ප්‍රචලිතයි.ශරීර පටක ලිහිල්කිරීම, රුධිර සංසරණය වැඩිදියුණු කිරීම හා සෙරටොනින් හෙවත් ප්‍රීතිය ඇතිකරන හෝර්මෝන මට්ටම් ඉහළ දැමීම වැනි ප්‍රතිලාභ දෙයි.ආතතිය හා පීඩනය යටපත් කරයි.පේශි ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි.

එප්සම් ලුණු වතුරේ බැස සිටීම මාංශ පේශි වේදනාව හා ඉදිමුම සමනය කිරීමට එප්සම් ලුණු ප්‍රතිලාභ දෙන බව සඳහන් වේ.මාංශ පේශි පෙරළීම් හා තැලුම් වලට ප්‍රධාන හේතුවක් වන්නේ මැග්නීසියම් ඌනතාවයි. එප්සම් ලුණු යනු මැග්නීසියම් සල්ෆේට් ය.එප්සම් ලුණු කෝප්ප 1ක් උණුසුම් වතුර බේසමක දිය කර මිනිත්තු 20ක් පමණ බලපෑමට ලක්වූ ප්‍රදේශය එහි පොඟවාගෙන සිටින්න.උණුසුම් වතුර බලපෑමට ලක්වූ ප්‍රදේශය වෙත ඇති රුධිර සැපයුම වැඩිදියුණු කර මාංශ පේශී ලිහිල්කරයි.

ඖෂධීය පිළියම් ක්‍රම

වදකහ පැසවීම වළකන හා වේදනානාශක ගුණ බහුල ඔසුවක් වන වදකහ පේශි වේදනාවට ගුණදායකයි. ප්‍රදාහය හා වේදනාව අඩුකරයි.මේ සියලු ගුණ අඩංගු වන්නේ එහි ඇති සක්‍රිය කර්කියුමින් සංඝටක වලය.ආහාර පාන වලට මුසු කර හෝ බාහිර ආලේපයක් ලෙස මාංශ පේශි මත ගැල්වීම පිළියම් ක්‍රමය.සම්බාහනයට සුදුසු තෙල් වර්ගයක් සමඟ කහ කුඩු ස්වල්පයක් මිශ්‍ර කර භාවිතයට ගන්න.

ඉඟුරු ප්‍රතිප්‍රදාහක හා වේදනානාශක ගුණ බහුල ඉඟුරු පේශි තැලුම් සමනය කරමින් සිරුරට ගුණයක් ලබාදේ.තේ හා ආහාර වලට එක්කර පරිභෝජනයට ගත හැකියි.

සුදුලූනු තෙහෙට්‍ටුව සමනය කරන හොඳ ඔසුවක් ලෙස ප්‍රචලිතයි.මේවායේ අඩංගු සක්‍රීය ඇලිසින් සංඝටක වල ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිප්‍රදාහක ගුණ බහුල නිසා පේශි කැක්කුම් හා ප්‍රදාහය අදුකිරීමට ගුණ දේ.

කැෆේන් කැෆේන් යම් දුරකට වේදනාව සමනය කරන ගුණ ඇති ද්‍රව්‍යයකි.මිලිග්‍රෑම් 200ක් පමණ කැෆේන් (මිලිලීටර් 250 කෝපි කෝප්ප 2කට සමාන ප්‍රමාණයකි) ලබාගැනීමෙන් මාංශ පේශි වේදනාවට යම් සහනයක් සැලසුණු බව අධ්‍යයනයක දැක්වේ.වෙහෙසකාරි ක්‍රියාකාරකමකට පසු කැෆේන් අඩංගු දෙයක් ගැනීම මාංශ පේශි තැලුම් ස්වභාවය අඩුකරගැනිමට උපකාරි වනු ඇත.හරිත තේ හා කලු තේ වල ද කැෆේන් අඩංගුයි.

දියර වර්ග බොන්න

මාංශ පේශි වේදනාවට විජලනය ද හේතුවකි.මාංශ පේශි තැලුම් ස්වභාවය සමනය වීම සඳහා හොඳින් වතුර පානය කිරීමේ ප්‍රයෝජනවත් බව බොහෝ අධ්‍යයන වලට ලක්ව ඇත්තකි.සිරුරේ වතුර මෙන්ම එලෙක්ට්‍රොලයිට සමතුලිතතාව ද ඉතා වැදගත්ය.දිනකට වතුර ලීටර් 1.5-2 පමණ පානය කරන්න.

වෙනත් පිළියම්

  • ව්‍යායාම- බලපෑමට ලක්වූ පේශි ආශ්‍රිතව මෘදු නම්‍යතා ව්‍යායාම (ස්ට්‍රෙචිං) වල යෙදෙන්න.
  • ආතතිය අඩුකරගන්න– යෝගා,ගැඹුරු ශ්වසන අභ්‍යාස,භාවනා වැනි ක්‍රම ඵලදායීය

පේශි වෙත පීඩනය එල්ල කෙරෙන, වේදනාව වැඩිවන ක්‍රියාකාරකම් වල යෙදීමෙන් වළකින්න.

වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතු අවස්ථා මොනවාද?

සියුම් මාංශ පේශි වේදනා දින දෙක තුනකින් ඉබේ පහව යනු ඇත. කෙසේවෙතත් පහත සඳහන් ලක්ෂණ අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වඩාත් නුවණට හුරුය.

  • පැය 72කට වඩා කලක් එක දිගට වේදනාව ඇත්නම්,
  • බලපෑමට ලක්වූ පේශි ආශ්‍රිත ආසාදනයක් හෝ ඉදිමුමක් දැකිය හැකිනම්,
  • කුෂ්ඨ (රෑෂ්) මතුවී ඇත්නම්
  • බලපෑමට ලක්ව ඇති ප්‍රදේශය සෙලවීමටවත් නොහැකියි නම්.
  • ඒ ආශ්‍රිත දරදඬුබවක් සහ උණ ඇත්නම්
  • වමනය ,හුස්ම හිරවීම හා ගිලීමේ අපහසුතාවක් ඇත්නම් හදිසි ප්‍රතිකාර වෙත යොමුවන්න.