හැදෙන්න පුළුවන් ඕනෑම පිළිකාවක් දැන්ම පාලනය කර හැකි අබ ඇට සතු ගුණ 24ක්

health tips

විවිධ රටවල්වලට ආවේණික වන ආහාර සංස්කෘතියක් තියෙනවා. අපේ රටේ රටට ආවේණික වුණු ආහාර රටාව තුළ කුළු බඩුවලට සුවිශේෂි ස්ථානයක් හිමි වෙනවා. කුළුබඩු කියලා කියන්නේ ආහාර රස ගන්වන්නට විතරක් නෙවෙයි සෞඛ්‍ය ප්‍රතිලාභ බොහොමයක්ම ලබා දෙන්නට සමත් වෙන වටිනා ඖෂධයන්.  බොහෝ කුළුබඩු අතරින් අබ කියලා කියන්නේ ඔබ  අපි හැමෝම නිතරම භාවිතයට ගන්නා කුළු බඩුවක්. 

වැඩිපුරම අබ ඇට භාවිතයට ගත්තත් අබ කොළ වගේම අබතෙල් පවා විවිධ අවස්ථාවල පරිභෝජනයට  ගන්නවා.  විශේෂයෙන්ම අබ තෙල් ආහාර පිසීමේදීත්  භාවිතයට ගන්නවා. දෙමළ ජාතිකයන්  වැඩි වශයෙන්ම  භාවිතයට ගන්නා මේ අබ පැලය ඈත අතීතයේ සිටම දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඖෂධීය පැලෑටියක්  විදිහට භාවිතා කර ඇති බව සඳහන් වෙනවා.

එදා  ගැමි ජනතාවත්  අබ වර්ග කිහිපයක්ම වගා කර ඇති බව තමයි සඳහන් වෙන්නේ. ඒවා නම් එළ අබ, කළු අබ සහ අතු අබ වශයෙන්. 

 අබ ශාකයට ගැඹුරු මූල පද්ධතියක් නැහැ. කදේ හැටියට පත්‍ර විශාලයි. පත්‍ර දාර සහිතයි. මේ පැළෑටියක ආයු කාලය වසරක් පමණ වෙනවා. සාමාන්‍යයෙන් මාස හයක් පමණ ගත වූ පසු කහ පැහැ මල් හටගෙන ඒවා පරාගණයෙන්  බීජ හටගන්නවා.කුඩා කරල් තුළ හට ගන්නවා බීජ කරල් මෝරපු  විටම නෙලාගත යුතුයි. නැත්නම් කරල පුපුරා බීජ විසිරී යනවා. 

මේ අබ ඈත අතීතයේ ඉඳලම භාවිතයට ගත්තු ඖෂධයක් විදියට සලකන්නට පුළුවන්. පොස්පරස්, යකඩ, තන්තු, සින්ක්, මැග්නීසියම්, කැල්සියම් වගේම ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත අබවල  සිස්ටීන් නම් ඇමයිනෝ අම්ලයක් පවා අඩංගු වෙනවා. අච්චාරු ආදිය පිළියෙල කිරීමේදී නැතුවම බැරි අබ බොහෝ වේලාවට ආහාර කල්තබා ගන්නා ද්‍රව්‍යයක් විදිහටත් භාවිතයට ගන්නවා.

 ඒ විතරක් නෙවෙයි  රූපලාවන්‍ය කටයුතුවලදී අබතෙල්වලට ප්‍රධාන ස්ථානයක් හිමි වෙනවා. අබ කුඩු  ආහාර මතට ඉසීමෙන් මැස්සන්ගෙන් ආහාර සුරක්ෂිත කරගන්න පුළුවන්.  ඒ වගේම පොල් තෙල්වල මුඩු ගතිය නැති කර ගන්න වතුර සහ අබ දමා රන්වන් පැහැ වනතුරු බැද ගැනීමත් ගෘහණියන් අතර ප්‍රචලිතයි. ඒ විතරක් නෙමෙයි පුළුස්සා ගත් පොල් සමග අබ එකතුකර සාදා ගන්නා පොල් සම්බෝලයත්  ගුණයෙන් ඉතාම ඉහළයි.

