කුරුලෑ ඇතිවීම වළකන නිවසේදී කළ හැකි සරල පිළියම් 16 ක්

health tips

කුරුලෑ අද බොහෝ තරුණ තරුණියන්ට තියෙන පීඩාකාරී ගැටළුවක්. සුලබව දකින්නට ලැබෙන මේ තත්ත්වය තරුණ බවට එළඹීමත් සමඟ ඇතිවන තත්ත්වයක්. කුරුලෑ නිසා ඇතිවන වේදනාව හා අපහසුව ඉතාම පීඩාකාරී එකක්.ඒ වගේම කුරුලෑ සහ කුරුලෑ ලප පුද්ගලයාගේ පෙනුමටත් විශාල බාධාවක්. පුද්ගලයන් ඉදිරියට යාමට සමාජයට යාමට මැලිකමක් හා ලැජ්ජාවක් මේ නිසා ඇතිවනවා. එබැවින් මානසිකව දැඩි පීඩාවකින් ඔවුන් පෙළෙනවා.ඉතින් මේ ගැටළුවට නිවසේදී කළ හැකි පිළියම් මොනවාද යන්න දැන කියා ගැනීම ඔබට බෙහෙවින් වැදගත් වේවි. 

අපේ සමේ තෙල් නිපදවන ග්‍රන්ථි පිහිටා තියෙනවා. මේ ග්‍රන්ථි සම මතට විවෘත වන නාල අවහිරවීම නිසා කුරුළෑ හටගනු ලබනවා. මේ අවහිරවුණු නාලවල බැක්ටීරියා ක්‍රියා කිරීම නිසා පැසවීම මත සැරව පිටවුණු කුරුළෑ ගෙඩි ඇතිවෙනවා.කුරුළෑවල මූලික අවස්ථාව වන්නේ වයිට් හෙඩ්ස් සහ බ්ලැක් හෙඩ්ස් කියන්නේ. ඉතින් මේ සියල්ලම අපේ මුහුණේ පෙනුමට බාධා කරනු ලබනවා.

කුරුලෑ ඇතිවීමට බලපාන හේතු    

නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන්ට හැරුණාම වෙනත් හේතු සාධක මත කුරුලෑ ඇති වෙන්නට පුළුවන්. 

  • හෝර්මෝන අසමතුලිතතාවන් 
  • ඔසප්වීමේ ගැටළු  
  • ස්ථුලතාවය 
  • ශරීරයේ රෝම වැවීම වැඩිවීම  
  • තෙල් සහිත ආලේපන භාවිතය  
  • තෙල් සහිත මේකප් භාවිතය 
  • මානසික ආතතිය 
  • මුව  ආවරණ පැය 6 ට වඩා එකදිගට පැළද සිටීම  

මේ නිසා දහදිය මුහුණේ බොහෝවේලාවක් රැඳී තිබීම සහ මුහුණට වාත්‍රාශය නිසි පරිදි නොලැබීම නිසා කුරුලෑ ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.

  • හිසකෙස්වල තෙල් ගතිය අධික වීම 
  • මුහුණේ අපිරිසිදු බව 
  • නිතර හිරු එළියට නිරාවරණයවීමෙන් සමේ නිපදවන තෙල් ප්‍රමාණය ඉහළ යාම 
  • අධික උෂ්ණත්වයක් සහිත ප්‍රදේශයක වාසය කිරීම  
  • මුහුණට අධිකව දහදිය දැමීම 
  • ස්ටීරොයිඩ් අඩංගු සුදුවීමට භාවිතා කරන ආලේපන ගැල්වීම 

