ආහාරවේල සමබල පෝෂ්‍යාදායි ආහාරවේලක් වන්නට නම් එයට පලාවක් එකතු කර ගත යුතු බව අපි දන්නවා. ඉතින් ගමේ රසට කන්නට ආසා අයට ගුණදායක ආහාරයක් ගන්නට කැමති අයට තමන්ගේ බත් පත රස කර ගන්නට එකතු කර ගන්නට හැකි විවිධ කොළ වර්ග තියෙනවා. නමුත් අද අප බොහෝදෙනෙක් ආහාරයට ගන්නේ ගොටුකොළ මුකුණුවැන්න ආදී එකම පලාවන්. නමුත් ඉතා රසවත් ගුණවත් පලා වර්ග බොහොමයක් අපිට ආහාරයට එකතු කර ගන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ හරි අපූරු පලාවක් ගැන තමයි අපි කියන්න යන්නේ. ඒ තමයි මුස්සැන්ද. මුස්සැන්ද කියන්නේ ඉතා වටිනා ඔසු පැලයක් වගේම රසවත් ගුණවත් පලාවක්. ඒ විතරක් නෙවෙයි මේ මුස්සැන්ද පැලය ගෙවත්තට අලංකාරයක් ද ගෙන දෙනවා. ඒ නිසා එය විසිතුරු පැලයක් විදියටත් ගෙවත්තේ සිටුවා ගන්නට පුළුවන්.
මේ මුස්සැන්ද ශාකය වෙල් බුත්සරණ යන නාමයෙන් ද හඳුන්වනවා. බහු වාර්ෂික ශාකයක් වන මේ ශාකය මීටර් 2 ක් පමණ උසකින් යුක්ත වෙනවා. පත්‍ර මදක් ඕවලාකාර හැඩයකින් සමන්විතයි. පත්‍ර මතුපිට වගේම කොළ පැහැයෙන් හට ගන්නා බීජවලත් සියුම් බූවක් දකින්නට පුළුවන්. මේ ශාකය පඳුරක් ලෙස දැක ගන්නට හැකි අතර ඒ ශාකයේ දීප්තිමත් තැඹිලි පැහැයෙන් යුත් මල් හටගන්නවා. මේ ශාකයේ මණිපත්‍ර සුදු පැහැයකින් දකින්නට පුළුවන්. මේ මුස්සැන්ද ශාකයේ කොළ, මල් , මුල්, ඇට ආදී සියල්ලම ඖෂධ සඳහා භාවිතා කරනු ලබනවා.
මේ මුස්සැන්ද දළු සම්බෝලයක් විදියට, මැල්ලුමක් විදියට ඖෂධයක් විදියටත් භාවිතයට ගැනෙනවා. ඒ විතරක් නෙවෙයි කොළ කැඳ සකස් කර ගන්නත් තේ වෙලාවට කෙටි කෑම සකස් කර ගන්නත් මේ මුස්සැන්ද කොළ භාවිතා කරන්නට පුළුවන්. කැඳ පිස ගැනීමේදී මුස්සැන්ද කොළ සමඟ වෙනත් කොළ එකතු කර පිස ගන්නත් හැකියාව තියෙනවා. මේ ශාකයේ සුදු පැහැ මණිපත්‍ර පොල්කිරි මිශ්‍ර සහල් පිටිවල තවරා තෙලෙන් බැද පපඩම් ලෙස ආහාරයට ගන්නත් පුළුවන්.
මුස්සැන්ද දළු ආහාරයට ගැනීමෙන් දේහයට ලැබෙන ප්‍රතිලාභ

- කැස්ස, ඇදුම, ස්වසන අපහසුතා ආදී ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා ගුණදායකයි.
- කුඩා දරුවන්ගේ ධාරණ ශක්තිය වඩවයි.
- සිරුරේ දාහය නසාලයි.
- ක්ෂය රෝගය සඳහා ගුණදායකයි.
- ලේ වඩවයි.
- ඇස් රෝග දුරලයි.
