අපි හැමෝම අද වෙද්දි හුරුවෙලා ඉන්නේ කෘතිම කිරිපිටි පානය කරන්න මිස ගුණදායි පානයන්වලට නෙවෙයි. කුඩා දරුවන්ට වගේම වැඩිහිටි බොහෝ දෙනෙක්ට උදෑසනට කිරිපිටි එක නැතුව දවස පටන් ගන්නට බැහැ. නමුත් අද කිරිපිටි මිල දවසෙන් දවස වැඩි වෙන නිසා ඒ සඳහා වෙනත් විකල්ප කෙරෙහි අපිට අවධානය යොමු කරන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒවායේ මිල විතරක් නෙවෙයි නැවුම් කිරි වලින් පෝෂක ඉවත් කරලා ආදේශක එකතු කර සකස් කරන කිරිපිටි කොහොමත් ලොකු පොඩි කාටවත් ගුණදායක ආහාරයක් වෙන්නේ නැහැ.
පිටිකිරි මිල ඉහළයාම සහ එහි ගුණාත්මක බව අඩුවීම කියන කාරණා නිසා එළු කිරි, එළකිරි ආදී නැවුම් සත්ත්ව කිරි වර්ග වලට හුරු වෙන්නට අපට පුළුවන්. නමුත් ඒවා සපයා ගන්නටත් අපහසු නම් අපිට ශාකවලින් සකසා ගන්නා කිරි වර්ග භාවිතා කරන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි සත්ත්ව කිරිවලට යම් යම් ආසාත්මිකතා ඇති අයට ශාකමය කිරි හෙවත් වීගන් කිරි ඉතාමත් සුදුසුයි. නමුත් අපි වැඩි දෙනෙක් පුරුදු වෙලා ඉන්න කිරිපිටි නම් අපේ ශරීරයට කොහෙත්ම හිතකර වෙන්නේ නැති බව මතක තියාගත යුතුයි.
එයින් සිදු වෙන්නේ බාල මහලු භේදයක් නැතිව හැමෝම කෙටිකාලීනව විවිධ රෝගාබාධයන්ට ගොදුරු වීම සහ අපේ ආයු කාලය කෙටි කර ගැනීමක් පමණයි. ඒ වගේද බලන්නකෝ මුළුතැන්ගෙයි තියෙන ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් ගුණදායි පානයක් සකසා ගෙන පානය කරන්නට අපිට පුළුවන් නම් එය කොතරම් සතුටට කාරණයක් ද. ශරීරයට අහිතකර බවකුත් නැහැ. මුදල් පසුම්බියටත් එය වාසිදායකයි. ඔන්න ඒ සඳහා අපි ඔබට පහසු රෙසිපි 2 ක්ම ගෙනාවා. ඔයත් උත්සාහ කරල බලන්නකෝ.
පොල්කිරි තේ
පොල් කියන්නේ ලාංකීය අපිට නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි නේ. ආහාර පිසීමේදී නිරන්තරයෙන්ම භාවිතා කරන පොල් කිරි විවිධ රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර විදිහටත් අපිට භාවිතා කරන්නට පුළුවන්. පොල් කිරිවල විශේෂ ගුණයන් බොහොමයක් අන්තර්ගත වෙනවා. සංතෘප්ත මේදය අඩංගු වන පොල්කිරි රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නංවන්නට හේතු වෙන බවට මත පළ වුණත් පොල්තෙල්වල වගේම පොල්කිරි වලත් හිතකර කොලෙස්ටරෝල් මට්ටමත් වැඩි කිරීමේ හැකියාවක් පවතින බව අපි අමතක නොකළ යුතු වෙනවා.

පොල් කිරි මලපහ පිට කරන හොඳ විවේචනයක්.
දේහබර අඩු කරන්නට උපකාරී වෙනවා.
ශරීරයේ විෂ නැසීමේ විශේෂ ගුණයක් සහ ශරීරය සිසිල් කිරීමේ විශේෂ ගුණයක් සහිතයි .
ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය කරනවා.
අධික ශාරීරික සහ මානසික ආතතිය දුරු කරනවා.
නිදන්ගත තෙහෙට්ටුවට ගුණදායකයි.
ශරීරය පිරිසිදු කරනවා.
දත් දිරායාම යාම වළක්වනවා.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.
සමේ රෝගවලට එරෙහිව සටන් කරනවා.
