නාසයේ හිර උන සෙම ඉක්මණින් ඉවත් කරන ක්‍රම 8 ක්

health tips

සෙම්ප්‍රතිශ්‍යාවක් වැලඳුණු විට සිදුවෙන අප්‍රසන්නම සිදුවීම් වලින් එකක් තමයි නාසය අවහිර වීම. මෙය කොතරම් අපහසුකාරී දෙයක් වුනත් ඖෂධ ලබා නොගෙන සරල ක්‍රියාකාරකම් මගින් අවහිරතාවය දුරු කරගත හැකියි. මේ ලිපියෙන් අපි ඉදිරිපත් කරන්නේ වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත්, කාර්යක්ශම එවැනි පහසු ක්‍රම 8ක් පිළිබඳවයි.

  1. පැත්තකට නිදාගැනීම.

නාසය අවහිර වීමෙන් අදහස් වන්නේ ඔබට හුස්ම ගැනීම අපහසු කරවමින් කෝඨරක වල බොහෝ ශ්ලේෂ්මල/සෙම තැන්පත් වී තිබෙන බවයි. මේ නිසා රාත්‍රියට නිදන විට වැඩිපුර කොට්ටයක් තබා හිස තරමක් ඉහලින් තබා ගැනීම වැදගත්. ඊට අමතරව නාසයේ අවහිරතාවය දුරු කරගැනීම සඳහා උඩුබැලි අතට නිදා ගන්නවා වෙනුවට පැත්තකට හැරී නිදා ගැනීම වඩාත් සුදුසුයි. එමගින් තවදුරටත් ශ්ලේෂ්මල එක්රැස් වීම වළකා නාසයේ දැනට ඇති අවහිරතාවයන් මගහරවා ගත හැකියි.

  1. උණුසුම් පානයන් මගින් සජලව සිටීම.

උණුසුම් යමක් පානය කිරීම මගින් සෙම්ප්‍රතිශ්‍යාව සුව නොවුණත් එමගින් සෙම්ප්‍රතිශ්‍යාවේ අප්‍රසන්න රෝග ලක්ෂණ මගහරවා ගත හැකියි. අධ්‍යයන වලට අනුව කාමර උෂ්ණත්වයේ ඇති පානයන් වෙනුවට උණුසුම් පානයන් ලබා ගන්නා පුද්ගලයන් සෙම්ප්‍රතිශ්‍යාවක්‌ වැලඳුණ විට වඩා සුවයක් අත් විඳින බව සොයාගෙන තිබෙනවා. මේ සඳහා කැමොමිල් තේ, හරිත තේ, චිකන් සුප්, මී පැණි සහ දෙහි යෙදූ උණු වතුර පානය කළ හැකියි.

  1. කෝටරක මතට උණුසුම් සම්පීඩකයක් යෙදීම.

උණුසුම් සම්පීඩකයක් (warm press)මගින් ප්‍රතිඵල ලැබෙන්නේ එමගින් කෝඨරක (sinuses) වල ප්‍රදාහ තත්ත්ව දුරු කර නාස් මාර්ගයේ අවහිරතා වලක්වන නිසයි. රෙදි කැබැල්ලක් උණුසුම් වතුරෙන් (තද උණු වතුරෙන් නොවෙයි) පොඟවා ඔබේ නාසයට හරියටම ඉහළින් නළල මත තබන්න.සම්පීඩකයේ උණුසුම නිසා ඔබේ නාස් මාර්ගය හොඳින් විවර වී හුස්ම ගැනීම වඩාත් පහසු කරවනු ඇත. සම පිළිස්සීම වළක්වා ගැනීමට සම්පීඩකය බොහෝ වේලාවක් නළල මත තබා ගැනීමෙන් වළකින්න.

  1. “නෙටි පොට්” එකකින් නාසය පිරිසිදු කරන්න.

“නෙටි පොට් (neti pot)” යනුවෙන් හඳුන්වන්නේ නාසය ඇතුළත පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නා කුඩා උපකරණයක්. මෙය සිදු කිරීම එතරම් සුවපහසුදායක කටයුත්තක් නොවුනත්, කෝටරක පිරිසිදු කිරීම සඳහා යොදාගත හැකි සාර්ථකම ක්‍රමයක් වශයෙන් හැඳින්විය හැකියි. සින්ක් එකක් අසල සිටගෙන නෙටි පොට් උපකරණයේ කෙමිය වැනි කොටස එක් නාස් පුඩුවක් තුළට ඇතුළු කරන්න. එයින් නිකුත් කෙරෙන වතුර එම නාස් පුඩුව හරහා ගොස් අනෙක් නාස් පුඩුවෙන් එළියට පැමිණේවි. ඔබට එක්‌ නාස් පුඩුවකට මිනිත්තුව බැගින් සිදු කළ හැකියි. කෙසේ නමුත් මේ සඳහා ඔබට ඕනෑම වතුරක් භාවිතා කළ නොහැකියි. සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ ජීවානුහරණය කළ ජලයයි. ලවණ සහ වෙනත් හානිකර ද්‍රව්‍ය අඩංගු ටැප් ජලය කිසිම විටෙක මේ සඳහා භාවිත නොකරන්න.

  1. ආර්ද්‍රතාවය සපයන උපකරණයක් ගන්න.