අබ ඇට ආහාරයට එකතු කර ගැනීමෙන් අපේ ශරීරයට ලැබෙන වාසි ගැන අපි මුලින්ම සලකා බලමු.

  • සමේ දැවිල්ල, ආසාත්මිකතා ඇතුළු සමේ රෝගවලට ගුණදායකයි.ආර්තවහරණයේ රෝග ලක්ෂණ සමනයට උදව් වෙනවා. 
  • ආර්තවහරණයේදී ඊස්ට්‍රජන් මට්ටම අඩුවීම නිසා අස්ථිවල ස්කන්ධය අඩු වීම වළක්වා ගන්නට අබ ඇටවල අඩංගු වෙන අධික කැල්සියම් සහ මැග්නීසියම් ප්‍රමාණය හේතු වෙනවා.
  • ශරීරයේ පරිවෘත්තීය  ක්‍රියාවලිය වැඩි දියුණු කරනවා.
  • ආහාර මාර්ගයේ රෝග තත්ත්වයන් සුවපත් කරමින් ආහාර ජීර්ණය වර්ධනය කරනවා.
  • පිළිකා ඇතිවීම වළක්වනවා. අබ ඇටවල ග්ලූකොසිනොලේට්  සහ මයිරොසිනේස් එන්සයිම අඩංගු වන නිසාවෙන් එය බඩවැල් සහ අනිකුත් ආමාශ ආන්ත්‍රික පිළිකා සෛල වර්ධනය වීම වළක්වනවා.
  • මැග්නීසියම්වලින් පොහොසත්  නිසා ඇදුම රෝගීන්ට ගුණදායකයි.
  • රුමැටොයිඩ්  ආතරයිටීස්වල  බරපතළ බව අඩු කරන්නට උපකාර වෙනවා.
  • රුධිර පීඩනය යහපත්ව තබා ගන්නට උපකාරී වෙනවා.
  • ආර්තවහරණයෙන් පෙළෙන කාන්තාවන්ට   සුවදායි නින්දක් ලබා ගන්නට  උපකාරී වෙනවා.
  • ඉරුවාරදය ඇතිවීමේ වාර ගණන අඩු කරනවා.
  • හදවත් සෞඛ්‍ය නිරෝගී කරනවා.
  • මව් කිරි වඩවනවා.
  • සෙම නැසීමේ ගුණයෙන් යුක්තයි.
  • ලේ වඩවනවා. 
  • හිසේ කැක්කුමට හිසේ බර ගතියට ගුණදායකයි. මෙහිදී අබ ඇට ඇල්දියෙන් අඹරා පැලැස්තරයක්  නළලේ  යෙදීම සිදු කරනු ලබනවා.
  • දත් කැක්කුමට ප්‍රතිකාර වශයෙන් භාවිතා කරනවා.
  • මාංශ පේශිවල වේදනාවන් අඩු කරනවා.
  • ශරීරයේ විෂ ඉවත් කර ශරීරය පිරිසුදු කරනවා.
  • පණුවන් සහ අනෙකුත් බැක්ටීරියා ආසාදනවලින් ඔබව ආරක්ෂා කරනවා. 
  • සෙම්ප්‍රතිශ්‍යාව, සයිනස් ගැටලු ඇතුළු ශ්වසන ආබාධවලට සහනය සලසනවා.
  • කුසගින්න වඩවනවා. 
  • කුෂ්ඨ රෝග දැවිලි ගතිය සුව කරන්නට දායක වෙනවා.
  • අබ කුඩු ජලයේ දියකර දීමෙන්  වමනය ඇති කරනවා. 

 අබ තෙල්

  • අබ තෙල් උෂ්ණ ගතියෙන් යුක්තයි.
  • මල බද්ධය දුරු කරනවා.
  • කුෂ්ඨ රෝග සහ පණු රෝගවලට සුවය සදනවා.
  • බැක්ටීරියා නාශක ගුණවලින් සමන්විතයි.
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. 
  • තරබාරුවෙන් පෙළෙන අයට අබ තෙලින් පිසූ ආහාර ගුණදායකයි.
  • අබ තෙල් අත්වල සහ පාදවල ගැල්වීමෙන් අස්ථි  ශක්තිමත් කරගන්න පුළුවන්. සම මෘදු බවට පත් කරගන්නත් පුළුවන්.

