ඔබව කුදුබවට පත්කරන ලෙඩ රෝග 8 ක්

health tips

අපි බොහෝවිට කුදුවිම වයසට යන විට පමණක් ඇතිවන තත්ත්වයක් ලෙසටයි සිතා සිටින්නේ. නමුත් ඊට පෙර මේ කුදුවීම විවිධ හේතු සාධක මත ඇති වෙන්නට පුළුවන්. ඇතැම්විට වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් ලෙසත් ඇති වෙන්නට පුළුවන්. මේ කුදුවීම් අපේ කොඳුඇට පෙළ ආශ්‍රිතව ඇතිවන තත්ත්වයක්. විශේෂයෙන්ම ඍජු දේහ විලාසය අනෙක් සතුන්ගෙන් මිනිසාව වෙන්කර හඳුනා ගත හැකි ප්‍රධාන ලක්ෂණයක්. කොඳු ඇට පෙළක් හිමිවීම කියන කාරණාව නිසා මිනිසා පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩයටයි අයත් වෙන්නේ. ඉතින් මේ කොඳු ඇට පෙළ සිරුර ඍජුව පවත්වාගෙන යන්නට ඇතුළු කාරණා බොහොමයකටම ඉතා වැදගත් වෙනවා.කශේරුකාවලින් සැදී ඇති මේ කොඳු ඇට  පෙළ අපේ වැරදි ඉරියව් සහ පුරුදු නිසා විවිධ හානිදායක තත්ත්වයන් ඇතිවී වේදනා කැක්කුම්  ඇති වෙනවා.ඒ වගේම ශරීරය කුදුවීමටත් එය හේතුවක් වෙනවා. කුදුවීම කියන තත්ත්වය පුද්ගලයෙකුගේ පෞරුෂය හීන කරන පෙනුමට විශාල බලපෑමක් කරන්න තත්ත්වයක්. අපේ ශරීරයේ කුදු බව ඇතිවෙන්නට හේතු ගණනාවක් බලපානවා.

කුදුවීමට බලපාන හේතු 

  • ආතරයිටීස් රෝගය 
  • කැල්සියම් ඌණතාවය මත ඇතිවන ඔස්ටියෝ පොරෝසීස් රෝගී තත්ත්වය 
  • වැරදි ඉරියව් 
  • පාසල් දරුවන් ගෙන යන අධික බරක් සහිත පොත් බෑගය නිසා  
  • හදිසි අනතුරු නිසා ඇතිවන අස්ථි බිඳීම් 
  • ජානමය ගැටළු 
  • තරබාරුව 
  • බෙල්ල ආශ්‍රිත කුදු භාවයට මේදය තැන්පත්වීම ද හේතුවෙනවා.

ඉතින් මේ කුදු වීම තුනටිය හා බෙල්ල ආශ්‍රිතව දකින්නට පුළුවන්. අද වැඩි වශයෙන් වැරදි ඉරියව් හේතුකරගෙන මේ කුදුවීම තත්ත්වය දකින්නට පුළුවන්. 

අද බොහෝ දුරට මේ කොරෝනා වසංගතය නිසා නිවසේ සිට වැඩ කිරීම සහ අධ්‍යාපන කටයුතු කිරීම ආදිය නිසා මේ කුදුවීම සිද්ධ වෙනවා. පරිගණකය සහ දුරකතනය දෙස දිගු වේලාවක් බලාගෙන සිටිමින් වැඩ කටයුතුවල නිරත වෙද්දී මේ තත්ත්වය බොහෝ විට ඇති වෙන්නට  පුළුවන්. ඒ වගේම  පරිගණයක් හා දුරකථනය දෙස බලා සිටින වැරදි ඉරියව් වගේම විශේෂයෙන්ම කාන්තාවන්ගේ ශරීරයේ අධික මේදය බෙල්ල පිටුපස තැන්පත්වීමෙන් පවා මේ කුදු ස්වභාවය ඇති වෙනවා.

ඔටු කුදය යන නමින් හඳුන්වන මේ තත්ත්වය නිසා බෙල්ලේ ආතතියක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසාම දවසේ වැඩ කටයුතු අවසානයේදී බෙල්ල ආශ්‍රිතව ඉතා දරුණු වේදනාවක් හටගනු ලබනවා. ඒ වගේම ඒ වේදනාව පිටේ ඉහළ කොටස  ආශ්‍රිතවත් ඇති වෙන්නට පුළුවන්. 

