සිරුරේ රුධිර සංසරණය අක්‍රිය වී ඇති බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 8 ක්

health tips

රුධිර සංසරණය කියා හඳුන්වන්නේ සිරුර පුරා ඔක්සිජන් සහ පෝෂක ‍රැගත් රුධිරය ගමන් කිරීමේ ක්‍රියාවලියයි.එම ක්‍රියාවලියේදී සෛල වල අපද්‍රව්‍ය වැනි කොටස් ද රුධිරය හරහා ඉවත්වීම සිදුවෙයි.එය එම සෛල හා පටක වල නීරෝගී ක්‍රියාකාරීත්වයට අතිශයින්ම වැදගත් වෙයි.කෙසේවෙතත් සිරුර පුරා රුධිරය ගමන් කිරීම හෙවත් සංසරණය වීම දුර්වල මට්ටමකට පත්වීමට නොයෙකුත් හේතු බලපායි.ශරීර සෞඛ්‍යයට අහිතකර දුර්වල ආහාර පාන රටාව,දුම්බීම,මත්පැන් පානය,ව්‍යායාම හා ක්‍රියාශීලිබව අඩුකම මෙන්ම වැරදි ශරීර ඉරියව් පවා ඊට හේතුවිය හැකිය.රුධිරය ගමන් කිරීමේ ක්‍රියාවලිය අඩපණ වීම ශරීරයේ විවිධ ප්‍රදේශ වල (එනම් හෘදයට ඈතින් පිහිටි අත්,කකුල්,යටිපතුල් වැනි අවයව ආශ්‍රිතව) වේදනා හා ඉදිමුම් වැනි ලක්ෂණ මතුකළ හැකිය.රුධිර සංසරණය දුර්වල වීමෙන් හටගත හැකි එවැනි තවත් සංඥා කිහිපයක් ගැන දැනගනිමු.

අත් කකුල් සීතල වීම සීත කාල වලදී මෙසේ වීම අතිශයින්ම සාමාන්‍ය වුවත් වසරේ සෑම දිනකම මේ තත්වය පවතියි නම් එය ඔබේ සිරුරේ රුධිර සංසරණය ආශ්‍රිත දුර්වලතාවකි.විශේෂයෙන්ම විවේකීව සිටින විට හෝ නින්දේදී පවා ඔබේ අත් කකුල් දැඩි ලෙස සීතල වීමට පටන්ගත හැකියි.යම් ක්‍රියාකාරකමක යෙදුණු පසු වාඩි වී විවේක ගන්නා විට බොහෝ දුරට මේ ලක්ෂණය වර්ධනය වීමට පුළුවන්.

මේ තත්වයට දුර්වල ආහාර පාන රටාව ප්‍රබල හේතුවක් බව පෙන්වාදෙයි.විශේෂයෙන්ම සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය පවත්වාගැනීම කෙරෙහි ඔබේ ආහාර පාන රටාව සෘජුව බලපායො. එදිනෙදා ආහාර වේලට ප්‍රෝටීන් හා විටමින් වර්ග බහුල ආහාර පාන එක්කරගන්න.විජලනයට ලක්වීමෙන් රුධිර නාළ හැකිළී ගොස් රුධිරය ප්‍රවාහය වීමට බාධා ඇතිවීම ද අත් පා සිසිල් වීමට තවත් හේතුවක් විය හැකියි.Raynaud’s disease නම් රෝගයේ රෝග ලක්ෂණයක් ලෙස ද මේ තත්වය මතුවිය හැකියි. එම රෝගයේදී අත් සහ කකුල් වල ඇඟිලි වලට රුධිරය ගමන් නොකිරීමෙන් සම නිලට හුරු සුදු පැහැයකට හැරීමට පටන්ගත හැකියි.

