දියවැඩියා රෝගියෙකුට ස්නායු ආබාධා හැදීගෙන එන බව පෙන්නුම් කරන ලක්ෂණ 15ක්

health tips

අපේ රටේ පමණක් නොවෙයි මුළු මහත් ලෝකයේම ජනතාවට තර්ජනයක්ව ඇති රෝගයක් තමයි දියවැඩියාව . කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා ඕනෑම වයසක පසුවන අයෙක් ගොදුරු කර ගන්නා මේ  රෝගය පිළිබඳව අද අපිට වැඩි වශයෙන් කතා කරන්නට සිදුව ඇත්තේ ඒ රෝගය සතු භයානකකම නිසාවෙන්මයි. ඒ නිසාම දියවැඩියා රෝගය වැළදීමෙන් පසුව කෙතරම් ප්‍රතිකාර කළත් සම්පූර්ණයෙන්ම සුවයක් ලබා ගන්නට ඉතා අපහසුයි. ඒ වගේම මේ රෝග තත්ත්වයේදීත් නිසි ප්‍රතිකාර ලබා නොගෙන ඒ තත්ත්වය පාලනය නොකළහොත් ඇතිව සංකූලතා බොහොමයි. 

අනෙක් රෝග සමඟ ගත්තොත් මේ දියවැඩියා රෝගය සංකූලතා බහුල රෝගයක් බව කියන්නට සිද්ධ වෙනවා. නිසි පරිදි ඖෂධ ලබා නොගැනීම, ආහාරපාන පාලනයක් නොකිරීම නිසා  වකුගඩු අකර්මණ්‍ය වීම, හෘදය වස්තුවට බලපාන , ඇස්වලට බලපෑම් කරන ස්නායු පද්ධතියටත් හානි කරන රෝගයක් බවට මේ දියවැඩියා රෝගය පත් වෙනවා. කොහොමනමුත් මේ දියවැඩියා රෝගය නිසි ලෙස පාලනය නොකිරීම නිසා ස්නායු පද්ධතියට ඇතිවන බලපෑම ඉතා අධිකයි. එනිසා අපි අද කතා කරන්නේ දියවැඩියාව නිසා ඇතිවන ස්නායු ආබාධ පිළිබඳවයි.

දියවැඩියාව නිසි පරිදි පාලනය නොකිරීමෙන් ශරීරයේ රුධිර සැපයුම නිසි පරිදි සිදුවීමට බාධා ඇති කරනවා. මෙසේ රුධිරයේ සීනි නිසි පරිදි පාලනය නොවීමෙන් සිරුරේ ස්නායු පෝෂණය කරනු ලබන සිහින් රුධිර වාහිනී එනම්, කේශනාලිකාවල බිත්තිවලට හානි සිදු වෙන්නට පුළුවන්. ස්නායු තන්තු දිරායාම හෝ ස්නායු සෛල ඝනවීම ආදිය ඇති වෙන්නට පුළුවන්.දියවැඩියාව නිසා කාලයක් ගතවන විට මධ්‍ය ස්නායු පද්ධතියට පීඩාගෙන දෙන අතර එහි ප්‍රධාන ලක්ෂණ පෙන්නුම් කරන්නේ පර්යන්ත ස්නායු පද්ධතිය ආශ්‍රිතවයි.

මේ ස්නායු දුර්වලතා  මුලින්ම බලපාන්නේ දෙපා සහ ලිංගික ප්‍රදේශයේ ස්නායු ක්‍රියාකාරිත්වයට.එවිට ඇතිවන ලක්ෂණ ගැන සැලකිලිමත්ව කටයුතු කළොත් ඒ සඳහා සුදුසු පිළියම් සඳහා ඔබට යොමු වෙන්නට හැකියාව තියෙනවා.

මේ දියවැඩියා රෝගය නිසා ඇතිවන ස්නායු ආබාධවලදී ඇතිවන රෝග ලක්ෂණ එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඇතැම් අයට මේ රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන්නත් ඉඩකඩ තියෙනවා. ඇතැම් අයට තදබල වේදනාවන් දැණුනත් තවත් අයට එය නොදැනී යන්න ඉඩකඩ තියෙනවා.

