ඕනෑම වයසක පසුවන අයෙකුට වගේම කාන්තා පුරුෂ භේදයකින් තොරවත් සැමදෙනෙක්ටම ඇතිවෙන්නට හැකි තත්ත්වයක් තමයි මස්පිඩු පෙරලීම. ඉතින් ඔබත් මේ පීඩාකාරී වේදනාව නම් අත්විඳ ඇතුවාට සැකයක් නැහැ.මොකද මේ තත්ත්වය එතරම්ම සුලබ තත්ත්වයක් නිසාවෙන්. සාමාන්‍යයෙන් ශරීරයේ සෑම ක්‍රියාකාරිත්වයකටම පාහේ මාංශපේශී සංකෝචනයක් සහ ඉහිල්වීමක් අවශ්‍ය වෙනවා. මේ සඳහා කැල්සියම් මැග්නීසියම්, පොටැසීයම්, සෝඩියම් ආදී ඛනිජ අත්‍යවශ්‍ය වෙනවා.
ඒ අනුව මේ ඛනිජ වර්ගවල ඌණතාවයක් ඇති විට, B කාණ්ඩයේ විටමින් ඌණතා ඇතිවිට, ප්‍රමාණවත් තරම් ජලය ශරීරයේ නොමැතිවිට, සිරුරේ ඇල්කොහොල් ප්‍රමාණය ඉහළයාම, වැරදි ඉරියව් භාවිතය හා ඇතැම් රෝග සඳහා දෙනු ලබන ඖෂධ ආදිය නිසාවෙන් මස්පිඩු පෙරළීම් ඇතිවෙනවා. නමුත් ඒ කාරණාවලට අමතරව වකුගඩු හා අක්මාවේ අකර්මණ්‍යතාවයන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩුවීම පාදවල මාංශපේශී සඳහා රුධිර සැපයුම අඩුවූ විට, ස්නායු තෙරපීම් ඇති විට ආදී තරමක් භයානක සෞඛ්‍ය ගැටළු නිසාවෙන් පවා මේ මස්පිඩු පෙරළීමේ තත්ත්වයන් ඇති වෙනවා. ඒ හැරුණාම ගර්භනී මවකට මස්පිඩු පෙරළීම ගර්භනී සමයේදී ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ හේතු කාරණා අනුව එය එතරම් සුළුවට ගත යුතු තත්ත්වයක් නොවන බවත් ඔබට වැටෙහෙනවා ඇති. කොහොමනමුත් අද අපි ඔබට කියන්නේ මේ පීඩාකාරී තත්ත්වය සමනය කරගන්නට සිදු කරන්නට හැකි දේවල් මොනවාද යන්න පිළිබඳවයි.
මස්පිඩු පෙරලීමකදී යථා තත්ත්වයට පත්කර ගැනීමට කළ හැකි පිළියම්

- කෙසෙල් ගෙඩියක් ආහාරයට ගෙන ජලය වීදුරුවක් පානය කරන්න. එමගින් පොටෑසියම් හා කැල්සියම් ලැබෙනවා වගේම විජලන තත්ත්වයන් ද සමනය කරගන්නට පුළුවන්.
- කකුල ඇද මත දිගහැර පාද පතුල් ඉදිරියට හා පසුපසට නැමිය යුතුයි. එවිට පාදය ආශ්‍රිත මස් පිඩු පෙරළීමක් යථා තත්ත්වයට පත්කර ගන්නට හැකියි.
- මාංශ පේශී සම්බාහනය කිරීම
- මාංශපේශී ලිහිල් කිරීමට උණුසුම් ජලය හෝ අයිස් කැට භාවිතා කරන්න. අයිස් කැට රෙදි කැබැල්ලක දවටා ගෙන භාවිතයට ගන්න.
- ලුණු තේ හැදි ½ ක් සහ සීනි තේ හැදි 2-3 ක් සමඟ දෙහි යුෂ මිශ්‍රකර පානය කරන්න. යම් විටෙක සිරුරේ සෝඩියම් අඩුවීම නිසා ඇතිවූ මස් පිඩු පෙරලීමක් නම් මෙය පානයෙන් ඉතා ඉක්මනින් ඒ තත්ත්වය යථා තත්ත්වයට පත් කරගන්නට හැකියි.
- නින්දට යාමට පෙර උණුසුම් ජලයෙන් පාද තැවීම. එමගින් නින්දේදී පාද ආශ්‍රිතව ඇතිවන මස්පිඩු පෙරලීම වළක්වා ගන්නට ඔබට පුළුවන්.