ඉදිමීම අත් හෝ කකුල් වැනි ශරීරයේ යම් කොටසක් ආශ්‍රිතව පමණක් ඉදිමුම හටගෙන ඇත්නම් ඇතැම් විට ඊට හේතුව දුර්වල රුධිර සංසරණය වීමට පුළුවන්.ධමනි බිත්ති වල මේදමය ද්‍රව්‍ය තැන්පත්වීමෙන් ඒවායේ ගමන් මාර්ගය ප‍ටුවීම මීට ප්‍රබල හේතුවක් වේ.එවිට රුධිර ගමන් කිරීම අඩුවී නාළ තුල පීඩනය අධික වීමට පටන්ගනියි.එවිට එම ඉහළ යමින් ඇති පීඩනයේ බලපෑමින් තරල කොටස් පටක වෙත කාන්දු වී අත් හෝ කකුල් ඉදිමීමට පටන්ගනියි.වයස අවුරුදු 50 ඉක්මවූවන් අතර මේ තත්වය වඩාත් බහුලයි.විශේෂයෙන්ම කන්දක් හෝ පඩිපෙළක ඉහළට නගින විට කකුල් වල අධික වේදනාවක් ඇතිවීමට පටන්ගත හැකියි.දියවැඩියාව හා අධික කොලෙස්ටරෝල් මට්ටමක් ඇති පුද්ගලයින් තුළ මේ ලක්ෂණය වඩාත් බහුලයි.

අත් හා කකුල් වල හිරිවැටීම හා පුපුරුගසන ගතිය කාන්තා පිරිමි දෙපාර්ශවයටම පොදු තත්වයක් වුවත් වයස අවුරුදු 60 ඉක්මවූවන් අතර මෙය වඩාත් බහුල ලක්ෂණයකි. රුධිර නාළ වල නම්‍යශීලීබව අඩුවීම මීට හේතුවේ.එහි බලපෑමින් ඒවා හරහා ගමන් කරන ඔක්සජීකෘත රුධිර ප්‍රමාණය අඩුවී යයි.මේ බලපෑමින් අත්ල හා යටිපතුල් ආශ්‍රිත පුපුරුගසන ගතියක් දැනෙයි.එක් අතක හෝ කකුලක පමණක් මේ ලක්ෂණය ඇතිවීම එතරම්ම වදවිය යුතු තත්වයක් නොවේ. කෙසේවෙතත් අත් දෙකේම හා කකුල් දෙකේම ආශ්‍රිතව මේ තත්වය ඇතිවෙයි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම ඉතා වැදගත්ය. 

ව්‍යායාම හා ක්‍රියාශීලිබව අඩුකම මාංශ පේශී වල සවිමත් බව (තානය) අඩුවීමට හේතුවේ.ඉන් කාර්යක්ෂම ලෙස රුධිරය පොම්පකිරීමට මාංශ පේශී වලට ඇති හැකියාව අඩුවී යයි.එම නිසා පැය ගණන් එකම ඉරියව්වෙන් වාඩි වී සිටීම, වැතිරී සිටීම වැනි දේ නොකරන්න.අත් කකුල් වල හිරිවැටීමට දුම්පානය කිරීම ද තවත් එක් හේතුවක් ලෙස දක්වයි.නිතිපතා දුම්වැටි පානය කිරීම ඔබේ පෙනහළු වලට පමණක් නොව හෘදය හා රුධිර නාළ වලට ද විශාල බලපෑමක් ඇතිකරයි.