විවිධ හේතු සාධක මත ඇතිවන කුරුලෑ මුහුණට අවලස්සන පෙනුමක් එකතු කරනවා. සමේ පැහැපත් බවටත් එය හානියක්. යම් විටෙක හදිසියෙන් ඇතිවන කුරුලෑ එකක් දෙකක් නිසාවෙන් ඔබ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට යොමු වෙන්නේ නැහැ. නමුත් විශාල ලෙස මුහුණ පුරාම නිතර නිතර කුරුලෑ ඇතිවීම සහ සුව නොවීමත් ලප කැළැල් ඇතිවීමත් යන තත්ත්වයට ඔබ වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වෙනවා.ඇතැම්විටෙක මේ කුරුලෑ ආලේපන ගැල්වීම මත සුවකර ගන්නට හැකියාව ලැබුණත් සංකීර්ණ තත්ත්වයකදී නම් ඒවා සුවකර ගන්නට චර්ම රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා. එහිදී බාහිරින් ආලේප කිරීමට ලබාදෙන ආලේපන හැරුණාම වෙනත් ප්‍රතිජීවක ඖෂධ හෝ හෝර්මෝනමය ප්‍රතිකාර ලබාදෙනු ලබනවා. කල්ගතවෙත්ම ඒවා ඉවත් කිරීම තරමක අසීරුවීම සහ කාලයක් බලා සිටීමට සිදුවීම එයට හේතුවයි.

කුරුලෑ ඇතිවීම වළක්වා ගන්නට කළ යුතු දේ 

ගත් සැණින් කුරුලෑ හටගනු ලබන ආහාරවලින් වළකින්න.බොහෝ අයට යම් යම් ආහාර වර්ග ලබාගත් විට කුරුලෑ හට ගැනීමේ තත්ත්වයක් පවතිනවා. ඇතැම් විට පවතින කුරුලෑ ගෙඩි වැඩිවෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම චොක්ලට් සහ කෝපි ආදිය ගත් විට මේ තත්ත්වයට බොහෝ අය මුහුණ දෙනවා. ඒ නිසා එවැනි ආහාර වර්ග ඉතා අඩුවෙන් ආහාරයට ගන්නට ඔවුන් වග බලා ගත යුතු වෙනවා.

මුහුණ පිරිසිදුව තබා ගැනීම විශේෂයෙන්ම දිනකට දෙවරක් ගෝ තුන්වරක් මුහුණේ තෙල් ගතිය හොඳින් ඉවත් වන ලෙස  සුදුසු සේදුම් ද්‍රව්‍යයක් භාවිතා කර මුහුණ සේදිය යුතුයි. තමන්ගේ සමට ගැළපෙන ආකාරයේ සබන් හෝ සේදුම් ද්‍රව්‍යයක් වෛද්‍ය  උපදෙස්වලට අනුව ලබා ගැනීමයි වඩාත් සුදුසු වන්නේ.

නිතර මුහුණ ඇල්ලීමෙන් වළකින්න. කුරුළෑ එකක් දෙකක් ඇති අය හෝ නැති අයත් නිතරම කරන වැරැද්දක් තමයි මුහුණ නිතර ඇල්ලීම. නමුත් එය  සමට විශබීජ ඇතුල් වෙන්නට බලපානවා. ඒ නිසා කුරුලෑ ගෙඩි ආසාදනයටත් ලක්වෙනවා. ඒ නිසා මුහුණ නිතර ස්පර්ශ කිරීමෙන් වැළකීම කුරුලෑවලින් මිදෙන්නට අවශ්‍යම කාරණයක්. මුහුණ අල්ලන්නට පෙර සබන් යොදා අත් හොඳින් සෝදා පිරිසිදු කරගත යුතුයි.

  • කුරුලෑ කැඩීමෙන් වළකින්න.
  • ස්ක්‍රබ් කිරීමෙන් වළකින්න .

කුරුලෑ සහිත මුහුණක් ස්ක්‍රබ් කිරීම නොකළ යුතුයි. ස්ක්‍රබ් කිරීමේදී කුරුළෑ මතුපිට තුවාල වීමට ඉඩ තියෙනවා. එයින් විෂබීජ ඇතුල්වීම නිසා ආසාදනයට ලක් වෙන්නට පුළුවන්.

