නියපොතු මඟින් පෙන්නුම් කරන ඔබට වැළදී ඇති රෝග 14 ක්

health tips

අපි හැමෝම නීරෝගීව සිටින්නට කැමතියි. අපි අපේ ශරීරය නීරෝගීව තබා ගන්නට වැඩි වෙහෙසක් දරනවා. නමුත් අපේ යම් යම් නොසැලකිලිමත්කම් නිසා ඇතැම් රෝග බොහෝ දරුණු තත්ත්වයට පත්වෙන තුරු අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ ශරීරයේ යම් කොටස් ලෙඩ වෙන්නට කලින් හෝ ලෙඩ උග්‍ර වෙන්නට කලින් ඒ බව අපිට දැනුම් දෙන්නට මිනිස් සිරුරට අපූරු හැකියාවක් පවතිනවා. ඇතැම් විට සම හිසකෙස්,නියපොතු මගින් එවැනි අනතුරු ඇඟවීම් කරනවා. නමුත් ඒ පිළිබඳව අපි සැලකිලිමත් නොවීම තුළ දරුණු තත්ත්වයන් ඇති වෙනවා.විශේෂයෙන්ම නිය කියන්නේ අපේ ශරීරයේ සුළු අංගයක් විදියට සැලකීම නිසාම නියපොතුවල ඇතිවන යම් යම් ලක්ෂණ කෙරෙහි බොහොදෙනා උනන්දුවක් දක්වන්නේ නැහැ. එවැනි යම් වෙනස් පෙනුමක් දකින්නට ලැබුණත් ඒවා නිය ආලේපන ගල්වා ගෙන මකා ගන්නවා. නමුත් එවැනි ලක්ෂණ අපේ ශරීරයේ ගැටළු ගැන හඟවන ලක්ෂණ විය හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. මේ ලිපියෙන් අද කතා කරන්නේ නියපොතුවල ඇති වෙනස්කම් මගින් අපේ සෞඛ්‍ය ගැන කියවෙන ආකාරයයි.

සුදු පැහැ නිය (White Nails ) සුදු පැහැයට හැරුණු නියපොතු ඇති විට එය හෙපටයිටිස් වැනි අක්මාවේ යම්කිසි ප්‍රශ්නයක් හෝ දියවැඩියාව ආදී රෝගයන් ඇති බව හඟවන ලක්ෂණයක් විය හැකියි. 

කහ පැහැ නියපොතු Yellow Nails නියපොතු කහ පැහැයක් ගැනීම ශරීරයේ රෝග තත්ත්වයන් කිහිපයක් නිසාම ඇති වෙන්නට පුළුවන්. බොහෝවිට මෙවැනි තත්ත්වයක් දිලීර ආසාදනයක් නිසා හට ගන්නට පුළුවන්. ඒ හැරුණාම දියවැඩියාව පෙනහළු ආබාධ හෝ ත්‍රයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග තත්ත්වයක් නිසා ද මෙවැනි ලක්ෂණයක් ඇති වෙන්නට පුළුවන්. ඇතැම් විට මෙසේ නියපොතු කහ පැහැයක් ගැනීම දුම්පානය නිසාවෙන් පවා ඇති වෙන්නට පුළුවන්.

නිල් පැහැයක් සහිත නියපොතු Bluish Nails මෙවැනි පැහැයක් ඇති නියපොතුවලින් ශරීරයට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොලැබෙන බව පෙන්නුම් කරනු ලබනවා. මේ තත්ත්වය එම්පිසීමාව වගේ පෙනහළු ගැටලුවක් වීමේ හැකියාව ඇති අතර ඇතැම් විට හදවත් රෝග ඇතිවීමේ අවදානමක් ද පවතිනවා.

ඉරිතැලී ගිය නියපොතු Rippled Nails නියපොතු මතුපිට ඉරිතලා ගිය ස්වභාවයක් හෝ සිදුරු සහිත ස්වභාවයක් ඇතිවිට එය ආතරයිටීස් රෝගයේ මුල් අවස්ථාවක සිටින බව හඟවනු ලබන්නක්. එය ඉතා ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවී ඒ රෝගය වළක්වා ගැනීමට උපකාරී වෙනවා.

දුඹුරු පැහැ සිරස් අතට ඇති ඉරි සහිත නියපොතු මේ ලක්ෂණය සුළුවට ගත යුතු නොවන අවධානය යොමු කළ යුතුම තත්ත්වයක්.විශේෂයෙන්ම අද මුළු ලෝකයම ගිල ගනිමින් යන පිළිකා වැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක ඇති බව එයින් හඟවනු ලැබිය හැකි නිසා. එනම් මෙය මෙලනොමා නම් චර්ම පිළිකා තත්ත්වය නිසා ඇති වෙන්නට පුළුවන්.මේ සමේ පිළිකා ඇතැම් විට දුඹුරු පැහැ ලප ආකාරයෙන් පමණක් නෙවෙයි නියපොතුවලින් ආරම්භ වෙන්න පුළුවන්.

