සෙම්ප්‍රතිශ්‍යාව නැති අවස්ථාවලදී පවා නිතර නාසය හිරවීමට හේතු 10 ක්

health tips

නාසයේ අවහිරවීමක් කියන්නේ නිතර අපි අත්දකින තත්ත්වයක්. රෝගී තත්ත්වයක් ලෙසම සැලකිය නොහැකි වුණත් එය රෝගයක් ලෙසත් හඳුනා ගන්නා අවස්ථා පවතිනවා. නාසයේ අහිරවීමක් තරමක් පීඩාකාරී බව අපි දන්නවා. සාමාන්‍ය තත්ත්වයකදී එය මගහරවා ගන්නත් විවිධ  පිළියම් සහ ඖෂධ පවතිනවා. සාමාන්‍ය හේතු හැරුණාම වෙනත් බරපතල තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ද මේ නිසාවෙන් නිර්මාණය වෙනවා. ඒ අනුව මෙය යම් රෝගී තත්ත්වයක ලක්ෂණයක් විදියට හඳුනා ගන්නට අවස්ථාව පවතිනවා. අපි අද කතා කරමු මේ පිළිබඳව. 

නාසය සිරවීම විවිධ  ආකාරයට ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම මේ සඳහා විවිධ හේතු බලපාන්නත් පුළුවන්.

නාසයේ සිරවීමකට බලපෑ හැකි හේතු 

සෙම මෙහිදී නාසයේ සිරවීම එක් අවස්ථාවක ඇතිවෙලා නැවත එය නැතිවෙලා යනවා. ඒ වගේ තත්ත්වයක් සෙම නිසාවෙන් ඇති වෙන්නට පුළුවන්. එවැනි නාසයේ සිරවීමක් උදේ සහ සවස් කාලයේදී වගේම රාත්‍රී  කාලයේදීත් ඇති වෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ඇතිවන එවැනි නාසයේ සිරවීමක් ඖෂධවලින් සුවකර ගන්නට හැකියාව තියෙනවා. නමුත් තදබල ලෙස නාසයේ සිරවීමක් ඇති විටෙක නම් එමගින් හුස්ම ගැනීමේ අපහසුතාවයක් මෙන්ම කටහඩේ වෙනසක් පවා ඇති වෙනවා. ඒ නිසා කතා  කිරීමට බාධාවක් ඇති වෙනවා.

සෙම්ප්‍රතිශ්‍යාව සෙම්ප්‍රතිශ්‍යා රෝගය හේතුවෙන් දින කිහිපයක්ම නාසය සිරවීමක් පවතිනවා. ඒ සඳහා ප්‍රතිකාර ලබාගෙන සෙම්ප්‍රතිශ්‍යාව සුව වෙද්දි නාසයේ සිරවීමත් ක්‍රමයෙන් අඩුවෙලා යනවා.

පීනස පීනස නිසාවෙන් පවා නාසයේ සිරවීමක් ඇතිවෙනවා. මෙහිදී නාසය තුළ වූ ශ්ලේෂ්මල පටලයේ ඉදිමීම නිසා හුස්ම ගැනීමේ මාර්ගය  අවහිරවීමට ලක්වීමෙන් නාසය අවහිරවී හුස්ම ගැනීමත් අපහසු වෙනවා.

කෝටරක ප්‍රදාහය සයනසයිටීස් රෝගය එහෙමත් නැත්නම් කෝටරක ප්‍රදාහය කියන තත්ත්වයේදී සිදු වෙන්නේ නිතරම නාසයේ එක් පැත්තක් පමණක් සිරවීම. සාමාන්‍ය හේතු හැරුණාම ඔබේ නාසයේ එක් පැත්තක් පමණක් නිතර සිරවීම මේ සයනසයිටීස් රෝගය හේතුවෙන් ඇතිවන්නට වෙන්නට ඉඩකඩ පවතිනවා. එවැනි අවස්ථාවක උගුර කන නාසය  සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී ඒ සඳහා අදාල පරීක්ෂණ සිදු කරවා ගත යුතු වෙනවා.  

නාස් බිත්තිය ඇදවීම සමාජයේ බහුතරයක් දෙනාගේ උපතින්ම මේ  නාස් බිත්තියේ ඇදවීමක් ඇතිව තිබෙන්නට පුළුවන්. නමුත් එය බාහිරින් බැලීමෙන් බොහෝදුරට හඳුනා ගන්නට හැකියාවක් නැහැ. කලාතුරකින් සියුම්ව නිරීක්ෂණය කිරීමකින් පමණක් එවැනි ඇදවීමක් ඇතිද කියලා දැක ගන්නට පුළුවන් වුණත් එය නිශ්චිතව තහවුරු කර ගන්නට පරීක්ෂාවක් කරන්නට සිදු වෙනවා. මොකද ඇතැම් පුද්ගලයන්ගේ නාස් බිත්තිය ඇදවීම තරමක් බරපතල විදියට පවතින්නට පුළුවන් නිසා.එමගින් ඒ පැත්තෙන් වාතය ගමන් නොකිරීමක් වෙන්නට පුළුවන්. එය හඳුනා ගන්නට X කිරණ හෝ කැමරා ආදිය මගින් නාසය පරීක්ෂාවට ලක් කෙරෙනවා. මේ සඳහා උගුර කන නාසය සම්බන්ධ වෛද්‍යවරයෙකු හමුවීමයි වැදගත් වෙන්නේ.

