සමේ සුන්දරත්වය ‍රැකදෙන ස්වභාවික සත්කාර ක්‍රම 8ක්

health tips

අපේ සම දිනපතාම හානිකර සාධක වලට නිරාවරණය වෙනවා. ඒ නිසාම අප නොසිතන ආකාර වලින් අපේ සමට බොහෝ හානි බලපෑම් සිදුවෙනවා.දූෂිත පරිසරය,හිරු කිරණ හා කුණු දුහුවිලි වලට සම නිරාවරණය වීම වැළැක්විය හැකි දෙයක් නොවන බව ඔබ දන්නවා.මේවගේ හේතු නිසා අපේ සමේ කුරුලෑ,බිබිලි, හයිපර්පිග්මන්ටේෂන් කැලැල් හා වෙනත් චර්ම රෝග ගැටලු පවා වර්ධනය වීම සිදුවිය හැකියි.සමේ නීරෝගීබව ‍රැකගැනීමට, ඊට සත්කාර කිරීමට අප මිලෙන් අධික ෆේෂල්ස් වර්ග, රූපලාවණ්‍ය නිෂ්පාදන හා උපකරණ පවා භාවිතයට යොමුවෙනවා.අනවශ්‍ය ලෙස මුදල් හා කාලය වැය නොකර,ගෙදරදීම මේ වගේ චර්ම ගැටලු වලට පිළියම් කළ හැකි ස්වභාවික සත්කාර ක්‍රම තිබෙනවා.මේවා පරණ තාලේ අත්බෙහෙත් ක්‍රම වුණත් ඔබේ සමට හොඳ දීප්තියක් මෙන්ම නැවුම් පෙනුමක් ඒවා මඟින් එක්කරනවා.

  1. සම සවිමත් වීම සඳහා අයිස් සත්කාරය උත්සහ කරන්න

සමේ අයිස් ගැල්වීම ආසියානු කාන්තාවන් අතර ජනප්‍රිය සුන්දරවීමේ රහසක්.මෙහිදි අයිස් කැට කිහිපයක් භාවිත කරමින් ,මිනිත්තු කිහිපයක් පුරා සම අතිශයින්ම සිසිල් උෂ්ණත්වයකට නිරාවරණය කිරීම සිදුවේ.මෙමඟින් මුහුණේ ඉදිමුම අඩුකිරීම, සම සවිමත් කිරීම හා සමේ දිප්තිමත් හා නැවුම් පෙනුම ඇතිකිරීම වැනි ප්‍රතිලාභ ලබාදේ.සිසිලස නිසා සමේ සිදුරු වල විශාලත්වය ද අඩුවෙයි.මේ හරහා සමේ මෘදු සුමුදු බව වැඩිවේ.සම අයිස් පිලිස්සුමට ලක්විය හැකි නිසා ඕනෑවට වඩා සමේ අයිස් ගැල්වීම නොකළ යුතුයි.

  1. කෝපි ස්ක්‍රබ්

කෝපි පානය කිරීම ගතට ශක්තිය ලබාදෙනවා වගේම පරිවෘත්තිය ඉහළ දමනවා. ඒ විතරක් නොවේ , කෝපි ඔබේ සමට ද බොහෝ ප්‍රතිලාභ දෙනවා.බාහිරව ගැල්වීම මඟින් සමට ප්‍රතිඔක්සිකාරක ගුණය ලබාදී සම නීරෝගි කරවයි.කෝපි කුඩු මී පැණි, පොල් තෙල් හෝ එළකිරි ස්වල්පයක් සමඟ මිශ්‍ර කර නිවසේදීම සරල ස්ක්‍රබ් එකක් සකසාගන්න. මේවා මුහුණේ, අත් හා පාද වල ගල්වන්න. මින් මැරුණු සම ඉවත් කිරීම , කුරුලෑ හා සමේ ලප කැලැල් අඩුකිරීම, සම මෘදු සුමුදු කිරීම හා සමේ නිකැලැල් බව වැඩිදියුණු වීම සිදුවේ.

  1. රුධිර ගමනාගමනය ප්‍රවර්ධනය වීම සඳහා කුරුඳු සත්කාරයක්

කුරුඳු අප ආහාර පාන වලට එක්කරන ඖෂධීය කුළුබඩුවක්.රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා ද කුරුඳු භාවිත වෙනවා.එහි අඩංගු ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිප්‍රදාහක ගුණාංග ඔබේ සමේ කුරුලෑ වැනි ගැටලු මෙන්ම අකලට සම වියපත් වීමේ ලක්ෂණ දුරුකිරීමට සහය දෙනවා.එමෙන්ම කුරුඳු ඔබේ සමේ රුධිර ගමනාගමනය වැඩිදියුණු කරවනවා.මී පැණි, කුරුඳු හා යෝගට් ස්වල්පයක් බැගින් ගෙන මිශ්‍ර කර සමේ ගැල්වීමෙන් සමේ දීප්තිය වර්ධනය වීම හා සම ඒකාකාරි ලෙස පැහපත් වීම සිදුවේ.සමේ හා තොල් වල පිරිපුන් නීරෝගි පෙනුමක් ඇතිවේ.