සුදු පැහැ ලප සහිත නියපොතු මේ ලක්ෂණය පුද්ගලයා ගනු ලබන පෝෂණ මත තීරණය වෙනවා.ශරීරයට අවශ්‍ය කරන පෝෂණය ප්‍රමාණවත් නොවුණු විට නියපොතු නිසි  ලෙස වර්ධනය වෙන්නේ නැහැ. 

හැඩි දැඩි නියපොතු ඒ නියපොතු හැන්දක ආකාරයට වකුටු වී තිබීම දැකිය හැකි අතර මෙය ශරීරයේ යකඩ අඩුවීම නිසා ඇතිවන රක්තහීනතාවයේ ලක්ෂණයක්.

වියළි පැලෙන ස්වභාවයක් සහිත නියපොතු ඉතා දුර්වල ආකාරයේ හානිවීම් වැඩි නියපොතු හිමි අයෙක් නම් එයින් හඟවනු ලබන්නේ ශරීරයට අවශ්‍ය තරම් ජලය නොලැබීමයි. විශේෂයෙන්ම ශරීරයේ ඇති නියපොතුවල 18% ක් අඩංගු වන්නේ ජලය. නමුත් ඒ ප්‍රමාණය 16% ට අඩු වූ විට දුර්වල නියපොතු ඇති වෙනවා. එ හැරුණාම සින්ක් ඌණතාවයක් ශරීරයේ පවතී නම් නියපොතු දුර්වලවීමක් දකින්නට පුළුවන්

මෘදු , පොතු ගැලවෙන සුළු නියපොතු මේ නියපොතු ඉතා පහසුවෙන් නැමිය හැකි ස්වභාවයක් ගන්නා අතර ශරීරයේ වර්ධනයට අවශ්‍ය ප්‍රෝටීන්, විටමින් A, විටමින් D අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම නියපොතුවල වර්ධනයට නීරෝගි බවට මේ සංඝටකයන් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත්වීම ඉතා වැදගත්.

දාර සහිත  නියපොතු බොහෝඅය අතර සුලභව දකින්නට ලැබෙන මේ තත්ත්වයේදී ශරීරයට අවශ්‍ය පෝෂණයේ ඌණතාවයන් වගේම පොතු කබර ආදී රෝග තත්ත්වයන් නිසාද ඇති වෙන්නට පුළුවන්. කිරි, මස්, බිත්තර, ගෝවා, ලීක්ස් ආදී සල්ෆර් අඩංගු ආහාර ප්‍රමාණවත් පරිදි නොලැබීම නිසා හෝ මේ තත්ත්වය ඇතිවිය හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත්වීම වැදගත්.

සුදු පැහැ ලප සහිත නියපොතු මේ තත්ත්වය බොහෝ අය අතර දකින්නට ලැබුණත් සුළුවට ගත යුතු තත්ත්වයක් නම් නොවෙයි. මේ නියපොතු මගින් සිරුරේ කැල්සියම් ඌණතාවයක් ඇති බව,කෙරටීන් අඩුකම, ආදීය පෙන්නුම් කරනු ලබනවා. ඒ හැරුණාම නිය සැකසීම අනවශ්‍ය ලෙස සිදු කිරිම ආදිය නිසාත් නියපොතුවල සෛල අතර සිරවී ඇති වායු බුබුළු නිසාත් මේ තත්ත්වය ඇතිවිය හැකි බවයි සඳහන් වන්නේ.

කොටසක් රෝස පැහැ වී කොටසක් සුදු පැහැවීම මේ ආකාරයේ නියපොතු ඇතැම් විට වකුගඩු ආශ්‍රිත රෝගාබාධයන් හෙළිකරනු ලබන ලක්ෂණයක් විය හැකියි.

නියපොතු ඉහළ අඩ සද වැනි ස්ථානය රතු පැහැයක් ගැනීම ප්‍රතිශක්තිකරන පද්ධතිය ආශ්‍රිත රෝගයක් වන ලූපස්, හෘද රෝග, ඇලොපීශියා (කෙස් හැලීමේ රෝගය ) ආතරයිටීස් හෝ මාංශ පේශී ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයක් ඇති බව හඟවනු ලබනවා.

වක් වූ නියපොතු පහළට වක් වී වැවෙන නිය ඇතැම්විට ආවේණික වුණත් ඒ ස්ථානයේ ඇඟිලි තුඩු ඉදිමී පැවතීම පෙනහළු අක්මා හෝ උදර රෝගයක් පූර්ව ලක්ෂණයක් වීමේ හැකියාව පවතිනවා.

ඉතින් අලංකාරය සඳහා නිරන්තරයෙන් නිය ආලේපන ගල්වා ගෙන සිටීමෙන් ශරීරය අභ්‍යන්තරයේ ඇති රෝග හෝ පෝෂණ ඌණතා කියාපාන මෙවැනි ලක්ෂණ කාන්තා ඔබට බොහෝවිට මගහැරී යන්නට පුළුවන්. ඒ නිසා නියපොතු කොටට කපා පිරිසිදුව තබා ගැනීමත් නියපොතුවල අසාමාන්‍ය ලක්ෂණ කෙරෙහි සැලකිලිමත්වීමත් නීරෝගී දිවි පැවැත්මකට අත්‍යවශ්‍ය වෙනවා.