ලාදුරු හැදීගෙන එනවිට පෙන්නුම් කරන රෝග ලක්ෂණ 9 ක්

health tips

බොහෝ අයට කාලයත් සමඟ අමතක වෙලා තියෙන නමුත් නැවතත් හිස ඔසවමින් තියෙන භයානක රෝගයක් තමයි ලාදුරු රෝගය. අපේ ශරීරයේ ඇතිවන සෑම ලපයක්ම ලාදුරු නොවුණත් එවැනි ලප පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා ලාදුරු රෝගය මගහැරී යන්නට පුළුවන්. අද බොහෝදෙනාට අමතකව ගියත් මේ රෝගය වසර 5000 ක් තරම් ඉතිහාසයක් ඇති රෝගයක්. ලන්දේසි පාලන කාලයේදී ලන්දේසි කුමාරයෙක් ලංකාවට ඇවිත් තියෙනවා. ඔහුට ලාදුරු රෝගය වැළදුණු නිසා ඒ කුමාරයා හුදකලා කර තියන්නට 1708 දී මුල්ගල තියලා හැඳල නගරයේ සුඛෝපභෝගී ගොඩනැගිල්ලක් පවා හදලා තියෙනවා. ඉන්පසුව මේ හැඳල රෝහලේ ලාදුරු රෝගීන් දහස් ගණන් ඉඳලා තියෙනවා. නමුත් ඇතුළට ගිය සැමදෙනාම ආයේ එළියට ඇවිත් තියෙන්නේ මළමිණී විදියට. ඉතින් ඉතාමත් අඳුරු ඉතිහාසයක් තමයි මේ ලාදුරු රෝගය පිළිබඳව අපිට අසන්නට ලැබෙන්නේ. ඒ නිසා අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ ඔබට මගහැරී යන්නට හැකි මේ ලාදුරු පිළිබඳවයි. 

ලාදුරු රෝගය 

ලාදුරු රෝගය ඇති වෙන්නේ  Mycobacterium leprae නම් බැක්ටීරියාවක් මගින්. නමුත් ලාදුරු රෝගය ඇති කරවන බැක්ටීරියාව මුලින්ම මිනිස් ශරීරයට පැමිණියේ කෙසේ ද යන්න නම් තවමත් සොයාගෙන නැහැ. කොහොමනමුත් මේ බැක්ටීරියාව මගින් ඇතිවන මෙය නිදන්ගත රෝගයක් ලෙසටයි සලකනු ලබන්නේ. එය සමට වගේම පර්යන්ත ස්නායු පද්ධතියටම බලපෑම් කරන්නට සමත්.මේ රෝගය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනු ලබනවා.

බෝ වන ලාදුරු මේ තත්ත්වයේදී දැනීම් නොමැති ලප 5 ට වැඩි ගණනක් ශරීරයේ තැනින් තැන ඇතිවීම පර්යන්ත ස්නායු දෙකක් හෝ ඊට වැඩි ගණනක් ආසාදනය වී තිබීමත් දැකිය හැකියි.සමේ ඕනෑම ස්ථානයක පරීක්ෂණයක් සිදු කළොත් ඒ ඕනෑම ස්ථානයකින් බැක්ටීරියාවක් හමුවිය හැකියි.

බෝ නොවන ලාදුරු සමේ කිසිදු ස්ථානයකින් බැක්ටීරියාව හමු නොවන අතර පර්යන්ත ස්නායු එකක් ආසාදනයට ලක්විය හැකියි. දැනීම් නොමැති ලප 1-5 සීමාවේ පවතින්නට හැකියි.මේ ලාදුරු රෝගය ප්‍රවෙණිගත රෝගයක් නොවන නමුත් රෝගයෙකු සිටින පවුලේ වෙනත් සාමාජිකයෙකුට මේ රෝගය වැළදීමේ ඉඩකඩ පවතිනවා.

මේ රෝගයට වැඩි වශයෙන් ළමුන් ගොදුරු වන අතර එයිනුත් වැඩි ප්‍රතිශතය වයස අවුරුදු 10-14 අතර සිටින ළමුන් වීම ඉතා භයානක තත්ත්වයක්. ඒ හැරුණාම ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයෙකුට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මේ ලාදුරු රෝගය ඇති වෙන්නට පුළුවන්. වැඩි වශයෙන් රෝගය ව්‍යාප්ත වුණු දිස්ත්‍රික්කවල කුඩා ඉඩකඩක වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් වාසය කිරීම, ඔවුන්ට මේ රෝගය ඇතිවීමේ වැඩි අවදානමක් පවතිනවා.

ලාදුරු ලපය  මේ ලාදුරු රෝගය හඳුනා ගන්නට හැකි එකම ලක්ෂණය වන්නේ ශරීරයේ ඇතිවන හැඟීම් දැනීම් නැති ලපයක් හෝ කිපයක්. මේ ලපය අළුහම් ලපයේ ස්වභාවයක් ගන්නවා.  නමුත් අලුහම් මෙන් ලප රැසක් ඇතිවීම හෝ ඉතා ඉක්මනින් පැතිරීම මෙහිදී සිදු වෙන්නේ නැහැ.මේ ලපය සමේ පාටට වඩා අඩු පැහැයක් හෝ තද පැහැයක් ගන්නට පුළුවන්.ඇතැම් විට පැතලි ලපයක් හෝ නෙරා පැමිණි බිබිලක් වැනි ලපයක් ලෙසටත් මෙය ඇති වෙන්නට පුළුවන්.මුහුණේ එක් පැත්තක හෝ දෙපැත්තේම, වැළමිට පිටුපස, පාදවල හෝ පිට ප්‍රදේශයේ හෝ ශරීරයේ වෙනත් ඕනෑම ස්ථානයකම ඇති වෙන්නට පුළුවන්.මෙය ඇති  කරන බැක්ටීරියාවෙන් ඒ ලපය මැද ඇති ස්නායු මරාදමන නිසාවෙන් ඒ ලපය මත දැනීමක් නැහැ.  ඒ ලපය ඇති ස්ථානවල රෝම කූප නැහැ. දාඩිය දමන්නේ නැහැ.

