නියපොතු කාන්තා ඔබේ සෞඛ්‍ය වගේම සුන්දරත්වය කියාපාන කැඩපතක් වගේ. ලස්සන පිරිසුදු නිය කාන්තා ඔබට ආභරණයක්. නියපොතු ලස්සනට කපල පිරිසුදුවට තියාගන්න කවුද අකමැති . ඉක්මනින් කැඩීයාම, දුර්වර්ණ බව, වැවීමේ ප්‍රමාදය ආදී ගැටළු ඔබටත් නියපොතු සම්බන්ධයෙන් ඇති. මේ ගැටළු බොහොමයකටම හේතුව වෙන්නෙ නියපොතු නිවැරදිව පිරිසිදු වෙන්නේ නැතිකම සහ සත්කාර නොකිරීම. ඔයාම හිතල බලන්නකෝ ඔයාගේ නියපොතු හොඳින් පිරිසිදු කරනවද කියලා. ඔන්න අද අපි කියන්නේ ඔයාලගේ නියපොතු හරියටම පිරිසිදු කරන්නා ආකාරය සහ නිරෝගී නියපෙළක් සඳහා අනුගමනය කළ යුතු රහස්.

ලෙමන් යුෂ සහ සබන් වතුර භාවිතයෙන් නියපොතු පිරිසිදු කරගනිමු
ලෙමන් යුෂවල ඇති ආම්ලික බව නියපොතුවල ඇති දුර්වර්ණ බව ඉවත් කරලා හොඳින් නියපොතු පිරිසිදු කරනවා. මේ මිශ්‍රණය හදා ගන්නේ මෙහෙමයි.
ලෙමන් යුෂ කෝප්ප කාලක් (60 ml)
උණුසුම් ජලය මිලි ලීටර් 250 ක්
සාමාන්‍ය සබන් දියර තේ හැඳි දෙකක්
මුලින්ම ලෙමන් යුෂ ටිකට උණුසුම් ජලය එකතු කර හොඳින් දියකර ගන්න. එයට සාමාන්‍ය සබන් දියර තේ හැඳි දෙකත් එකතු කර ගන්න. මේ මිශ්‍රණය හොඳින් කලවම් කරගෙන ඔයාගේ ඇඟිලිතුඩු විනාඩි පහක පමණ කාලයක් මේ මිශ්‍රණයේ ගිල්වා ගෙන සිටින්න.
ඉන්පසු ගලායන ජලයෙන් මෘදු බුරුසුවකින් නියපොතු හොඳින් අතුල්ලා සෝදා පිරිසිදු කරගන්න.
පසුව ඔබේ නිය පිරිසුදු රෙදිකඩකින් වියළා ගන්න.
සැලකිලිමත් වෙන්න.
රූපලාවන්‍යාගාරවලදී හෝ නිවසේදී ඒ සඳහා විවිධ දික් වු තියුණු කුඩු සහිත උපකරණ භාවිතා කළත් එමගින් නියපොතු කොන් තුවාල වීමෙන් දිලීර ආසාදන ඇති වෙන්නට ඉඩකඩ තියෙනවා. ඒ නිසා නියපොතු පිරිසිදු කර ගැනීම සඳහා මෘදු කෙදි සහිත බුරුසුවක් භාවිතා කරන්නට පුළුවන්.
නියපොතු ලස්සනට කපාගනිමු.
නියපොතු දිගට වන්නට අදහසක් නැත්නම් සතියකට වරක්වත් නියපොතු ඔපමට්ටම් කරන්නට මතක තියාගන්න. ස්නානය කිරීමෙන් අනතුරුව හෝ නියපොතු ජලයේ පොඟවා ගැනීමෙන් අනතුරුව නියපොතු කපනවා නම් ඔබට අවශ්‍ය පිළිවෙලට ඉතා පහසුවෙන් කපාගන්න පුළුවන්. නියපොතු ගොඩක් දිගට වැවීමෙන් ඒ තුළ එක්රැස් වෙන කුණු දූවිලි වැඩි වෙලා නියපොතු අපිරිසිදු වෙනවා. කෙටි නියපොතු පෙළක් දෛනික යහපැවැත්මට වගේ නිරොගී බවටත් හේතුවක්.නියපොතු කැපීම සඳහා ඔබටම ආවේණික හැඩයක් තෝරා ගන්න. සියුම් උපකරණයක් භාවිතයෙන් නියපොතුවල දාර සුමටව තබා ගන්නත් උනන්දු වෙන්න.