දියවැඩියාව ඇති රෝගියෙකුට මේ ස්නායු ආබාධ බොහෝවිට ඇති වන්නේ වසර 10 ක් පමණ ගතවීමෙන් පසුවයි. වැඩි වශයෙන් මේ ආබාධයන් අවුරුදු 40 ට වැඩි පුද්ගලයන් සහ ග්ලූකෝස් මට්ටම නිසි ලෙස පාලනය නොකළ පුද්ගලයන් අතර සුලභව දකින්නට පුළුවන්. ඒ හැරුණාම නිතර දුම්පානය කරන දියවැඩියා රෝගීන්ටත් මේ ස්නායු ආබාධ ඇතිවීමේ හැකියාව පවතිනවා. 

දියවැඩියාව හේතුවෙන් ඇතිවන ස්නායු ආබාධයක් හඳුනා ගත හැකි ලක්ෂණ

  • අත් පා වල ඇතිවන දැවිල්ල අත් පාවල ඇඟිලි හිරිවැටීම මෙසේ ඇතිවන හිරිවැටීම ක්‍රමයෙන් අත් පාවල ඉහළට ගමන් කරනු ලබනවා.
  • අත් හා පාදවල වේදනාව 
  • දෙපාවල වේදනාව රාත්‍රී  කාලයේදී වැඩිවීම 
  • මාංශපේශීවල ඇතිවන දුබලතාවය
  • වැරදි ඉරියව්වකින් ඇවිදීම
  • පාදයේ ඇඟිලි වකුටුවීම  
  • අත් පා කෙට්ටු වී වැහැරී යාම 
  • අත් පා දිගේ විදුලියක් මෙන් වේදනාවක් ගමන් කිරීම හෝ ඉදිකටු අනිනවා මෙන් දැනීම 
  • සපත්තු සෙරෙප්පු දමා ඇති බව නොදැනීම 
  • සියලු දැනීම් නොදැනී යාම 
  • ශරීරයේ අප්‍රාණික බව 
  • කල්ගතවෙත්ම අතක් හෝ පාදයක් පණ නැතිවී යාම 
  • යටි පතුල්වල ගල් තැලුම් හට ගැනීම 
  • කලක් ගතවෙත්ම කලවාවල ඉදිරි කොටසේ වේදනාව හා හිරිය ඇතිවීම, රෝගියාගේ බර අඩුවීම, ශරීරය දුර්වල වී ඇදෙන් බැසීමට පවා අපහසු වීම. 

ස්නායුවලට හානි වීම නිසා ඇතිවිය හැකි බරපතල තත්ත්වයන් 

  • ලිංගික අප්‍රාණිකත්වය (දියවැඩියාව නිසා ඇතිවන ලිංගික අප්‍රාණිකත්වය ස්නායු දුර්වලතා නිසා වගේම ලිංගයට නිසි අයුරින් රුධිරය ගලා නොඒම නිසාත් ඇතිවෙනවා.)
  • ඇස්වල පෙනීම අඩුවීම, එක දෙක වී පෙනීම හා ඇසේ සුද හට ගැනීම(මොළයේ කපාල ස්නායුවල දුබලතා නිසා මේ තත්ත්වය ඇතිවෙන්න පුළුවන්.)
  • කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ වියළි බවක්  ඇතිවීම
  • ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ස්නායුවලට හානි සිදුවීමෙන් අජීර්ණය පාචනය, ඔක්කාරය වමනය ආදිය ඇතිවීම. දියර ලෙස මලපහ පිටවීම හෝ මල බද්ධය ඇතිවීම 
  • පපුවේ සහ කඳේ හිරිය ඇතිවීම
  • මුත්‍රා ආසාදන, මුත්‍රාශය හිස්වන තුරු මුත්‍රා පිට කර නොහැකි වීම, මුත්‍ර පිටවීම පාලනය කරගත නොහැකි වීම
  • ක්ලාන්තය 

දියවැඩියා රෝගය නිසා ඇතිවිය හැකි දරුණු ආබාධයන් අතර ස්නායු ආබාධ බරපතල ගැටළුවක් . එනිසා ඔබ  දියවැඩියා රෝගියෙක් නම් මේ  රෝගය නිසි පරිදි පාලනය කිරීම ඉතා වැදගත්.  මේ රෝග ලක්ෂණ ඇත්නම්  ඒ සඳහා ආයුර්වේද හෝ බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉක්මනින් යොමු වීමට මතක තබා ගන්න.