කොන්දේ කැක්කුම්, ක්ලාන්ත ගතිය, හිටි හැටියේ පෙනීම දුර්වල වීම ආදී තත්ත්වයන් ඔබටත් ඇතිවෙලා ඇති. ඒ ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන්නටත් ඇති. නමුත් මේ රෝග ලක්ෂණ ඔබ ඉතා දරුණු බලපෑමකට ලක් කරන ස්නායු රෝගයක පෙර නිමිත්තක් වන්නට පුළුවන්. අද සමාජයේ බොහෝදෙනා විවිධ රෝග සම්බන්ධයෙන් කතා කළත් ස්නායු රෝග පිළිබඳව එතරම් දැනුවත්භාවයක් බොහෝ අය තුළ නැහැ. නමුත් මුළු සිරුරටම බොහෝ ලෙඩ ගෙන දෙන ඔබව එක්තැන් කරන්නට තරම් බලපෑමක් ස්නායු දුර්වලතාවලින් අත් කරදෙනවා. ඒ නිසාමයි අද මේ ලිපිය තුළින් ස්නායු රෝගය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට කල්පනා කළේ.
මිනිස් සිරුරේ ස්නායු ට්‍රිලියන ගණනක් ඇති බව ඔබට විශ්වාස කරන්නට පුළුවන් ද?. විශ්වාස කරන්නට අපහසු වුණත් අපේ සිරුරේ ස්නායු එතරම් ප්‍රමාණයක් පවතිනවා. මොකද ස්නායු පද්ධතිය ඉතා සංකීර්ණයි. මේ ස්නායු පද්ධතිය මුළු සිරුරේම ක්‍රියාකාරිත්වයට අමිල මෙහෙයක් සිදු කරනවා.ස්නායුවකින් සිදු කරන්නේ යම් යම් අවයව වෙත රුධිරය සපයමින් ඒවායේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සැපයීමයි. ශරීරයේ චලනය, සංවේදනය, තීරණ ගැනීම,වේදනාව, සතුට දැනීම ආදී සියල්ලක්ම පාලනය වෙන්නේ මේ ස්නායු පද්ධතිය හරහා.ඒ වගේම තමයි ඒ හා සම්බන්ධ රෝග සියයකට අධික ප්‍රමාණයක් පවතිනවා. හිසරදය,අංශභාගය, ඩිමෙන්ෂියා ආදී රෝගයන් ප්‍රධානම ස්නායු රෝග විදියට හඳුනා ගනු ලබනවා. ස්නායු සම්බන්ධව පවතින දුර්වලතා හඟවන ලක්ෂණ පිළිබඳව ඔබ දැනුවත් විය යුත්තේ ඒවා මෙසේ දරුණු තත්ත්වයට පත්වීම වළක්වා ගැනීම සඳහා.
ස්නායු රෝග ඇතැම් අයට උපතින්ම ඇතිවුණත් ඇතැම් එවා තරුණවියට පැමිණීමත් සමඟ ඇතිවෙන්නට පුළුවන්. බොහෝවිට මේ ස්නායු රෝගවලට ගොදුරු වෙන්නේ මැදිවියේ සහ වැඩිහිටි වයසේදී.ඇතැම් ස්නායු රෝග වයසට යාමත් සමඟ ඇතිවීමේ යම් ප්‍රවණතාවයක් පවතිනවා.මොළය ආශ්‍රිතව සිදුවන රසායනික ක්‍රියාකාරිත්වය හේතුවෙන් කුඩා මොළය ආශ්‍රිත සෛල මියයාමෙන් අතපය වෙව්ලීම ඇවිදීම අපහසුවීම වගේ ලක්ෂණ ඇති වෙනවා.
ස්නායු ආබාධයක් ඇති බව හඟවන ලක්ෂණ

- වරින් වර හෝ එකදිගට පවතින හිසරදය
- හිසරදය සමඟ ඇතිවන ඔක්කාරය හා වමනය
- කරකැවිල්ල
- හිසරදයට පෙර හෝ පසුව ක්ෂණිකව ඇතිවන පෙනීමේ ගැටළු
- කෙටිකාලීන සිහි නැතිවීම
- නිතර ක්ලාන්තය ඇතිවීම
- ශරීරයේ හිරිවැටීම හා දැවිල්ල
- දහදිය දැමීමේදී ඇතිවන සංකූලතා
- ශරීරය මහන්සි වුණාම අධික රස්නයක් ඇතිවුණාම දහදිය දැමීම වගේම සීතල අවස්ථාවල ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන්නෙත් අපේ සිරුරේ ස්නායු මගින්. නමුත් ස්නායු දුර්වල වුණොත් මේ ක්‍රියාවලිය අඩපණ වෙනවා. මහන්සිවෙලා වැඩක් නොකරන අවස්ථාවලදී දහදිය දැමීමත්, මහන්සි වී වැඩ කරද්දි දහදිය නොදැමීමත් වගේ තත්ත්වයන් ඒ නිසා ඇති වෙන්නට පුළුවන්.
- සිරුරේ සමබරතාවය පවත්වාගෙන යාමට නොහැකිවීම
- ක්ෂණිකව ඇතිවන කොන්ද කැක්කුම

