යම් රෝගයක් වැළදුණාම එහි බරපතලකම හරිහැටි නොදැන එය එතරම්ම සැලකිල්ලට නොගැනීම වගේම එය සුවපත් කළ නොහැකි යැයි රෝගීයා විසින් තීරණය කිරීමත් නිසා රෝගය සඟවා ගෙන සිටින පිරිස් අපි අතරෙ ඉන්නවා. ඒ වගේ බහුතරයක් දෙනා සුව කරන්නට බැහැ කියලා අනියත බියක් ඇති කරගත්තු රෝගයක් තමයි ලාදුරු කියන්නෙ. මේ නිසා ගොඩක් රෝගීන් සැඟවී සිටිනවා. ඒ වගේම හඳුනා නොගත් ලාදුරු රෝගීන් පවා සමාජයේ බහුලයි. නමුත් මේ රෝගය කල්තියා හඳුනා ගත්තොත් සුවපත් කරගන්නා එක අපහසු නැහැ. එනිසා හරියටම ලාදුරු රෝගය හඳුනා ගන්නට හැකි ලක්ෂණ ගැන අපි හැමෝම දැනගන්නා එක හරිම වැදගත්.
ලාදුරු රෝගය ඇති වෙන්නේ Mycobacterium leprae නම් බැක්ටීරියාවක් මගින්. නමුත් ලාදුරු රෝගය ඇති කරවන බැක්ටීරියාව මුලින්ම මිනිස් ශරීරයට පැමිණියේ කෙසේ ද යන්න නම් තවමත් සොයාගෙන නැහැ. කොහොමනමුත් මේ බැක්ටීරියාව මගින් ඇතිවන මෙය නිදන්ගත රෝගයක් ලෙසටයි සලකනු ලබන්නේ. එය සමට වගේම පර්යන්ත ස්නායු පද්ධතියටම බලපෑම් කරන්නට සමත්.මේ රෝගය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනු ලබනවා.

බෝ වන ලාදුරු -මේ තත්ත්වයේදී දැනීම් නොමැති ලප 5 ට වැඩි ගණනක් ශරීරයේ තැනින් තැන ඇතිවීම පර්යන්ත ස්නායු දෙකක් හෝ ඊට වැඩි ගණනක් ආසාදනය වී තිබීමත් දැකිය හැකියි.සමේ ඕනෑම ස්ථානයක පරීක්ෂණයක් සිදු කළොත් ඒ ඕනෑම ස්ථානයකින් බැක්ටීරියාවක් හමුවිය හැකියි.
බෝ නොවන ලාදුරු සමේ කිසිදු ස්ථානයකින් බැක්ටීරියාව හමු නොවන අතර පර්යන්ත ස්නායු එකක් ආසාදනයට ලක්විය හැකියි. දැනීම් නොමැති ලප 1-5 සීමාවේ පවතින්නට හැකියි.
මේ ලාදුරු රෝගය ප්‍රවෙණිගත රෝගයක් නොවන නමුත් රෝගයෙකු සිටින පවුලේ වෙනත් සාමාජිකයෙකුට මේ රෝගය වැළදීමේ ඉඩකඩ පවතිනවා. විශේෂයෙන්ම මේ බැක්ටීරියාව ශරීරගත වී කෙටි කාලයකින් රෝග ලක්ෂණ මතුවෙන්නේ නැහැ. බිජෞෂණ සමය අවුරුදු 4 හෝ 5 වගේ දීර්ඝ කාලයක් වෙන්නත් පුළුවන්. මේ ලාදුරු ව්‍යාප්ත වෙන්නේ ස්වසන මාර්ගයෙන් නිකුත් වෙන ආසාදිත කෙළ බිදිති සෙම බිදිති මගින්.
මෙහි මතක තබාගත යුතු විශේෂම කාරණය තමයි ජනගහනයෙන් බහුතරයකට විෂබීජ ශරීරගත වී තිබුණත් රෝගයට ගොදුරු වන්නේ ඔවුන්ගෙන් 10% ක් ප්‍රමාණයක් වීමයි. මේ රෝගයේදී ඇති වෙන එකම මූලිකම රෝග ලක්ෂණය වෙන්නේ ශරීරයේ ඇතිවන ලපයක් පමණයි. ඒ ලපය වුණත් හඳුනා ගන්නට හැකියාවක් නොලැබුණොත් වසර තුනකින් පසුව ස්නායු ආබාධ ඇති වෙන්නට පුළුවන්. එවැනි තත්ත්වයකදී මුලින්ම ඇඟිලි හිරිවැටීමක් තමයි සිදු වෙන්නේ. වයසට යාමත් සමඟ හෝ වෙනත් රෝගවලින් පීඩා විඳින කෙනෙක් නම් මේ රෝග ලක්ෂණය පිළිබඳව එතරම් තැකීමක් කරන්නේ නැහැ.