නාසයේ මස් දළු නාසය අවහිර වෙන්නට බලපාන තවත් හේතුවක් තමයි නාසයේ ඇතිවන මස් දළු. මස් දළු නිසා ඇතිවන නාසය අවහිරවීම් දිගටම පවතින නිසා නිසි ප්‍රතිකාර ඒ සඳහා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මේ මස් දළු නාසයෙන් පිටතට දකින්නට හැකි අවස්ථා  වගේම යම් විටක උගුර දක්වා මස් දළු වර්ධනය වීමක් වුණත් දකින්නට ලැබෙන අවස්ථා පවතිනවා. මස් දළු නාසයේ එක් පැත්තක් හෝ දෙපසේම පවතින අවස්ථාත් නැතුවාම නොවෙයි. ඇතැම් මස් දළු ඖෂධ මගින් පාලනය කළ හැකි වුණත් ඇතැම් ඒවා ශල්‍ය  කර්මයක් මගින්ඉවත් කරන්නට සිදු වෙනවා.

පිළිකාමය තත්ත්වය නාසයේ සිරවීමක් නාසයේ ඇතිවන පිළිකාමය තත්ත්වයන් නිසාවෙන් ඇති වෙන්නටත් පුළුවන්.එය හඳුනා ගන්නට හැකි වෙන්නේ උගුර කන නාසය සම්බන්ධ වෛද්‍යවරයෙකු හමුවී අදාල පරීක්ෂණ කරවා  ගැනීමකින් පමණයි.

ඉන්නන් නාසයේ සිදුරු කොටසේ ඉන්නන් හට ගැනීම නිසා නාසයේ අවහිරතා මතුවෙන්නට පුළුවන්. එයට ප්‍රතිකාර කළත් නැවතත් ඒ ඉන්නන් හට ගන්නත් පුළුවන්. ඒ නිසා එය කරදකාරී තත්ත්වයක්.

නාසයේ රුධිර වාහිනී ගැට ගැසීම හෝ ගැටිති මේ තත්ත්වයි වැඩි වශයෙන් කුඩා දරුවන් තුළ දකින්නට ලැබෙනවා. එමගින් පවා නාසයේ අවහිරතා ඇති වෙන්නට පුළුවන්.

ආගන්තුක ද්‍රව්‍යයන් සිරවීම කුඩා දරුවන් නාසය තුළට යම් යම් දේවල් දා ගැනීම හේතුවෙන නාසය අවහිර වෙනවා. දරුවෙකුගේ පෙර නොතිබුණු අවහිරතාවයක් නාසයේ ඇත්නම් දෙමාපියන් විශේෂ සැලකිල්ලක් ඒ සම්බන්ධයෙන් දැක්විය යුතු වෙනවා. මොකද නාසයට යම් දෙයක දා ගත් දිනයේ එතරම් අවහිරවීමක් නැතත් දින දෙකක් පමණ ගතවෙද්දි ඒ අවහිරවීම් ඇතිවෙන නිසා. ඒ හැරුණාම නාසයෙන් දුගඳක් හැමීම, දියර ගැලීම වගේ ලක්ෂණ  ඒ හේතුවෙන් ඇති වෙනවා. මේ විදියට නාසයට දා ගන්නා දේවල් පෙනහළු දක්වාම ගමන් කරන්නටත්  පුළුවන්. එවැනි බරපතල දේවල්වලදී ශලය කර්මයක් පවා කරන්නට වෙනවා. ඒ නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්.

නාසය සිරවීමකදී  කටහඩ වෙනස්වීම්, හුස්ම ගැනීම අපහසු වීම, නාසයෙන් සොටු දියර ගැලීම වගේ අපහසුතාවලට මුහුණ දෙන්නට සිදුවෙනවා. පීනස වගේ තත්ත්වයකදී වරින් වර ඖෂධ ලබාදීම සිදු වෙනවා.  එය සුවකර ගන්නට නම් ජීවන රටාවේ වෙනස්කම් ගැනත් සැලකිලිමත් වෙන්නට ඕන. ඒ වගේම නාසයේ අවහිරවීමකට හේතුව හඳුනා ගන්නට ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවීමයි සිදුකළ යුත්තේ.