අබ තෙල් කල්ක බෙහෙත් ආදිය සෑදීමේ දී භාවිතයට ගැනෙනවා. සිද්ධාර්ථ තෛලය එවැන්නක්. සිද්ධාර්ථ  තෛලය සකස් කිරීම සඳහා භාවිතා කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නේ අබ . 

අබ කොළ 

අබ කොළවල ප්‍රෝටීන්, මේදය, කැල්සියම්, පොස්පරස්, යකඩ, ෆෝලික් අම්ලය, විටමින් ඒ, සී, කේ, ඊ ප්‍රතිඔක්සිකාරක අසංතෘප්ත ඔමේගා 3 මේද අම්ල සහ තන්තු  ආදි පෝෂක අඩංගු වෙනවා.

  • අහිතකර කොළෙස්ටරෝල් ඉවත් කරනවා.
  • හදවත් රෝග්වලින් රැකවරණය ලබා දෙනවා.
  • පිළිකා සෛල වර්ධනය වළක්වනවා.
  • ආහාර රුචිය වඩවනවා.
  • ආමාශයික යුෂ නිෂ්පාදනය උත්තේජනය කරනවා.
  • සමේ රෝග නැසීමේ ගුණයෙන් යුක්තයි. 

අබ කොළ සම්බෝලය සකසා ගන්නා ආකාරය

කොම්පෝස්ට් ආදිය එකතු කර පස සකසාගෙන එයට තරමක් තුනීවට අබ ස්වල්පයක් වපුරා අවශ්‍ය පමණට ජලය යොදා ගැනීමෙන් අබ වගා කරන්නට පුළුවන්. විශේෂයෙන්යෙන් නිවසේ සිටින ගෘහණියක් ගෘහණියන්ට අබ කොළ සම්බෝල සඳහා භාවිතා කරන්නට කුඩා ඉඩක මේ විදිහට අබ වපුරන්නට පුළුවන්. මාසයක් පමණ ගතවුණාට පසුව සාමාන්‍ය පලාවලට වැඩිය වෙනස් වූ ආකාරයෙන් සුවඳින් ඉතාම වැඩි ආහාර රුචිය වර්ධනය කරන ඉතාම ගුණවත් රසවත් සම්බෝලයක් සකස් කරගන්නට පුළුවන්.

 අවශ්‍ය ද්‍රව්‍ය

  • ළපටි අබ කොළ
  • සිහින්ව ලියා ගත් රතු ළූණු ගෙඩි 6 ක්
  • සිහින්ව ලියා ගත් අමු මිරිස් කරල් 3 ක්
  • ගා ගත් පොල්
  •  අවශ්‍ය පමණට ලුණු සහ දෙහි

 සෝදා පිරිසිදු කරගත් අබ කොළ සිහින්ව ලියා පසෙකින් තබා ගන්න. පසුව ගා ගත් පොල්වලට ළූණු අමු මිරිස් ලුණු දෙහි ආදිය එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසුව එයට ලියාගත් අබ කොල එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන රස බලන්න.

සැලකිලිමත් විය යුතු කරුණු

 තම්බා නොගත් අබ ඇටවල තයිරොයිඩ් ග්‍රන්ථියට අහිතකර සංඝටක පවතින නිසා තයිරොයිඩ් ග්‍රන්ථියේ   ගැටළු ඇති අය අබ  ආහාරයට ගැනීමේදීත් සැලකිලිමත් වෙන්න.

 අබ ඇටවල කැල්සියම් අවශෝෂණයට බාධා කරන ඔක්සලේට් අඩංගු වන නිසා වකුගඩු ගල් සෑදීමේ ප්‍රවණතාවක් සහිත පුද්ගලයන් පවා අබ ඇටවලින් සාදන නිෂ්පාදන පරිභෝජනය එතරම් සුදුසු නැහැ. 

බඩදැවිල්ල, ආමාශගත තුවාල සහ අමිල පිත්ත රෝගයෙන් පෙළෙන අයත් අබ ඇට පරිභෝජනයේදී සැලකිලිමත් වීම වැදගත්.