මෙතරම් ගුණදෙන පොල් කිරි භාවිතයෙන් රසවත් ගුණදායි පානයක් නිවසේදීම පහසුවෙන් සාදා ගන්නට පුළුවන්. අමිල පිත්ත රෝගයෙන් පීඩා විඳින අයට කහට නොදා පොල් කිරි පානය සකසා ගන්නට පුළුවන්. පොල් කිරිවලට සීනි එකතු කර ශීත ගුණයෙන් පිරි පානයක් සාදා ගන්නටත් හැකියාව තියෙනවා. අපි බලමු මේ පානය පහසුවෙන්ම සාදා ගන්නේ කොහොම ද කියලා.
පොල් කිරි තේ
අවශ්‍ය ද්‍රව්‍ය
මිටිකිරි කෝප්පයක්
පොල්කිරි පීරිසි කෝප්ප එකක්
වතුර පීරිසි කෝප්ප එකයි කාලක්
තේ කොළ තේ හැන්දක්
අවශ්‍ය පමණට සීනි
සාදා ගන්නා ආකාරය
භාජනයකට මිටිකිරි ටික වතුර සහ තේ කොළ දමා හොඳින් උතුරවා ගන්න. පසුව තේ පෙනේරයකින් පෙරා සීනි එකතු කර උණුසුම් පානයක් ලෙස පානයට ගන්න.
හාල් කිරි තේ
සෑම නිවසකම තියෙන අමුද්‍රව්‍යයක් තමයි සහල්. මේ සහල්වලින් පහසුවෙන්ම අපිට ගුණදායි පානයක් සකසා ගන්නට හැකියාව තියෙනවා. නමුත් මෙහිදී වඩාත් ඔබ සැලකිලිමත් විය යුත්තේ සුවඳැල් වගේ දේශීය සහල් වර්ගයක් මේ සඳහා භාවිතා කිරීමට. මොකද එයින් ඉහළ ගුණයක් වගේම වැඩි රසයක් අපිට ලබාගන්න පුළුවන්. නමුත් සුවදැල් සපයා ගන්නට අපහසු නම් ඒ වෙනුවට රතු හෝ සුදු සහල් භාවිතා කරන්නත් පුලුවන්. සුදු සහල්වලින් සකසා ගන්නා හාල් කිරි තේ සිත් ඇදගන්න රසයකින් සහ වර්ණයකින් යුක්තයි.
අවශ්‍ය ද්‍රව්‍ය
හාල් පිටි මේස හැන්දක්
තේ කොල තේ හැන්දක්
කුරුඳු කුඩු ස්වල්පයක්
එනසාල් කරලක්
සීනි
සාදාගන්නා ආකාරය

සල් ටිකකට ජලය දමා පැය 5ක් පමණ පෙඟෙන්නට තබන්න. පසුදා උදෑසන සහල් කිරි සාදා ගන්නේ නම් රැයක් පුරා පෙගෙන්නට තබන්නට පුළුවන්.
පොඟවා ගත් සහල්වල වතුර බේරාගෙන මද ගින්නේ බැදගන්න. සහල් රන්වන් පාට වී හොඳ සුවඳක් විහිදෙන තුරු බැදගැනීම ප්‍රමාණවත් වෙනවා.
මෙසේ පොඟවා සහල් බ්ලෙන්ඩරයක් ආධාරයෙන් කුඩුකර පිටි වශයෙන් හලාගන්න.
පසුව උතුරන ජලයට තේ කොළ දමා හොඳින් තම්බා ගන්න. ඒ උණු කහට කෝප්පයකට හාල් පිටි මේස හැන්දක් සීනි එනසාල් කුඩු සහ කුරුදු කුඩු ස්වල්පය බැගින් එකතු කර මිශ්‍රකර ගන්න. මේ මිශ්‍රණය තේ පෙරනයකින් පෙරාගන්න. පසුව පානය කරන්න.
අපේ රටේ එතරම් ජනප්‍රිය නොවුණට මේ වගේ පානයන් විදේශ රටවල්වල ඉතාම ජනප්‍රියයි. නමුත් අපේ රටේ මිනිස්සු බොහෝ දෙනෙක් පිටිකිරි භාවිතයට හුරු වෙලා ඉන්න නිසා මේ වගේ ගුණදායි පානයන් කෙරෙහි ඔවුන් උනන්දුවක් දක්වන්නේ නැහැ. නමුත් ඔබට නිරෝගීව ජීවත් වෙන්න නම් මේ වගේ පානයක් ලබා ගන්නා එක හරිම වැදගත්.