  • හිසකෙස් හොඳින් පිරිසිදු කර තබා ගන්න. 
  • පිටේ හෝ පපු ප්‍රදේශයේ කුරුලෑ ඇත්නම් නිතර කපු ඇදුම් භාවිතා කරන්න.
  • මේකප් භාවිතයේදී තෙල් ගතිය අඩු මේකප් භාවිතා කරන්න. 
  • ආලේපන වර්ග තෝරා ගැනීමේදී තෙල් ගතිය අඩු ආලේපන වර්ග තෝරා ගන්න. 
  • ඇතැම් තෙල් සහිත සන් ක්රීම් ආලේප කිරීමෙන් වළකින්න. 
  • මානසික ආතතිය අඩුකර ගන්න. 
  • මාස්ක් පළදින විට ඇතුළට රෙදිවලින් සැකසූ මාස්ක් එකක් භාවිතා කරන්න. 
  • අධික පිශ්ඨය සහ අධික තෙල් සහිත ආහාර පරිභෝජනය අවම කරන්න. 
  • විටමින් A සින්ක් සහ විටමින් E සහිත ආහාර වැඩිපුර ආහාරයට ගන්න. 
  • හොඳ සුවදායි නින්දක් ලබා ගන්න.
  • සීනි භාවිතය අඩු කරන්න.
  • කෘතීම බීම වර්ග පානය අඩු කර ජලය පානය කරන්න.
  • දන්තාලේප සුවඳ විලවුන් කුරුලෑ මත ගැල්වීමෙන් වළකින්න  

ස්වභාවික සත්කාරයන්

  • දවසට තුන් වතාවක් පමණ දෙහි බින්දු කිහිපයක් පිරිසිදු වතුරට මිශ්‍ර කර මුහුණ පිට ආදිය සෝදන්න.
  • සතියකට වරක් ලුණු වතුරෙන් ඇඟ සෝදන්න. 
  • ඇපල් සයිඩර් විනාකිරි සහ ජලය 1:2 අනුපාතයකින් මිශ්‍රකර සම සෝදන්න.
  • දෙහි යුෂවලින් පොගවා ගත් කපු රෙදි කැබැල්ලකින් කුරුලෑ ඇති සම පිසදා විනාඩි 10 ක් තබා උණුසුම් ජලයෙන් සෝදන්න.
  • කෝමාරිකා ජෙල් කුරුලෑ ඇති සමේ ආලේප කරන්න.
  • කහ කුඩු සහ තල තෙල් එකතු කිරීමෙන් සකසා ගන්නා මිශ්‍රණය ආලේප කරන්න.
  • සුදු ළූණු සහ කරාබු නැටි කිහිපයක් අඹරා ලබාගත් යුෂ අදාල ප්‍රදේශයේ ආලේප කර මිනිත්තු 30 තබා සෝදා හරින්න. 
  • බේකින් සෝඩා ස්වල්පයක් ජලය සමඟ මිශ්‍රකර සමේ ආලේප කර හොඳින් මසාජ් කර මඳවේලාවකින් උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
  • කොහොඹ කොළ සහ අත් කහ කොටා සකස් කරගන්නා මිශ්‍රණය කුරුළෑ සහිත සමේ ආලේප කරන්න.
  • මී පැණි ආලේප කරන්න. හැකි නම් මෙයට කුරුඳු කුඩු ස්වල්පයක් ද එකතු කර කුරුලෑ සහිත සම ආලේප කර විනාඩි 10-20 තබා සෝදා හරින්න.
  • මී පැණි, කහ කුඩු සහ කඩල පිටි ස්වල්පය බැගින් එකතු කර සකසා ගත් මිශ්‍රණය ආලේප කිරීමත් කුරුලෑ සඳහා ඉතා සුදුසුයි. මෙය වියළුණාට පසුව සෝදා හරින්න. 

කුරුලෑවලින් පීඩා විදින ඔබට කුරුලෑ අඩුකර ගන්නට වගේම ඒවා සුවකර ගන්නටත් මේ ක්‍රමවේද ඔබට අතිශයින්ම වැදගත් වේවි.