දරු සම්පත් අහිමි කාන්තවන්ට දරු සම්පත් පවා ලබා දෙන නෙලුම් අල සතු ගුණ 28 ක්

health tips

බැලූ බැල්මට හිත පැහැදෙන  ප්‍රසන්න බවක්  ශ්‍රද්ධාවක් හිතට නැගෙන නෙළුම් මල් වට්ටියක් බුදුන් වහන්සේට පූජා කර අකුසල් සමනය කරගෙන දර ඵල පතන තරුණ යුවතිපතීන්ට අමතකව ගිහින් තියෙන අපූරු රසවත් ගුණවත් ආහාරයක් තමයි නෙළුම් අල. දරු ඵල පතන කාන්තාවකට නෙළුම් අල මාළුවත් සතියකට දෙතුන් වතාවක් ආහාරයට ගන්න කියලා එදා අපේ වැඩිහිටියන් කීවේ නෙළුම් අල සතු සුවිශේෂී ගුණ ගැන ඔවුන් තුළ තිබුණු මනා දැනුම නිසාමයි.

දරුඵල නොමැතිව දොම්නසින් කාලය ගෙවන යුවතිපතීන්ට වගේම  තවත් අපිව පීඩාවට පත් කරන බෝ නොවන රෝග බොහොමයකටත් නෙළුම් අල ඉතාම ගුණදායක ආහාරයක් වගේම ඖෂධයක්. ඒ නිසාම මේවා ඈත අතීතයේ ඉඳලම ආහාරයක් වශයෙන් වගේම විවිධ රෝග සුවපත් කරන්නට ඖෂධයක් විදිහටත් භාවිතයට අරගෙන තියෙනවා.  

නෙළලුම් අල දේශීය වෙදකමේ දී සර්ප, දිවි මකුළු, කෘමි විෂ සුව කිරීමටත්, ලිංගික බෙලහීනතාවය නැති කරන්නට පුරුෂයන්ට කළ ප්‍රතිකාර සඳහාත්,කාන්තා රෝග බොහොමයකටත් භාවිතා වුණා. ඉතින් මේ නිසාවෙන් ලෝකයේ තියෙන අනර්ඝතම ස්වභාවික ආහාරයක් විදිහට මේ නෙළුම් අල සැලකෙනවා.

 විශේෂයෙන්ම විටමින් සී, විටමින් ඊ , විටමින් කේ,  බී  වර්ගයේ b6,  තයමින්, නියසින්, රයිබොෆ්ලෙවින් වගේම යකඩ, කැල්සියම්, පොස්පරස්, ඇතුළු ඛනිජ ලවණ බොහොමයක්ම මේවායේ අඩංගු වෙනවා. ඒ  විතරක් නෙවෙයි මුහුදු මාළුන්ගෙන් අපිට ලැබෙන ඔමේගා 3 සහ ඔමේගා 6 මේද අම්ල වර්ගත්  මේ නෙළුම් අලවල යහමින් අඩංගු වෙනවා. සැලකිය යුතු ප්‍රමාණයකට ප්‍රෝටීන සහ කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙන  මේවායේ වැඩි වශයෙන් අඩංගු වෙන්නේ ශාකමය තන්තු සහ ජලය. කැලරි අඩංගු වෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. ඒ නිසාවෙන්  අපේ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ බොහොමයි. 

නෙළුම් අල ආහාරයට ගැනීමෙන් ලැබෙන  ප්‍රතිලාභ

  • දරුඵල නැති අයට ගුණදායකයි.
  • අර්ශස් රෝගය සුවපත් කිරීමට දායක වෙනවා.
  • හදවත් රෝගවලින් ආරක්ෂාව සලසනවා.
  • දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි.
  • මල බද්ධය සමනය කරනවා.
  • පාචනයෙන් පෙළෙන අයට සහනය ලබා දෙනවා.
  • ශරීරයේ දියර සමතුලිතතාවය යහපත්ව පවත්වා ගැනීමට උපකාරී වෙනවා.
  • ලේ වඩනවා. 
  • කාන්තාවන්ගේ ආර්තව වේදනා සමනය කරනවා.
  • කිරි දෙන මවුවරුන්ගේ කිරි වර්ධනය කරනවා.
  • ශරීරයේ උෂ්ණාධික බව දුරු කරනවා.  නමුත් සෙම් රෝගවලින් පෙළෙන අයට කිසිම අගුණයක් වන ආහාරයක් නොවන වගත් මතක තියා ගන්න. ඇදුම රෝගීන්ට කැස්ස, හෙම්බිරිස්සාවෙන් පෙළෙන අයටත් මේ ආහාරය සුදුසුයි.
  • සමයේ තෙතමනය රඳවා ගන්නට උපකාරී වෙනවා.
  • සමේ ඇති දිගුකාලීන ලෙඩ රෝගවලට ගුණදායකයි.
  • නිර්මාංශ අයට ඉතා ගුණදායකයි. 
  • ලේ පිරිසිදු කරනවා.
  • පිළිකා සෛල විනාශ කරන්නට උපකාරී වෙනවා.
  • මානසික ආතතිය අඩු කරන්නට උදව් වෙනවා. ඒ නිසාම මානසික රෝගවලට ඉසකුඩිච්චිය දාන විට නෙළුම් අල භාවිතයට ගන්නවා.
  • ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ හැකියාවකින් යුක්ත නිසා වෛරස් බැක්ටීරියා දිලීර ආශ්‍රිතව ඇතිවන ඕනෑම රෝගයකට ගුණදායක වෙනවා. 
  • ආහාර ජීර්ණය  වැඩිදියුණු කරනවා.
  • නෙළුම් අලවල ඇති පොටෑසියම් රුධිර වාහිනී ලිහිල් කරන අතර රුධිර ප්‍රවාහය වැඩිදියුණු කරන නිසා සාමාන්‍ය රුධිර පීඩනය පවත්වාගෙන යන්නට උපකාරී වෙනවා.
  • මොළයේ සෞඛ්ය වැඩි දියුණු කරනවා. 
  • හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරනවා.
  • අහිතකර කොලෙස්ටරෝල් ඉවත් කිරීමට උපකාරී වෙනවා.
  • ප්‍රතිශක්තිකරණ  පද්ධතිය ශක්තිමත් කරනවා. 
  • සම දීප්තිමත් කර හිස්කෙස් සිනිඳු කරන්නට උපකාරී වෙනවා.
  • තරුණ පෙනුම රැක ගන්නට උදව් වෙනවා.
  • ඇස්වල සෞඛ්‍ය ආරක්ෂා කරනවා .
  • තරබාරුව වළක්වා ගන්නට උපකාරී වෙනවා.