නමුත් ලාදුරු සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගියෙකුගෙන් තවත් අයෙකුට රෝගය බෝ වෙන්නේ නැහැ . ඒ වගේම ගර්භනී මවක් මේ රෝගයට ගොදුරු වුණොත් කුස තුළ සිටින දරුවාට රෝගය වැළදීමක් වන්නේ නැහැ.
ලාදුරු රෝගියෙකුට බැක්ටීරියාව වැඩි වශයෙන් ශරීරගත වුණොත් එය නිට්ටාවටම සුවපත් කරන්නට අඛණ්ඩව වසරක කාලයක් ද බැක්ටීරියා අඩුවෙන් ශරීරගත වූ රෝගියෙක්ට මාස 6 ක කාලයක් ද ප්‍රතිකාර ලබා ගන්නට සිදු වෙනවා.
මේ රෝගයට වැඩි වශයෙන් ළමුන් ගොදුරු වන අතර එයිනුත් වැඩි ප්‍රතිශතය වයස අවුරුදු 10-14 අතර සිටින ළමුන් වීම ඉතා භයානක තත්ත්වයක්. ඒ හැරුණාම ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයෙකුට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මේ ලාදුරු රෝගය ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ රෝගය නිවැරදිව හඳුනා ගැනීම ඉතා වැදගත්.
ලාදුරු රෝගයේ රෝග ලක්ෂණ

හැඟීම් දැනීම් නොමැති වියළි බවක් සහිත ලප මේ ලාදුරු රෝගය හඳුනා ගන්නට හැකි එකම ලක්ෂණය වන්නේ ශරීරයේ ඇතිවන හැඟීම් දැනීම් නැති ලපයක් හෝ කිපයක්. මේ ලපය අළුහම් ලපයේ ස්වභාවයක් ගන්නවා. නමුත් අලුහම් මෙන් ලප රැසක් ඇතිවීම හෝ ඉතා ඉක්මනින් පැතිරීම මෙහිදී සිදු වෙන්නේ නැහැ.මේ ලපය සමේ පාටට වඩා අඩු පැහැයක් හෝ තද පැහැයක් ගන්නට පුළුවන්.ඇතැම් විට පැතලි ලපයක් හෝ නෙරා පැමිණි බිබිලක් වැනි ලපයක් ලෙසටත් මෙය ඇති වෙන්නට පුළුවන්. මුහුණේ එක් පැත්තක හෝ දෙපැත්තේම, වැළමිට පිටුපස, පාදවල හෝ පිට ප්‍රදේශයේ හෝ ශරීරයේ වෙනත් ඕනෑම ස්ථානයකම ඇති වෙන්නට පුළුවන්.
සමේ පැහැයෙන් හෝ රතු පැහැයෙන් ඇතිවන පලු හෝ ගැටිති මේ ලප මතුපිට සංවේදනය (දැනීම ) සාමාන්‍ය තත්ත්වයේ පවතින්නට හැකියි.නමුත් මෙය ඇති කරන බැක්ටීරියාවෙන් ඒ ලපය මැද ඇති ස්නායු මරාදමන නිසාවෙන් ඒ ලපය මත දැනීමක් ඇති නොවෙන්නට ඉඩකඩ වැඩියි. ඒ වගේම ඒ ලපය ඇති ස්ථානවල රෝම කූප නැහැ. දාඩිය දමන්නේ නැහැ.
ඇස් බැමිවල රෝම ගැලවී යාම
නාසය අවහිරවීම
මෙවැනි රෝගීන්ගෙන් තව අයෙකුට රෝගය බෝ වීමේ හැකියාව ඉතා ඉහළයි.
- මුහුණේ සම ඝනවීම,කන්පෙතිවල ගැටිති ඇතිවීම
- නාසයේ පටක ඉදිමීම
- කටහඩ වෙනස් වීම
- නිතර නාසයෙන් දියර ගැලීම
- එක් අතක හෝ පාදයක හිරි ගතිය හෝ මස්පිඩු දුර්වල වීම
මේ ලාදුරු රෝගය උත්සන්න වුණාම ස්නායු ඝනවීම් ඇතිවෙලා එය අස්ථිවලටත් බලපානවා. ඇඟිලි වැටෙනවා .මාංශපේශීවලට සිදුවන බලපෑමෙන් මස්පිඩු විකෘති වෙලා විරුපී වෙනවා.අතපය පවා කොර වෙනවා . එනිසා මේ බරපතල තත්ත්ව ඇතිවීම වළක්වා ගන්නට මුල් කාලීනව රෝගය හඳුනා ගෙන ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.