ජීර්ණ ගැටලු ජීර්ණ ක්‍රියාවලියට ආධාරක වන අවයව හා ශරීර පටක වෙත හොඳින් ඔක්සිජන් හා පෝෂක නොලැබීම මීට හේතුවිය හැකිය.පාචනය දුර්වල රුධිර සංසරණය ආශ්‍රිත වඩාත් පොදු ලක්ෂණ මතුකිරීමකි.අධික සීනි ප්‍රමාණයක් ශරීරගත වීමේදී ඒවා ලැක්ටික් අම්ල බවට හැරීම සිදුවෙයි. ඒවා මාංශ පේශී දරදඬු හා දැඩි කරවයි.එහි ප්‍රතිඵලයක් ලෙස බඩවැල් වලට එහි කාර්ය ඵලදායි ලෙස කිරීමට නොහැකිව යයි.එවිට පාචනය වැනි තත්වයන් ඇතිවිය හැකියි. හොඳින් වතුර පානය කිරීම, සමබල ආහාර වේලක් ගැනීම මෙන්ම හොඳින් ව්‍යායාම කිරීම රුධිර සංසරණය දුර්වල වීම වළක්වාගැනීමට උපකාරී වේවි.

සන්ධි හා මාංශ පේශී වේදනා රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ආශ්‍රිත ගැටලු පවතින බව පෙන්නුම් කරන තවත් ලක්ෂණයක් නම් සන්ධි වේදනා හා මාංශ පේශී වේදනා මතුවීමය.අනතුරකට ලක්වීම හෝ සන්ධි හෝ පේශි අධික ලෙස වෙහෙසීම (පීඩාවට ලක්වීම) නිසා ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉදිමීම සිදුවෙයි. එම බලපෑමින් රුධිරය ගෙන යන නාළ අවහිර වෙයි.රුධිරය ගමන් කිරීමට ප්‍රමාණවත් ඉඩකඩම් නොමැතිකම නිසා අධික වේදනාවක් මතුවෙයි.ධමනි වඩාත් පුළුල් කරමින් ඒවායේ නම්‍යශීලි බව වඩවන ගුණාංග බහුල විටමින් හා ඛනිජ ලවණ අඩංගු ආහාර පාන ඔබේ පරිභෝජනයට එක්කරගන්න.

පාද වල වණ පාදයේ ඉහළ හෝ පහළ ප්‍රදේශයේ හටගත හැකි මෙම වණ අතිශයින්ම වේදනාකාරීය.කුඩා තුවාලයක් හෝ දිය බිබිලක් මෙන් මතුවී ක්‍රමයෙන් එය විශාල විය හැකියි.ඇඟිලි යට හෝ කටේ පවා මේවා මතුකළ හැකියි.ඇවිදීමේ හැකියාව අඩුවීම හා වෙරිකෝස් නහර වැනි ගැටලු ඇති අයට මෙවැනි පාද වණ හටගැනීමේ ප්‍රවණතාව වැඩියි.පාද වල සිට හෘදය දෙසට නැවත රුධිරය ගමන් කරවන නාළ ආශ්‍රිත අවහිරතා ඇතිවීම පාද වණ සුවනොවීමට බලපායි.

සමේ පැහැය වෙනස්වීම් සම අධිකව සුදුමැලි වීම හෝ නිල් වීම වැනි වෙනස්කම් ඇතිවීම මෙහිදි ප්‍රධානයි. විශේෂයෙන්ම වැඩි වෙලාවක් තිස්සේ සිටගෙන සිටීමෙන් හෝ සිරුර ක්‍රියාශීලී නොවී එකම ඉරියව්වකින් පැවතීමෙන් මේ තත්වය යම් කෙනෙකුට ඇතිවිය හැකියි.රුධිරයේ ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොමැති වීම අත් සහ කකුල් වල ඇඟිලි, තොල් නිල්වීමට හේතුවිය හැකියි.

*ඔබත් ඉහත රෝග ලක්ෂණ දිගින් දිගටම අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු හමුවීම වඩාත් නුවණට හුරුවේවි. ස්ථූලතාව,රුධිර කැටිති හටගෙන තිබීම,දියවැඩියාව,වෙරිකෝස් නහර රෝගය,රුධිඋර නාළ හා ධමනි ප‍ටුවීම (හැකිළීම) වැනි හේතු රුධිර සංසරණය දුර්වල වීමට බලපෑ හැකි ප්‍රධාන හේතු අතරින් කිහිපයකි.