  • ඉරියව් නිවැරදිව තබාගෙන බෙල්ල උරහිස් දෙක සහ කොඳු නාරටිය ඍජුව තබාගෙන ඒ ආතතීන් ඉවත් කරගන්නට සුදුසු ව්‍යායාම් පවතිනවා.
  • මුලින්ම ආතතිය සහිත බෙල්ලේ පිටුපස කොටස ඇඟිලි තුඩුවලින් හොඳින් මසාජ් කරන්න. මෙය වැඩ කරන අතරේ වේදනාව ඇති විට කරන්නට පුළුවන්.
  • (Figur of eight) මෙහිදී බෙල්ල හොඳින් සැහැල්ලු කරගෙන නිකට උපයෝගී කරගෙන සාමාන්‍ය ආකාරයට කරකවමින් 8 ඉලක්කම අදින්නට ඕන. මෙය හරස් අතට ඇදිය යුතු 8 ඉලක්කමක් විය යුතුයි. 
  • අත්දෙක ඉහළට ඔසවා වම් කණ වම් අතේ සහ දකුණු අත දකුණු කණේ ස්පර්ශ කරන්න.
  • බෙල්ල වම් පසට හරවන්න. නැවත දකුණු පසට හරවන්න.
  • අත් දෙක ඉහළට ඔසවා මදක් ඈත්කර V අකුරක් සේ තබා ගෙන අත් දෙක වෙනස් නොකර උරහිස් දෙක පමණක් පිටුපසට ගෙන නැවත ඉදිරියට ගෙන ලිහිල් කරන්න.මෙය කිහිපවරක් සිදු කරන්න.
  • එසවූ අත් දෙක නැවත සෙමින් පපුව මට්ටමට ගෙන නැවත උරහිස් දෙක පිටුපසට ගන්න. ලිහිල් කරන්න. මෙයත් කිහිපවරක් සිදු කරන්න. නැවත අත් දෙක දෙපසට කර උරහිස් දෙක පමණක් පිටුපසට කරන්න. ලිහිල් කරන්න.
  • පසුව හොඳ හුස්මක් අරගෙන අත් දෙක ඉහළට ඔසවන්න. වම් අත පිටුපසට නවා දකුණු අතින් පහළට තල්ලු කරන්න. ටික වේලාවක් එසේ සිටිමින් හොඳින් හුස්ම 10 ක් අරගන්න. පිට කරන්න. දකුණු අතත් ඒ ආකාරයටම පිටුපසට නවා වම් අතින් තල්ලු කරන්න.

බෙල්ල පිටුපස මේදය තැන්පත්වීමෙන් (Neck hump )සිදුවන කුදුවීමේදී එය මග හරවා ගන්නට පහත පියවර කිහිපය අනුගමනය කරන්න. 

  • ඉතා පැතලි කොට්ටයක් ගෙන එය මත විනාඩි 10 ක් උඩු අතට නිදාගෙන ඉන්පසු කොට්ටය ඉවත් කර ඉඩ ගන්න. මේ තත්ත්වයේදී කොට්ටයක් මත නිදා ගැනීම සුදුසු නැහැ.
  • ඇඳේ මුනින් අතට දිගාවී මුහුණට කෙළින් ටැබ් එක හෝ දුරකථනය තබාගෙන එහි යම් වීඩියෝවක් ක්‍රියාත්මක කරවා මුහුණ මත වැලමිටිවලින් ඔසවා ගත් අත් දෙක තබා ගන්න. කෙළින් කරගත් හිසින් විනාඩි 5 ක් වීඩියෝව නරඹන්න. මෙය රාත්‍රී  නින්දට පෙර සිදු කරන්න.

නිවැරදි ඉරියව් භාවිතය 

  • සිටගෙන සිටින විට කොන්ද ඍජුව ක්‍රියාකාරීව තබා සිට ගන්න.
  • ඉඳගැනීමේදී සුදුසු පූටුවක කොන්ද කෙළින් තබාගෙන ඉඳ ගන්න. ඉණ හා කඳ කොටස ඍජුව තබා ගන්න. පාදයේ පතුල් බිම් ස්පර්ශ වන සේ ඉඳ ගන්න.පතුල ස්පර්ශ නොවේ නම් අවශ්‍ය ප්‍රමණයට ලෑල්ලක් පතුල යටින් තබා ගන්න.
  • මේසයක වැඩ කටයුතු කරන විට මේසයට ආසන්නව ඉඳ ගන්න.
  • පුටුව අවශ්‍ය ප්‍රමාණයට වඩා උස් වුවහොත් ඉදිරියට කොන්ද නැවීමට සිදුවන නිසා පුටුව බොහෝ උස් නොවිය යුතුයි.
  • දීර්ඝ වේලාවක් එකම ඉරියව්වෙන් වැඩ නොකරන්න.
  • පුටුවක ඉඳගෙන සිට නැගිටින විට කොන්ද කෙළින් තබාගෙන හැකි තරම් පුටුවේ කෙළවරට පැමිණෙන්න. නවා සිටින උකුළ හා දණහිස් සන්ධි එකවර දිග හරින්න. කොන්ද තවදුරටත් කෙළින් තබා ගන්න.
  • සිරුරේ පෞරුෂත්වයට හානි කරන රුව අවලස්සන කරන සිරුරේ කුදු බව මගහරවා ගන්නට නිතර සුදුසු ව්‍යායාම්වල නිරත වීම වගේම නිවැරදි ඉරියව් පවත්වා ගැනීමත් ඉතා වැදගත්.