නාසය අවහිර වීම සඳහා ප්‍රධාන හේතුවක් වන්නේ නිවෙස් වල ඇති සීතල එහෙත් වියළි වාතයයි. මේ නිසා ඔබේ කාමරයට අවශ්‍ය ආර්ද්‍රතාවය සැපයීමට හැකි උපකරණයක් (Humidifier) ප්‍රයෝජනවත් වන්නේ ඒ නිසයි. මෙය ඔබට අවශ්‍ය නම් දිවා රාත්‍රී දෙකෙහිම ක්‍රියාත්මක කර තැබිය හැකි වුණත්, රාත්‍රියේ නිදන විට වඩා සුවපහසුවක් ලබා ගැනීම සඳහා රාත්‍රී කාලයට ක්‍රියාත්මක කර තබා ගැනීම වඩාත් ප්‍රයෝජනවත්. මේ ක්‍රමයෙහි අනතුරුදායක කිසිවක් නැති අතර ඉක්මනින්ම අවහිර වූ නාසයේ වෙනසක් අත්විඳිය හැකියි.

  1. සුදුළූණු තැම්බූ වාෂ්ප අල්ලන්න.

සුදුළූනු වල අඩංගු ප්‍රති බැක්ටීරියාමය සහ ප්‍රති දිලීරමය ගුණ, සෙම්ප්‍රතිශ්‍යාවක් ඇති විට ඔබට බොහෝ ප්‍රයෝජනවත් විය හැකියි. වඩාත් සාර්ථක ක්‍රමය වන්නේ සුදුළූනු ආහාරයට ගැනීමයි. නමුත් එහි ඇති තරමක් අප්‍රසන්න ගන්ධය අප්‍රිය කරන කෙනෙක්ට සුදුළූණු තම්බා එම වතුරෙන් වාෂ්ප ඇල්ලීම සිදු කළ හැකියි. හිසට ඉහළින් තුවායක් දමා ආවරණය කර ගැනීමෙන් වැඩි වාෂ්ප ප්‍රමාණයකට නිරාවරණය විය හැකියි. කෙසේ නමුත් සුදුළූණු යෙදූ උණු වතුරට ඉතා ආසන්න නොවී අතේ දුරින් එම භාජනය තබාගන්න.

7.සැර ආහාර ගන්න.

සැර ආහාරයක් ගත් විට ඔබේ නාසය බුරුල් වී සොටු ගලන ආකාරය ඔබට නිරීක්ෂණය වී ඇති. ඒ නිසා සෙම්ප්‍රතිශ්‍යාවක් වැළදී ඇති විට නාසයේ අවහිරතා දුරු කර ගැනීම සඳහා මෙය තාවකාලික එහෙත් සාර්ථක ක්‍රමයක් ලෙස භාවිතයට ගත හැකියි. මේ සදහා ඔබට රතු මිරිස්, ගම්මිරිස්, සුදුළූණු, ඉඟුරු සහ කහ වැනි සාමාන්‍ය කුළුබඩු භාවිතයට ගත හැකියි. කහ මගින් නාසයේ අවහිරතා වලක්වා ගැනීමට සහායක් නොලැබුණත්, එහි ඇති ප්‍රති ප්‍රධාහකාරි සංඝටක මගින් පොදුවේ සෙම්ප්‍රතිශ්‍යාවට සහනයක් අත් කර ගත හැකියි.

8.සගන්ධ තෙල් වර්ග ආශ්වාස කරන්න.

නාසයේ අවහිරතාවයන් ස්වභාවිකව දුරු කළ හැකි අමුද්‍රව්‍යයක් වන මෙන්තෝල් අඩංගු සගන්ධ තෙල් (essential oils) වර්ග දෙකක් තමයි පෙපර්මින්ට් සහ යුකැලිප්ටස් තෙල් කියන්නේ. සාමාන්‍ය පෙපර්මින්ට් සහ යුකැලිප්ටස් පැලයේ රසය යෙදූ තේ වර්ග වුවත් ඔබට පානය කළ හැකියි. කෙසේ නමුත් සගන්ධ තෙල් භාවිතා කරනවා නම්, පෙපර්මින්ට් තෙල් මගින් සම පිළිස්සීම වළක්වා ගැනීම සඳහා එය පොල් තෙල් හෝ ඔලිව් තෙල් වැනි වෙනත් තෙල් වර්ගයක් සමග මිශ්‍ර කර පපුවේ ආලේප කර පිරිමැදීමට යොදාගත හැකියි. මේ සඳහා ඔබ පෙපර්මින්ට් තෙල් වලින් බිංදු කිහිපයක් සහ අනෙක් තෙල් වර්ගයෙන් අවුන්සයක් ගෙන එකට මිශ්‍ර කල යුතුයි.


අනෙක් ක්‍රමය වන්නේ යුකැලිප්ටස් තෙල් බිංදු කිහිපයක් ටිෂූ කඩදාසියකට ගෙන එය කොට්ටය පසෙකින් තබා රාත්‍රියේ එය ආශ්වාස වන්නට ඉඩ හැරීමයි. එසේත් නැත්නම් එයින් බිංදු කිහිපයක් ජලයට යොදා ජලය උණුකර එම ජලයෙන් හුමාලය ඇල්ලිය හැකියි. කෙසේ නමුත් මෙම තෙල් වර්ග වෙනත් තෙල් වර්ග සමග මිශ්‍ර නොවී සෘජුවම ඔබේ සම හා ස්පර්ශ නොවන බවට තහවුරු කරගත යුතුයි. එයට හේතුව මෙම තෙල් වර්ග සෘජුවම ස්පර්ශ වීමෙන් සම පිළිස්සිය හැකි තරම් ප්‍රබලතාවක් ඒවාට තිබීමයි.