අද වෙද්දි ජල මූලාශ්‍රවලට විවිධ රසායනික එකතු වීම නිසා බොහෝ දෙනෙක් නෙළුම් අල කොහිල වගේ ආහාර තමන්ගේ ආහාරයට එකතුකර ගන්නට මැලිකමක් දක්වනවා. එය නම් සැබැවින්ම කණගාටුවට කාරණයක්.  ඒ නිසා මේ නෙළුම් අල ලබාගන්නා මූලාශ්‍රය ගැන සැලකිලිමත් වෙන එක වැදගත්. 

නෙළුම් අල මිලට ගනිද්දී සම්පූර්ණ අලය ගන්නට  වගබලා ගන්න. නෙළුම් අලවල දෙපැත්ත කපා හාල් ටිකක් දමා නෙළුම් අල තැම්බෙන්නට හරින්න. ඉන් පස්සේ මේ නෙළුම් අල ඇතුළෙ තියෙන නොපෙනෙන බැක්ටීරියා හෝ මඩ හාල් කැඳවලට හොඳටම සුද්ද වෙලා හොඳ පාටක් එනවා.  ඊට පස්සේ අපිට උයන්නට ගන්නට පුළුවන්. මේ නෙළුම් අල භාවිතයෙන් සකසා ගන්නට හැකි රසවත් කෑම විසි පහකට වැඩිය තියෙනවා . ඒ අතරින් වැඩි දෙනෙක් නෙළුම් අල ව්‍යංජනය හෝ මැල්ලුමට කැමැත්තක් දක්වනවා.

 රසවත් නෙළුම් අල ව්‍යංජනයක් පිළියෙළ කරගන්නා ආකාරය

 අවශ්‍ය දේවල්

  •  නෙළුම් අල 350  g
  •  මිටිකිරි කෝප්ප එකක්
  • දියකිරි කෝප්ප එකහමාරක්
  •  මිරිස් කුඩු මේස හැඳි එකහමාරක්
  •  සුදු ළූණු ගෙඩි තුනක් හෝ හතරක්
  •  තුන පහ කුඩු තේ හැඳි එකහමාරක්
  •  කහ තේ හැඳි කාලක්
  •  රම්පෙ 
  • කරපිංචා
  •  පොල් මේස හැඳි දෙකක්
  •  කුරුඳු පොඩි කෑල්ලක් 
  • සිහින්ව ලියාගත් බී ළූණු ගෙඩියක්
  •  අබ ඇට තේ හැඳි කාලක් 
  • තෙල් මේස හැඳි දෙකක්
  • රස අනුව ලුණු

සාදා ගන්නා ආකාරය

මුලින් සඳහන් කළ ආකාරයට නෙළුම් අල සහල් දමා තම්බා හොඳින් සෝදා ගන්න.

පසුව ඒවා රවුම් පෙති වශයෙන් කපා ගන්න.

 කපාගත් නෙළුම් අලවලට  කහ,මිරිස්, තුනපහ, ලුණු ආදිය දමා හොඳින් කලවම් කරන්න.

ගා ගත් පොල් මේස හැදි 2 ට සුදු ලූනු, කුරුඳු සහ අබ ස්වල්පයක් දමා සිහින්ව අඹරාගෙන ඒ මිශ්‍ර ණය මිටිකිරි සමග දියකර පසෙකින් තියන්න.

ඉන්පසු මැටි ඇතිලියක් ලිපේ තබා  පොල් තෙල් මේස හැඳි 2 ක්  දමා රත් කර ගන්න. තෙල් රත් වෙද්දි සිහින්ව ලියාගත් ළූණු දමා ඒවා යන්තමට බැදී ගෙන එද්දී රම්පෙ කරපිංචා ආදිය දමා එයටම නෙළුම් අල ටිකත් එකතු කරන්න. තෙලෙන් තෙම්පරාදු කරගෙන දියකිරි දමා කලවම් කර ගන්න.

 දියකිරි සිදී ගෙන එද්දී අඹරා ගත් පොල් මිශ්‍ර කරගත් මිටි කිරි ටික එකතු කරන්න. විනාඩි කිහිපයක් නටවා ගෙන ලිපෙන් ඉවත් කරගන්න.