රෝගය බෝවන ආකාරය බෝවන වර්ගයේ ලාදුරු රෝගියෙකුගේ ස්වසන මාර්ගයේ ඇති විශබීජ සහිත බිඳිති කැස්ස, කිවිසුම් ආදී අවස්ථාවලදී තවත් අයෙකුගේ ස්වසන මාර්ගයට පිවිසීමෙන් මේ රෝගය නීරෝගී අයෙකුට බෝ වෙන්නට පුළුවන්.නමුත් ලාදුරු රෝගියෙක් ස්පර්ශ කිරීමෙන් මේ රෝගය බෝ වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම නිසි ලෙස ප්‍රතිකාර ලබා ගන්නා බෝවන වර්ගයේ අයෙකුගෙන් වුණත් අන් අයට රෝගය බෝවිමට හැකියාවක් නැහැ. 

මේ රෝගයේ විශේෂත්වය තමයි ලාදුරු රෝගියෙකු සමීපයේ සිටි නමුත් පසුදින ඒ පුද්ගලයාට ලාදුරු වැළදෙන්නේ නැහැ.මේ බැක්ටීරීයාව යම් විටෙක ශරීරගත වුණත් එහි රෝග ලක්ෂණ ඇති වෙන්නට අඩුම වසර දෙකක කාලයක්වත් ගත වෙනවා. මෙහි මතක තබාගත යුතු විශේෂම කාරණය තමයි ජනගහනයෙන් බහුතරයකට විෂබීජ ශරීරගත වී තිබුණත් රෝගයට ගොදුරු වන්නේ ඔවුන්ගෙන් 10% ක් ප්‍රමාණයක් වීමයි. මේ රෝගයේදී ඇති වෙන එකම මූලිකම රෝග ලක්ෂණය වෙන්නේ ශරීරයේ ඇතිවන ලපයක් පමණයි. ඒ ලපය වුණත් හඳුනා ගන්නට හැකියාවක් නොලැබුණොත් වසර තුනකින් පසුව ස්නායු ආබාධ ඇති වෙන්නට පුළුවන්. එවැනි තත්ත්වයකදී මුලින්ම ඇඟිලි හිරිවැටීමක් තමයි සිදු වෙන්නේ. වයසට යාමත් සමඟ හෝ වෙනත් රෝගවලින් පීඩා විඳින කෙනෙක් නම් මේ රෝග ලක්ෂණය පිළිබඳව එතරම් තැකීමක් කරන්නේ නැහැ. ඒ නිසා මේ රෝගය නිවැරදිව හඳුනා  ගැනීම ඉතා වැදගත්.

ලාදුරු රෝගයේ රෝග ලක්ෂණ 

  • හැඟීම් දැනීම් නොමැති වියළි බවක් සහිත ලප සමේ පැහැයෙන් හෝ රතු පැහැයෙන් ඇතිවන පලු හෝ ගැටිති 
  • මේ ලප මතුපිට සංවේදනය (දැනීම ) සාමාන්‍ය තත්ත්වයේ පවතින්නට හැකියි.
  • මුහුණේ සම ඝනවීම,කන්පෙතිවල ගැටිති ඇතිවීම 
  • ඇස් බැමිවල රෝම ගැලවී යාම 
  • නාසය අවහිරවීම 

මෙවැනි රෝගීන්ගෙන් තව අයෙකුට රෝගය බෝ වීමේ හැකියාව ඉතා ඉහළයි.

  • කටහඩ වෙනස් වීම 
  • නිතර නාසයෙන් දියර ගැලීම 
  • නාසයේ පටක ඉදිමීම 
  • එක් අතක හෝ පාදයක හිරි ගතිය හෝ මස්පිඩු දුර්වල වීම

ප්‍රතිකාර මේ රෝගය සුව කිරීම සඳහා ඖෂධ රජයේ රෝහල්වල පවතින නිසා මේ රෝග ලක්ෂණ පිළිබඳව ඇති විට පමා නොවී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු වෙනවා. මුල්කාලීනව මේ රෝගය හඳුනා ගැනීමෙන් නිසි ලෙස ඖෂධ ලබා ගැනීමත් මගින් මේ ලාදුරු රෝගය සුව කරගන්නට හැකියාව පවතිනවා. බෝ නොවන වර්ගයේ ලාදුරු රෝගියෙකුට ඖෂධ 2  ක් මාස 6 ක කාලයක් ද බෝ වන වර්ගයේ ලාදුරු සඳහා ඖෂධ වර්ග 3 ක් වසරක කාලයක් ද ලබාදෙනු ලබනවා. මේ ප්‍රතිකාර අතුරු ආබාධවලින් ඉතා අවම මට්ටමක පවතින නිසා ගැබිනි මව්වරුන්ට  කිරිදෙන මව්වරුන්ට පවා මේ ඖෂධ ලබා ගැනීම ආරක්ෂිත අතර ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර ලබා ගනිමින් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබෙනවා.