40 පැන්නත් මුහුණේ පෙනුම තරුණ කරගන්න ස්වභාවික ක්‍රම 9 ක්

health tips

ඉපදුණු  අපි වයසට යන එක නම් පාලනය කරන්නට බැහැ. නමුත් අපි හැමෝම කැමතියි අපේ පෙනුම හැමදාම තරුණ විදියට තියාගන්න. මේ නිසා විවිධ විටමින් වර්ග ලබා ගනිමින්  විවිධ සැත්කම්වලට යොමු වෙනවා.  විවිධ නිෂ්පාදන පවා අපි භාවිතයටත් ගන්නවා. නමුත් අපි අද ඔයාට කියන්නේ නම් මේ කිසිම දෙයක් කරන්නේ නැතිව අපේ පෙනුම බොහෝ කාලයක් සෞඛ්ය සම්පන්නව  පවත්වා ගන්න උදව්වෙන ආහාර කිහිපයක් පිළිබඳව.

මොකද අපේ තරුණ බව රැකෙන්නට නම් අපේ ශරීර අභ්‍යන්තරයට නිසි පෝෂණයක් ලැබෙන්නට ඕනෑ. ඒ සඳහා බාහිර සත්කාර පමණක් කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි බලමු අපිව නිරෝගී කරමින් අපේ  තරුණ බවත් බොහෝ කාලයක් පවත්වාගෙන යන්න උදව් වෙන මේ ආහාර මොනවද කියලා.

හාල් කැද හාල් ටිකක් කබලේ බැඳ සාදාගන්නා කැඳ ආහාර ජීර්ණය පහසු කරන්නට උදව් වෙන අපූරු ආහාරයක්. නමුත් බොහෝ දෙනෙක් නොදන්නා කාරණාව තමයි එය අපේ තරුණ බව රැක ගන්නටත් ඉතාම වැදගත් වන ආහාරයක් බව. වයස්ගත  ලක්ෂණ වඩාත් ඉක්මනින් පෙන්නුම් කරන්නට අපේ ශරීරයේ එකතු වෙන විෂ  ප්‍රමාණය වැඩිවීම වගේම ආහාර ජීර්ණය හරිහැටි සිදු නොවීමත් හේතුවක් වෙනවා. අපි ගන්නා ආහාර හොඳින් ජීර්ණය වෙන්නේ නැත්නම් එය අපේ ශරීරයේ පැවැත්මට විශාල වශයෙන් බාධාවක් වෙනවා. ඒ නිසා ඒ ගැටලුවලින් මිදිලා  තරුණ බව හැමදාටමති තියාගන්නට දිනපතාම වගේ හාල් කැඳ කෝප්පයක් පානයට ගැනීම අතිශයින්ම වැදගත්. 

ගඩා ගෙඩි අද දරුවන්ට විදින්නට  නැති සුන්දර ළමා කාලයක් වැඩිහිටි ඔබට වගේම අපේ මුතුන් මිත්තන්ටත් තිබුණා. ඉතින් ඒ නිසාම ඔවුන්ට මේ ගඩා ගෙඩි කියන දේවල් නුහුරු නුපුරුදු දේවල් වුණේ නැහැ. එදා මඟ තොටේ යද්දි එද්දි ඕනෑ තරම් විවිධ වූ පෝෂණ ගුණයෙන් යුක්ත රසවත් ගඩාගෙඩි ආහාරයට ගන්නට  ඉඩක් ලැබුණ  නමුත් අද අපිට ඒවා කන්නට  ලැබෙන්නේ හරිම අඩුවෙන්.

 අපේ රටේ තියන මාදං, බෝවිටියා, එරමිරිණියා,හිබටු,වීර, කරඹ ඇඹුල් ඇඹිලිය ආදී  ගඩාගෙඩි හැම එකකම වගේ ප්‍රබල ප්‍රති ඔක්සිකාරක වර්ග රාශියක්ම අඩංගු වෙනවා. එය අපේ සෛලවලට අපි ගන්නා ආහාරවල තියෙන මුක්ත ඛණ්ඩක මගින් සිදුවන හානිය පාලනය කර තබා ගන්නට උදව් වෙනවා .

මේ ගුණය බහුලවම තියෙන පලතුරුක් තමයි blueberry. නමුත් බ්ලූ බෙරි සොයා ගන්නට හැකියාවක් නැතත් ලාංකීය අපිට ඉතා පහසුවෙන්ම මේ කියන ගඩාගෙඩි නම් හොයාගන්නට පුළුවන්. හැමදාම තරුණව ඉන්නට නම් මෙන්න මේ ගඩාගෙඩි නිතර ආහාරයට එකතු. කරගන්න මතක තියා ගන්න.

ධාන්‍ය වර්ග අද බොහෝ දෙනෙක් ක්ෂණික ආහාර විදිහට පාන් ෂෝටීස් ආදිය වැඩි වශයෙන් ගන්නවා. අතීතයේ පටන් අපේ මුතුන්මිත්තන් වැඩි වශයෙන් ආහාරයට ගත්තේ  මුං ඇට, කඩල, කව්පි, කුරක්කන්, ආදී ධාන්‍ය වර්ග. ඒත් අද  අපේ ආහාරයට ධාන්‍ය වර්ගයක් එකතු වෙන්නේ හරිම කලාතුරකින්. නමුත් නිතර ධාන්‍ය වර්ග ආහාරයට එක්තු කර ගැනීමෙන්  ඒවායේ අඩංගු වන ඉහළ තන්තු ප්‍රමාණය ප්‍රෝටීන ප්‍රමාණය විටමින් ඇතුළු ඛනිජ ප්‍රමාණය අපේ ශරීරයට නොඅඩුව ලැබෙනවා. ඒ වගේම නිතර බඩගිනි වෙන්නෙත් නැහැ. දවසම ප්‍රබෝධයෙන් ගත කරන්නටත් හැකියාව ලැබෙනවා විතරක් නෙමෙයි වයස්ගත වීමේ  ලක්ෂණ ඇතිවීමත්  පමා කරනවා.

කහ මුළුතැන්ගෙයට නැතිවම බැරි බහුකාර්ය ඖෂධයක් විදිහට සැලකෙන කහ අපිට  තරුණ පෙනුම බොහෝ කල් පවත්වාගෙන යන්නටත් අතිශයින්ම වැදගත්. ආහාරවලින් අපේ ශරීරයට එකතුවන විෂ ද්‍රව්‍යයන් නැසීමටත් සමේ ඇදෙන සුළු බව ආරක්ෂා කර කොලජන්  නිෂ්පාදනය කරන්නටත් ලැබෙන උපකාරය නම් සුළුපටු නැහැ. එදිනෙදා ආහාරවලට කහ එකතු කිරීම  හැරුණාම  ඔබ දිනපතාම පාලනය කරන කිරිවලට කහ  තේ හැන්දක පමණ ප්‍රමාණයක් එකතු කර පානය කිරීමත්  මේ සඳහා හරිම වැදගත්. 

දෙළුම්  දෙළුම් ලෝකයේ ඉහළම ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අඩංගු පලතුර විදිහට පර්යේෂණ බොහොමයකින්ම සනාථ වෙලා තියෙනවා. දෙළුම් ලංකාවේ ඇති මිල අධික පලතුරු අතරින් එකක් විදියටයි සැලකෙන්නේ. පෙනුමෙන් රතු පැහැයක් ගන්නා සුවිශාල දෙළුම් ගෙඩියක දේහයට  ස්වභාවයෙන්ම අවශ්‍ය කරන පෝෂක අඩංගු වෙලා තියෙනවා. සුපර් මාක්ට් එකකින් මිලට ගන්නා දෙළුම් ගෙඩියකට වඩා ඔබේ ගෙවත්තේ හැදෙන කුඩා  දෙළුම් ගෙඩියක් බයක් නැතිව අපිට ආහාරයට ගන්නට පුළුවන්.  පෝෂණ ගුණයෙන්  ඉතාම ඉහළ දෙළුම්    නිතරම ආහාරයට එකතු කරගන්න පුළුවන් නම් ඔබේ තරුණ පෙනුම හැමදාටම තියාගන්න පුළුවන්. ඒ වගේම පිළිකා ඇතුලු ලෙඩ රෝග බොහොමයකින් ඔබට ආරක්ෂාවක් ද  සලසා දෙනවා.

තල ඉහළ කැල්සියම් ප්‍රමාණයක් සහ යකඩ ප්‍රමාණයක් අඩංගු වෙන තලවල මැග්නීසියම් පොස්පරස් සෙලේනියම් ආදී වටිනා ඛනිජ ලවණත් බහුලවම අඩංගු වෙනවා. ඉහළ පෝෂණ ගුණයකින් යුත් තල තරුණ බව රැක ගන්නට අතිශයින්ම උදව් වෙන ආහාරයක්.

කුරුඳු වයස්ගත වෙන්නට මූලිකවම බලපාන්නේ අපේ සෛලවල  ක්‍රියාකාරිත්වය දුර්වල වී යාම. මුහුණේ සම සකස් වෙලා තියෙන සෛලවල ප්‍රමාණවත් බව අඩු වීමෙන් සමේ  ඇදෙන සුලු බව නැති වී සමේ රැලි ඇති වෙනවා. .කේශ කූප සෛලවල වර්ණක නිෂ්පාදනය අඩපණ වුණාම කෙස් සුදු වීමත්  සිදුවෙනවා. වයසට වඩා මහලු පෙනුමක් ඇති වෙන්නට මෙන්න මේ කාරණා හේතු වෙනවා. 

සෛලවල ක්‍රියාකාරිත්වය දීර්ඝ කාලයක් පවත්වාගෙන යන්නට ලෝකයේ තියෙන හොඳම ඖෂධය තමයි කුරුඳු. ඔබ ආහාර පිළියෙළ කරද්දී ඒවාට කුරුඳු  එකතු කිරීම වගේම දවසකට කුරුඳු තේ එකක් පානය කරන්නට පුළුවන්  නම් ලැබෙන වාසි ගැන ඔබ විස්මයට පත්වේවි.  

ග්‍රීන් ටී black tea  පානයට හුරු වන බොහෝ දෙනෙක් ග්‍රීන් ටී පානයට කැමති නැහැ. මොකද සාමාන්‍ය තේ එකකට වඩා හරිත තේවල වැඩි තිත්ත රසයක් අන්තර්ගත වෙන නිසා. මේ තිත්ත රසය ලබා දෙන්නට හේතුවන polyphenol සංයෝග අපේ සමට හිරු එළියෙන් සිදුවන හානිය වළක්වා ගන්න විශාල උපකාරයක් වෙනවා.  ඒ නිසා සමේ  හොඳ තරුණ පෙනුමක් තියා ගන්නට නම් ග්‍රීන් ටී පානයට හුරුවීම වැදගත්.

බිම්මල් වයස අවුරුදු 35 ඉක්මවීමත් එක්කම අස්ථිවල ගැටළු ඇතුළු බොහොමයක් රෝග ඇති වෙන්නට මූලිකම හේතුව වෙන්නේ විටමින් ඩී ඌණතාවය. හිරු එළිය නොඅඩු අපේ රටේ විටමින් ඩී  උදෑසන හිරු එළියට නිරාවරණය වීමෙන් ඉතා පහසුවෙන් ලබා ගන්නට පුළුවන්.  නමුත් සම හිරු එළියට පිලිස්සීමෙන්  අඳුරු වීම නිසා බොහෝ දෙනෙක් හිරුඑළියට නිරාවරණය වෙන්නේ නැහැ.  මේ නිසා ඇතිවන විටමින් ඩී ඌණතාවය සපුරා ගන්නට හැකි හොඳම ක්‍රමය තමයි බිම්මල් ආහාරයට ගැනීම. අපි අපේ රටේ හැදෙන සෑම බිම්මල් වර්ගයකම විටමින් බහුල නිසා තරුණබව රැක ගන්නට සහ තරුණ ජවය  රැක ගන්නටත් එය උදව් වෙනවා. 

ඒ වගේම  පලා වර්ග, නැවුම් එළවලු පලතුරු , හොඳින් ජලය පානය, ක්‍රියාශීලී ජීවන රටාව  මානසික සැහැල්ලුව සුවදායි  නින්ද කියන කාරණාත් හැමදාම තරුණව ඉන්නට අපිට උදව් වෙනවා.