කුරුඳු භාවිතය ඇතැම් අයට අතුරු ආබාධ ඇතිකළ හැකියි.ඇතැම් අය ඒවාට අධිසංවේදීය.එබැවින් මුල් වතාවේදී කුඩා ප්‍රමාණ වලින් භාවිත කිරීම වඩාත් නුවණට හුරුය.සමේ කුඩා කැලලක් මත මිශ්‍රණයෙන් ස්වල්පයක් ගල්වා රතුවීමක් හෝ කැසිල්ලක් ඇතිවේ දැයි පරික්ෂා කරන්න. එවැනි ආසාත්මිකතා  ඇතිවේ නම් වහාම සම සෝදා පිරිසිදු කරගන්න.

  1. ග්‍රීන් ටී ආලේප කරන්න

ග්‍රීන් ටී පානය කිරීම සිරුරට බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙන බව අප අසා තිබෙනවා.ඒවගේම ග්‍රීන් ටී සමේ සුන්දරබව වැඩිකරගැනීමට බාහිර සත්කාරයක් ලෙස ද භාවිත කළ හැකියි.එහි ප්‍රතිප්‍රදාහක ගුණ, ක්ෂුද්‍රජීවී නාශක ගුණ හා ප්‍රතිඔක්සිකාර ගුණ බහුල නිසා කුරුලෑ බිබිලි මතුවීමට බර සමක් සඳහා ග්‍රීන් ටී හොඳ පිළියමකි.ඇස් වටා ඉදිමුම අඩුකරගැනීමට සීත කළ ග්‍රීන් ටී බෑග් දෙක තබාගෙන සිටින්න.මෙම තේ කොළ ෆේස් මාස්ක් සත්කාර සඳහා හොඳ අමුද්‍රව්‍යක් ලෙස ද භාවිතයට ගත හැකියි.

  1. ඇස් වටා අඳුරු කැලැල් (dark circles) දුරුකරගැනීමට බේකිං සෝඩා

ඇස් වටා අඳුරු බව ඔබට ප්‍රශ්නයක් වෙලාද? මීට හොඳ විසඳුමක් ඔබේ මුළුතැන්ගෙයි තිබෙනවා.බේකිං සෝඩා වල බ්ලීචිං එහෙමත් නැතිනම් සමේ පැහැය වර්ධනය කිරීමේ ගුණ අඩංගුයි. ඒවා එළකිරි සමඟ මිශ්‍ර කර සමේ ගැල්වීමෙන් අඳුරු ලප කැලැල් ඉතා හොඳින් අඩුකරගන්න ඔබට හැකියි.ඒවගේම ප්‍රතිප්‍රදාහක ගුණ හා පැසවීම වළකන ගුණ ද අඩංගු වෙන නිසා සමේ අපහසුතා හා කුෂ්ඨ සඳහා භාවිත කරන ක්‍රීම් සත්කාර වලට හොඳ අමුද්‍රව්‍යක් ද වෙනවා.

  1. අර්තාපල් යුෂ වලින් සමේ අඳුරු ලප කැලැල් දුරුකරවන ස්වභාවික බ්ලීචිං සත්කාරයක් 

අර්තාපල් වල ගුණදායි ඛනිජ ලවණ හා විටමින් බහුලයි.අර්තාපල් යුෂ වල සමේ පැහැය වැඩිදියුණු කරවන බ්ලීචිං ගුණ අඩංගුයි.සමේ රතු පැල්ලම්, හිරු කිරණට සම පිලිස්සුණු තැන්, සමේ අඳුරු ලප කැලැල් වලට ප්‍රතිකාර කරයි. පිරිසිදුකරගත් මුහුණ මත යුෂ ආලේප කරන්න.

  1. සම සමනය කරන කැමොමයිල් තේ

සිරුර මෙන්ම ස්නායු සන්සුන් කරවන පානයක් නිසා ගොඩක් දෙනා කැමොමයිල් තේ පානයට රුචිකත්වයක් දක්වනවා.සිරුර විතරක් නොව, සම සන්සුන් කරමින් සමනය කිරීමේ හැකියාව ද කැමොමයිල් තේ සතුයි.කැමොමයිල් තේ වල ප්‍රබල ප්‍රතිප්‍රදාහක ගුණයක් අඩංගු වෙනවා. මෙම තේ වතුරෙන් මුහුණ සේදීම මඟින් සමේ රතු ගතිය සහ ඉදිමිම සහිත දැවිල්ල (ප්‍රදාහය) අඩුවී යයි.දිනපතා මෙය මොයිෂ්චරයිසර් සත්කාරයක් ලෙස ද භාවිතයට ගත හැකියි.මෙය වියළි හෝ ගැටලු අපහසුතාවට ලක්වූ සමක් ඇති අයට විශේෂ සත්කාරයක්.

  1. සමේ ගැටලු දුරුකරවන කෙසෙල් පොතු සත්කාරය

සම මත කුරුලෑ කැලැල් මතුවි පෙනීම වදයක් නේද? මේවා මතුපිටට පෙනෙන ස්වභාවය අඩුකර ඉක්මනින්ම දුරුවී යාමට සලස්වන ප්‍රතිකාරයක් ලෙස කෙසෙල් පොතු භාවිතය හඳුන්වන්නට පුළුවන්.මෙය බොහෝ කාන්තාවන් අතර ජනප්‍රිය රූපලාවණ්‍ය උපක්‍රමයක්.කෙසෙල් පොතු සම මත ගැල්වීමෙන් සමේ තෙතමනය ඇතිවීම සහ සමේ ‍රැළි වැටීම අඩුවීම වගේ ප්‍රතිලාභ ද ලැබේ.ඊලඟ වතාවේ කෙසෙල් පොතු විසි කරන්න කළින් දෙවරක් හිතන්න!