- අඩ වශයෙන් ඇස් පියවීම
- කෙටි කාලීන මතකය අහිමිවීම හා එදිනෙදා වැඩ කටයුතු අතපසුවීම.
- ක්ෂණිකව කන් නොඇසී යාම හෝ ශ්‍රවණ අපහසුතා
- මුහුණේ එක් පැත්තක ඇතිවන වේදනාවන්
- නිතර නිතර නින්දෙන් හදිසියේ අවදි වූ විට ශරීරය හොලවන්නට නොහැකිව ගල් වී තිබීම.
- පාදවල බර ගතියක් දැනීම
- ආහාර ගැනීමේ අපහසුතා
- එක් පැත්තක් පණ නැතුව යාම
- මේ සියලුම ලක්ෂණ ස්නායු රෝගී ලක්ෂණ නොවන නිසා මෙයින් යම් යම් ලක්ෂණ කිහිපයක් ඇතිවුණොත් පළපුරුදු වෛද්‍යවරයෙක් කරා යාම වැදගත්. බොහෝ අය මේ ස්නායු සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල අඩු නිසා දිගුකල් පවතින ආබාධයන්වලට පවා ගොදුරු වෙනවා. ඒ නිසා ස්නායු ආබාධ කියන්නේ නොසලකා හැරිය යුතු නොවන ඉක්මන් ප්‍රතිකාර කරා යොමුවිය යුතු රෝගී තත්ත්වයක්. අවාසනාවන්ත ඉරණමක් අත් කර නොගෙන ස්නායු රෝගය කලින් හඳුනා ගැනීම ඉතා වැදගත්. නමුත් ස්නායු රෝගයක් සම්පූර්ණයෙන්ම සුව කරන්නට ඉතා අපහසු නිසා ඇතිවීමට පෙර ආරක්ෂාවීමයි වඩා වැදගත්.
ස්නායු රෝග ඇතිවීමට බලපාන හේතු
- වැරදි ඉරියව්වි ශේෂයෙන්ම ගෙල සහ කොඳු ඇටපෙල සුසුම්නාවෙන් ඉවතට ඇති ස්නායුවකට මේ බලපෑම වැඩි වශයෙන් ඇතිවෙනවා.මේ ආශ්‍රිතව ස්නායුවලට ඇතිවන බලපෑම හේතුවෙන් අත් පා හිරිවැටීම්, වේදනාව ආදී රෝග ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්. මේ වැරදි ඉරියව් නිසා හෝ වැරදි ක්‍රියාකාරිත්වයන් නිසා ආබාධයකට ලක්වන ස්නායුවකට ඉක්මන් ප්‍රතිකාර් දීමෙන් ස්නායුව අක්‍රීයවීම වළක්වා ගන්නට පුළුවන්. නමුත් මේ තෙරපුම තව තවත් වැඩි වුණොත් අත පය පණ නැතිවයාම වුණත් සිදුවෙන්නට පුළුවන්.
- දුම්පානය හා මත්පැන් පානය
- දිව කාලයේ නිදා ගැනීම

- රාත්‍රී කාලයේ නිදි වැරීම
- අනවශ්‍ය ලෙස ඖෂධ භාවිතය
- මානසික පීඩනය
- කෘතීම ආහාර නිතර ගැනීම
- රසකාරක යෙදූ රසායන ද්‍රව්‍ය යෙදූ ආහාර නිතර ගැනීම
- අයථා ධාතු මෝචනය සහ ලිංගික ජීවිතය සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස උත්තේජක යොදා ගැනීම.
- ඇතැම් ආබාධමය තත්ත්වයන් හදිසි අනතුරු
හදිසි අනතුරු නිසා කොඳු ඇටපෙල ආශ්‍රිතවල අස්ථි බිඳීම වගේම විෂබීජ ඇතුළුවීමෙන් කොඳු ඇට පෙල ආශ්‍රිත විකෘතිතා නිසා ස්නායු තෙරපීමෙන් ස්නායු ආශ්‍රිත ගැටළු ඇති වෙන්නට පුළුවන්. ස්නායු රෝගයක් ඇති බවට ඔබට යම් සැකයක් ඇතිවූ වහාම ඒ සඳහා පළපුරුදු වෛද්‍යවරයෙක් වෙත ගොස් පරීක්ෂා කරවා ගැනීම වැදගත්. ස්නායු රෝග හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ කිහිපයක්ම වෛද්‍යවරු විසින් සිදුකරනු ලබනවා.
- E.C.G පරීක්ෂණය
- E.M.G පරීක්ෂණය
- C.T. ස්කෑන්
- M.R.I. ස්කෑන්
නිවැරදි චර්යා සහ නිවැරදි දිවි පැවැත්ම මගින් ස්නායු රෝග ඇතිවීම වළක්වා ගන්නට හැකි වගේම මූලික අවස්ථාවේදී ස්නායු දුර්වලතා හඳුනා ගැනීමෙන් එය සම්පූර්ණයෙන්ම පාලනය කරගන්නටත් පුළුවන්.