මස්පිඩු පෙරලීම සුවයට අත් බෙහෙතක්
- දිය ලුණු
- පැසුණු ගස්ලබු
- පරණ ගොරකා
- ජලය
ගොරකා අඹරාගෙන එය රෙදි කැබැල්ලක් ගෙන පොට්ටනියක් ලෙස සකසා ගෙන රෙදිකඩක් ජලය සහිත මුට්ටියක බැඳ විනාඩි 10 ක් පමණ හුමාලයෙන් තම්බා ගන්න.
ලුණු ජලයට එකතු කර දියකර පසෙකින් තබන්න.
මදක් පැසුණු ගස්ලබු කැබලි ජලය ස්වල්පයක් එකතු කර බ්ලෙන්ඩර් කරගන්න.
මුලින්ම ජලයේ දියකරගත් ලුණු ජලය මස්පිඩු පෙරළුණු ප්‍රදේශයේ ආලේප කරන්න. පසුව තම්බා ගත් ගොරකා පොට්ටනිය මද රස්නයෙන් ඒ අදාළ ප්‍රදේශය තවාගන්න. ඉන්පසුව අඹරා ගත් ගස්ලබු අදාළ ප්‍රදේශයේ ආලේප කරන්න. මෙය මස්පිඩු පෙරළීම සුව කරගන්නට සිදු කළ හැකි අත් බෙහෙතක්.
මස් පිඩු පෙරළීම ඇතිවීම වළක්වා ගන්නට උපදෙස්

- මැග්නීසියම් බහුලව අඩංගු ආහාර ගැනීම දිනකට අප ගත යුතු මැග්නීසියම් ප්‍රමාණය මිලි ග්රෑම් 400 ක් වෙනවා. ඒ ප්‍රමාණය අඩුවීම මස්පිඩු පෙරළීමට හේතුවක් වන නිසා මැග්නීසියම් බහුලව අඩංගු වෙන නිවිති, වට්ටක්කා, කොමඩු ඇට, යෝගට්, ආමන්ඩ්, කව්පි, අලි පේර , කළු චොක්ලට් සහ කෙසෙල් ආදිය ගත යුතු වෙනවා. ඒ නිසා කෙණ්ඩ පෙරළීම සමනය කර ගන්නට මේ ආහාර වැඩිපුර ආහාරයට එකතු කර ගැනීමෙන් පුළුවන්.
- මාංශපේශීවල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය සෝඩියම්, කැල්සියම් ආදී ඛනිජ ලවණ ශරීරයට බලපාන ආහාර ආහාරවේලට එකතු කර ගැනීම.
- B කාණ්ඩයේ විටමින් ඌණතාව මගහැර ගන්නට අවශ්‍ය ආහාර ලබා ගැනීම.
- ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම
- නිසි පරිදි ව්‍යායාම් කිරීම
- ක්‍රීඩා කිරීමට පෙර හා පසු මාංශ පේශී ඇදීමේ ව්‍යායාම්වල නිරත වීම
- නිවැරදි ඉරියව් භාවිතය
- සතියකට වරක්වත් හැකි නම් පිහිනීම ආදී ව්‍යායාමයක නිරත වීම
- අඩි උස පාවහන් භාවිතයෙන් වැළකීම
- මත්පැන් පානයෙන් වැළකීම
- කැෆේන් අඩංගු ආහාර අවම කිරීම
- දිගු වේලාවක් සිටගෙන හෝ ඉඳගෙන සිටීමෙන් වළකින්න. යම් කාලයක් ගතවීමෙන් පසුව තමන් සිටි ඉරියව්ව වෙනස් කර විවේකයක් ලබා ගන්න.
- දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධවලට නිසි ප්‍රතිකාර ලබා ගැනීම
මේ මස් පිඩු පෙරළීම සිදුවන විට රුධිර ගමනය අඩාල වීම, ක්ලාන්තය ඇතිවීම, ශරීරය අප්‍රාණික වීම ආදී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසාවෙන් මේ තත්ත්වය ඇතිවෙන්නට හැකි හේතු පාලනය කිරීමත් එවැනි අවස්ථාවක කළ හැකි පිළියම් දැන සිටීමත් අතිශයින්ම වැදගත්. නමුත් නිතර නිතර මස්පිඩු පෙරළීම ඇති වන්නේ නම් එවැනි තත්ත්වයක් යථා තත්ත්වයට පත් වන්නට බොහෝ වේලාවක් ගත වන්නේ නම් ඔබ වෛද්‍ය උපදෙස් ලබාගන්න.