නියපොතු ශක්තිමත් කර ගනිමු
නියපොතු කැපීමෙන් පසු එහෙමත් නැත්නම් ඔපමට්ටම් කළ පසුව ඒවා ශක්තිමත් කර ගන්නත් අපිට සත්කාරයක් කරන්නට වෙනවා. ඒක කරන්නේ මෙහෙමයි.
උණුසුම් ජලය කෝප්පයක්
ලෙමන් පෙති කිහිපයක්
ඔලිව් තෙල් බින්දු කිහිපයක්

මේ ද්‍රව්‍ය සියල්ල බඳුනකට දාලා හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු ඔබේ ඇඟිලි තුඩු ඒ ද්‍රාවණයේ ගිල්වා ගෙන විනාඩි 5ක් පමණ තබා ගන්න. මේ සත්කාරයෙන් ඔබේ නියපොතු ඉතා හොඳින් ශක්තිමත් වෙනවා වගේම දිලීර ආසාදන ආදියෙනුත් ආරක්ෂාව ලබා දෙනවා.
මොයිස්චර්යිසර් එකක් ආලේප කරමු.
ඔබට මේ සඳහා සුදුසු මොයිස්චරයිසර් එකක් වෙළදපොලෙන් මිලදී ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් නියපොතු පිරිසිදුකරගෙන පිරිසිදු පොල්තෙල් නියපොතුවල සහ නියමහේ ආලේප කිරීමත් සුදුසුයි.
නිය ආලේපන භාවිතයේදී සැලකිලිමත් වෙමු.
නියපොතු සඳහා භාවිතා කරන සෑම නිෂ්පාදනයක්ම ඉහළ ප්‍රමිතියකින් යුක්ත ඒවා වීම වැදගත්. විශේෂයෙන්ම ඇසිටෝන් රහිත නිය ආලේපන වර්ග භාවිතය වගේම ඒවායේ කල් ඉකුත් වූ දින ගැනත් වඩාත් සැලකිලිමත් වන්නට අවශ්‍යයයි.
විශේෂම කාරණය තමයි නිය ආලේපන වැඩි කාලයක් නියපොතුවල තිබීම නියපොතුවල ස්වභාවික වර්ණයට වගේම ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරනවා. ඒ නිසා දින 2 ක් ඇතුළත නිය ආලේපන ඉවත් කරන්නට වග බලා ගන්න.
නමුත් නේල් පොලිශ් රිමූවර අධික ලෙස භාවිතයත් නියපොතුවලට හානිකරයි. මේ nail polish remover තුළ ඇසිටෝන්, ඇල්කොහොල්, එතිල් ඇසිටේට් හෝ බියුටයිල් ඇසිටේට් ආදී රසායනික ද්‍රාවක අඩංගු වෙන නිසා ඒ සියල්ලක්ම නියපොතුවලට හානිකර වෙනවා.එමගින් නිපොතුවල එනැමලයට හානි වෙන නිසා අධිකව ඒවා භාවිතයෙන් මිදෙන්න.
සම්බාහනය කරමු.
නියපොතු සම්බාහනය මගින් ඉතා පහසුවෙන්ම නිය වර්ධනය කර ගන්නට පුළුවන්. සම්බාහනයේදී ඇඟිලි තුඩුවලට හොඳ රුධිර සැපයුමක් ලැබෙන නිසා එය නිය වර්ධනයට මෙය උදව්වක් වෙනවා. මේ සඳහා ක්රීම් වර්ගයක් හෝ පොල් තෙල් ඔබට භාවිතා කරන්නට පුළුවන්.
නියපොතු නිරෝගීව සහ අලංකාරව තියා ගන්නට මේ කරුණු කාරණා ඔබට වැදගත් වේවි.