- සෙංගමාල රෝගය සඳහා ගුණදායකයි.
- උදරාබාධ සඳහා ගුණදායකයි.
- උණ රෝග සඳහා සුදුසුයි.
- පාණ්ඩු රෝගය සුවකරයි.
- සනායු රෝග සඳහා ගුණදායකයි.
- මුත්‍රාකාරක ගුණයෙන් යුක්තයි.
- වණ, කල්ගත වූ තුවාල සුව කිරීමට සුදුසුයි.
- ක්ලාන්තය සඳහා සුව සලසයි.
- පිපාසය නසාලයි.
- මලබද්ධය දුරලයි.
- මකුළු දෂ්ට කිරීම සඳහා සුදුසුයි.
- සුදු ලාදුරු රෝගයට සුව සලසයි.
- උන්මාදය රෝගය සඳහා ගුණදායකයි.
- සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
මුස්සැන්ද ශාකයේ ඖෂධීය භාවිතයන්
- සෙංගමාලය සඳහා මුස්සැන්ද ශාකයේ කොළවලින් කැඳ පිස කිතුල් හකුරු සමඟ පානයට ලබා දෙනවා.
- දිවි මකුළුවන් දෂ්ඨ කිරීමකදී සම්පූර්ණ මුස්සැන්ද ශාකයම වණයේ කොටා ලබා ගත් යුෂ දින 3 උදෑසන පානයට ලබා දෙනවා. ඒ යුෂ ලබාගෙන ඉතිරි වූ රොඩු මලවා මකුළුවා දෂ්ට කළ ස්ථානයේ තබා බැඳීමත් සිදු කරනවා.
මුස්සැන්ද දළු සම්බෝලය සකසා ගන්නා ආකාරය

- මුස්සැන්ද දළු කෝප්ප 1
- ගා ගත් පොල් කෝප ½
- ලියාගත් රතු ළූණු ගෙඩි 2
- කපාගත් අමු මිරිස් කරල් 2
- උම්බලකඩ මිටක්
- ලුණු අවශ්‍ය පමණට
- දෙහි බෑයක යුෂ
සාදා ගන්නා ආකාරය මුස්සැන්ද දළු සෝදා වතුර ඉවත් වූ පසුව සිහින්ව ලියා ගන්න. ඉන්පසුව පොල්, ළූණු අමු මිරිස් ආදී සියල්ල ඒ සමඟ මිශ්‍රකර අවශ්‍ය පදමට දෙහි හා ලුණු එකතු කර ගන්න.
මුස්සැන්ද කොළ කැඳ සාදා ගන්නා අකාරය
අවශ්‍ය ද්‍රව්‍ය
- ළපටි මුස්සැන්ද කොළ
- අඹරා ගත් රතු සහල් මිටක්
- සුදු ළූණු බික් 3-4 ක්
- රතු ළූණු ගෙඩි 3 ක්
- ගම්මිරිස් කුඩු
- ලුණු කුඩු
- පොල්කිරි කෝප්ප 1
- සූදුරු ඇට 2-3 ක්
සාදා ගන්නා ආකාරය මුලින්ම කපාගත් රතු ළූණු, සුදු ළූණු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, සූදුරු එකතු කර සෝදාගත් සහල් බෙරි වනතුරු තම්බා ගන්න. ගා ගත් පොල් ටිකක් සමඟ මුස්සැන්ද පත්‍ර කොටා උණුසුම් ජලය කෝප්ප ½ ක් එකතු කර යුෂ පෙරා ගන්න.ඒ යුෂ පොල්කිරි කෝප්පය සමඟ මිශ්‍රකර තම්බාගත් බත්වලට එකතු කර පිස ගෙන මද උණුසුමින් පානය කරන්න.
ඉතින් අපිට අමතක වෙලා ගියපු තවත් රසවත් පැලෑටියක් වන මුස්සැන්ද ඔබේ ගෙවත්තේ තිබේ නම් ඔබේ ආහාරවේලට එකතු කර ගන්නට නම් අමතක කරන්න එපා.